Print this Article


සෙංකඩගලපුර සිරි දළදා වරුණ: වලියක් මංගල්ලය
 

සෙංකඩගලපුර සිරි දළදා වරුණ:

වලියක් මංගල්ලය

ඓතිහාසික දළදා පෙරහර සම්බන්ධයෙන් අනුගමනය කළ චාරිත්‍ර විධි රාශියක් පවතින අතර රන්දෝලි මහ පෙරහර පවත්වා පසු දින දිය කැපීමෙන් මෙම චාරිත්‍ර අවසන් වන බව වැඩි දෙනාගේ විශ්වාසයයි.

දළදා පෙරහර සමාප්තිය පිණිස දිය කැපීමෙන් අනතුරුව මහා විෂ්ණු දේවාලයේ පුරා සත් දිනක් පැවැත්විය යුතු ශාන්ති කර්මයක් වන හද්දා වලි යකුම, වලියක් මංගල්ලය, වලි යක් ත්‍රෝත්‍රය හෝ වලි යකුන් නැටීම නමින් හැඳින්වේ.

වර්තමානයේ මහනුවර විෂ්ණු දේවාලයේ පමණක් පවත්වනු ලබන මෙම නර්තන අංගය අතීතයේ දී මහනුවර කතරගම දේවාලය, නාථ දේවාලය, පත්තිනි දේවාලය ඇතුලු ගම්පොල වල්ලහගොඩ දේවාලය, අලුත්නුවර දේවාලයන්හි ද මෙම වලි යකුම් නර්තනය පැවැත්වූ බවට සාධක ඇත.

මහනුවර ඇසළ පෙරහරට පසුව මහ විෂ්ණු දේවාලයේ දී වලි යකුම ශාන්ති කර්මය අරමුණු කිහිපයක් මුදුන් පමුණුවා ගැනීම උදෙසා පවත්වන්නකි. දිය කපා පෙරහර ගෙවදීමෙන් පසු දෙවියන්ට පින් අනුමෝදන් කරනු ලැබේ. එනම් කිසිදු බාහිර වශයෙන් හෝ අභ්‍යන්තර වශයෙන් උපද්‍රවයකින් තොරව පෙරහර පැවැත්වීම උදෙසා මූලිකත්වය ගෙන කටයුතු කළ නිලමේවරු ප්‍රධානව සහභාගි වූ දළදා මාලිගාවට අයත් සියලු නිලධාරීන්ටත්, පෙරහර නැරඹීමට පැමිණි සියල්ලන්ටත්, පෙරහරේ ගමන් ගත් නර්තන ශිල්පීන් ආදී සියලු කලාකරුවන්ට පමණක් නොව සහභාගි වූ අලි ඇතුන්ටත් කිසියම් වූ අපල උපද්‍රවයක් වී නම් ඒ සියලු වස්දොස් දුරු කිරීම අරමුණු කොට වලියකුන් ප්‍රධාන දෙවියන් යකුන් උදෙසා සත් දිනක් දොළ පිදේනි දීම මෙහි පරමාර්ථයයි.

වර්තමාන සිරිත මෙය වූවත් අතීතයේ දී ඇසළ පෙරහර ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේ මහ රජතුමා වෙත ගොස් පෙරහර සාර්ථකව පැවැත්වූ බව වාර්තා කිරීම චාරිත්‍රයෙන් පසු එදින ම සිට දින සතක් මහ විෂ්ණු දේවාලයේ පැවැත්වෙන වලි යකුම නැරඹීමට රජු පැමිණෙන අතර එහි ආතුරයා වන්නේ ද ඔහු ය. මේ ආදී ලෙසින් සත් දින තුළම විවිධ චාරිත්‍ර රජතුමා ප්‍රමුඛව සිදුවී ඇති හෙයින් වර්තමානයට වඩා එදා මෙම චාරිත්‍රයෙහි අරමුණ පුළුල්ව පැවැති බව සඳහන් වේ.

වලි යකුම ශාන්ති කර්මය පැවැත්වීමේ චාරිත්‍රය රට තුළ වෙනත් දේවාලයන්හි ගිලිහී යාමට සහ මහනුවර විෂ්ණු දේවාලයේ පමණක් අදට ද ශේෂ වී පැවැතීමට හේතුවී ඇත්තේ, වලි යකුන් විෂ්ණු දෙවියන්ගේ දරුවන් ය යන මතය ප්‍රධාන හේතුව විය හැකි නිසා ය. වලි යකුම සම්බන්ධයෙන් විෂ්ණු සහ රාම යනු දෙදෙනෙකු නොව එක් අයකු බව ද පැහැදිලි ය.