Print this Article


දැහැමියා සුරකින දහමක අසිරිය

දැහැමියා සුරකින දහමක අසිරිය

“ධම්මෝ හවෙ රක්ඛති ධම්මචාරි” යන බුදු වදන අපි දහස්වර අසා ඇත්තෙමු. දහම් පොත පතින් කියවා ඇත්තෙමු. එසේ වුව ද, සම්බුදු වදනෙහි විශ්ව ව්‍යාප්ත, සාර්ව භෞමික යථාර්ථය පැහැදිලි වන අවස්ථා අධ්‍යයනය කරන්නේ ඉතා කලාතුරකිනි.

ඊට හේතුව ඒ පිළිබඳව වන විද්‍යාත්මක සාධක අපගේ අවධානයට විරල ලෙස යොමු වී තිබීම ය. මූලික වශයෙන් ම මෙම ධර්ම පාඨයේ තේරුම නම්, ධර්මය අනුගමනය කරන තැනැත්තා ධර්මය විසින් ආරක්ෂා කරනු ලබන බවයි. ධර්මය අනුගමනය කරනවා යනු ධර්මය අනුව ජීවත් වීම ය. එවැනි පුද්ගලයාට ‘ධම්මචාරී’ යැයි කියන්නේ ය.

ධර්මය යනු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ ජීවන ප්‍රතිපදාවයි. පුළුල් ලෙස ගත්තේ නම්, මෙය විශ්ව ධර්මතාව ම මිස වෙන කිසිවක් නොවේ. විශ්ව ධර්මතාවයට අනුව යම් කෙනෙක් ජීවත්වනවා නම්, ඔහු බුදු දහම අනුව ජීවත්වන කෙනෙක් ලෙස සැලකීම නිවැරැදි ය. ඒ අනුව ධර්මයට අනුව හැසිරෙන කෙනා ඒ ධර්මය තුළින් ම ආරක්ෂාව ලබන බව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළ පරම සත්‍යයකි. එහෙත් බොහෝ දෙනාට මේ පිළිබඳව විශ්වාසයක් නැත. ඒ නිසා ඔවුන් ධර්මයෙන් ලැබෙන ප්‍රයෝජන අත්දකින්නට වන්නේ ද නැන.

එහෙත්, ධර්මය රකිමින්, ධර්මානුකූලව ජීවත්වන අයගේ අත්දැකීම් විමසා බැලූ විට අපට පැහැදිලි වන්නේ මේ බුද්ධ වචනය ඒකාන්ත සත්‍යයක් වන බව ය. මේ විශ්ව ධර්මතාව පිළිබඳ ව ඉතාමත් හොඳ නිදර්ශනයක් පසුගිය දා තායිලන්තයේ දී දැකගන්නට හැකි වුණි. ඒ පිළිබඳ විස්තරය කෙටියෙන් හැදෑරීම දැහිමියා සුරකින දහමේ අසිරිය තේරුම් ගැනීමට පිටුබලයක් වනු ඇත.

තායිලන්තය සියයට අනූවකටත් වඩා බෞද්ධයින් සිටින රටකි. තායිලන්ත මව්පියෝ බොහෝ දෙනෙක් කුඩා කල සිටම තම දරුවන් භාවනාවටත්, ගුණ ධර්මයන්ටත් හුරු කරවති. පසුගියදා තායිලන්තයේ ගුහා සංකීර්ණයක සිර වූ පාපන්දු කණ්ඩායමක දරුවන් එකොළොස්දෙනා සහ පුහුණුකරු පිළිබඳ පුවත ජනමාධ්‍ය ඔස්සේ ඔබ දැනගන්නට ඇත. දින ගණනාවකට පසුව කිමිදුම්කරුවන් විසින් ඔවුන් සොයා ගන්නා විට ඒ කිසිවෙක් කලබලයට පත්ව සිටියේ නැත. අසරණ බව නිසා හඬමින් සිටියේ ද නැත. ඉතා සන්සුන් ඉරියව් ඇතිව භාවනා කරමිනි ඔවුන් සිටියේ. දෙස් විදෙස් ජනමාධ්‍ය, වෙබ් අඩවි තුළ පවා එම සිදුවීම ඉතා ආන්දෝලනාත්මක පුවතක් විය. මේ දරුවන් සිරවී සිටි ගුහා සංකීර්ණය තුළ ශ්වසනයට අවශ්‍ය පිරිසුදු වාතය තිබුණේ ස්වල්ප වශයෙනි. ඔවුන් සතුවූ ආහාර ද ඉතා අල්ප ය. මේ තත්ත්වය යටතේ මේ දරුවන් දීර්ඝ කාලයක් ගුහාව තුළ නිරුපද්‍රිතව ජීවත් වූයේ කෙසේ ද? ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ භාවනාව සම්බන්ධ විශේෂඥවරියක වන ලියා වෙයිස් පවසා තිබුණේ දරුවන් සහ පුහුණුකරුගේ ජීවිතාරක්ෂාවට මූලික ම හේතුව වී තිබුණේ භාවනාව බව ය.

ගුහාවේ සිරවී සිටි කාලය පුරාම පුහුණු කරු දරුවන්ට මනා ආරක්ෂාවක් ලබා දුන්නේ ය. ඔහු දරුවන් භාවනාවට යොමු කළේ ය. විසිපස් වියැති මේ පුහුණුකරු දොළොස් හැවිරිදි වියේ සිට වසර දහයක පමණ කාලයක් බෞද්ධ විහාරස්ථානයක පැවිදි ව භාවනාව පුරුදු පුහුණු කළ ස්වාමීන් වහන්සේ නමකි. පසු කාලයක සිය මිත්තණිය රැක බලාගන්නට උපැවිදි වුව ද, ඔහු කිසි දිනෙක භාවනාව අත්හැර නැත. ගුහාවේ සිරවුණු දරුවන් ඔහු විසින් භාවනාවට යොමු කරන්නේ එසේ ලබාගත් පුහුණුව උපයෝගී කරගනිමිනි. පර්යේෂණවලින් සොයාගෙන ඇති පරිදි භාවනාවතුළින් හෘදස්පන්දන වේගය, හුස්ම ගැනීම සහ ආහාර ජීර්ණය මන්දගාමී සහ සන්සුන් බවට පත්කරයි. සිරුරේ කෝට්සෝල් ප්‍රමාණය සහ ඔක්සිජන් භාවිතය එමඟින් අඩු කරන අතර ම, ශරීරයෙන් කාබන්ඩයොක්සයිඩ් පිටකිරීමේ ප්‍රමාණය ද භාවනාව මගින් අඩු කරන බව පරීක්ෂණ මඟින් තහවුරු කොටගෙන ඇත. විශේෂඥයින්ගේ මතය වන්නේ මේ අනුව අල්ප ඔක්සිජන් හා අල්ප ආහාර ප්‍රමාණයක් සහිතව දීර්ඝ කාලයක් ගුහාවතුළ ගත කිරීමට දරුවන්ට භාවනාව උපකාරි වී ඇති බව ය. එපමණක් නොවේ. මේ කාල සීමාව දරුවන්ට ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙන්නට සිදුවිය. එවැනි තත්ත්වයක දී මානසික ආතතියට පත්වීම සාමාන්‍ය දෙයකි. එහෙත් මේ දරුවන් එවැනි ආතතියකට පත්ව නැත. එකිනෙකා අතර ගැටුම් ඇති කරගෙන ද නැත. එකිනෙකා පිළිබඳව කරුණාවෙන් හා සතුටින්, ධනාත්මක ලෙස ඔවුන්ට එලෙස කාලය ගත කරන්නට උපකාරී වී ඇත්තේ භාවනාව ය.

මේ දරුවන් රැකබලාගත් පුහුණු කරු සැබෑ නායකත්වය දැරූවෙකි. ගුහාවතුළ දී ඔහු ආහාර ප්‍රතික්ෂේප කරන්නේ තමන්ගේ ආහාර කොටස ද දරුවන්ටම පරිත්‍යාග කරමිනි. ගලවා ගැනීමේ කණ්ඩායම් ඔවුන් සොයා ගන්නා විටත් එම පිරිසේ සෞඛ්‍ය තත්ත්වයෙන් දුර්වලම තැනැත්තා වූයේ පුහුණු කරු ය. හේතුව දරුවන්ට ආහාර පරිත්‍යාග කරමින් ඔහු නිරාහාරව සිටීම ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුළින් පුද්ගලයෙක් මොන තරම් සුවිශේෂී අයෙක් බවට පත්කරනවා ද යන්න ඉන් පැහැදිලි ය.

ස්ටැන්ෆර්ඩ් සරසවි පර්යේෂකයන් පිරිසක් භාවනාව පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව පවසන්නේ වර්තමානයේ සාර්ථකත්වය ලබා තිබෙන බොහෝ ව්‍යාපාර හිමිකරුවන් සහ නායකයින් වැඩි පිරිසක් තමන්ගේ සාර්ථකත්වය පිණිස සිහිය පිහිටුවීමේ භාවනා ක්‍රම (mindfulness meditation) පුරුදු පුහුණු කරන බවයි.

එහෙත් අවාසනාවට කරුණක් වන්නේ ලංකාවේ බොහෝ පිරිසක් භාවනාවෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගැනීම ය. බෞද්ධ උරුමයේ කේන්ද්‍රස්ථානය වන්නේ ද ලංකාව ය. එක්තරා අවස්ථාවක ප්‍රසිද්ධ ඇමෙරිකානු ජාතික ස්වාමීන් වහන්සේ නමක් කළ ප්‍රකාශයක් මට මෙහි දී සිහිපත් වේ. උන්වහන්සේ පවසා තිබුණේ 'ශ්‍රී ලාංකිකයන් රත්තරන් කන්ද උඩ ඉඳගෙන සිටී. එනමුදු එසේ ඉඳගෙන ඉන්නා බව ඔවුන් නොදනී' යනුවෙනි. මෙය අවාසනාවක් නොවන්නේ ද? එදිනෙදා ජීවිතයට සුළුවෙන් හෝ යම් භාවනා ක්‍රමයක් පුරුදු පුහුණු කර ගැනීම අතිශය ප්‍රයෝජනවත් ය. එදා අඳුරු ගුහාවක මරණ බිය දැනී දැනී අවුරුදු දහයේ දොළහේ කුඩා දරුවන්ට භාවනා කරන්නට හැකි වූවා නම්, දවසකට විනාඩි කිහිපයක් හෝ භාවනාව සඳහා වෙන් කරන්නට ඉඩක් නැතැයි, අපහසුයැයි පවසනවා නම්, අප ලජ්ජාවිය යුතු අප ගැනම ය.