Print this Article


වැලිවිට සරණංකර සඟරජ මා හිමියන් සහ කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය

වැලිවිට සරණංකර සඟරජ මා හිමියන් සහ කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය

"අතීතයේ සිට ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදුකළ දළදා පෙරහර මංගල්‍යය මහනුවර යුගය වන විට දෙවියන් උදෙසා පවත්වන දේව පූජාවක් බවට පත් වූ අතර වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ මැදිහත්වීමෙන් එය අසිරිමත් දළදා පූජෝත්සවයක් බවට පරිවර්තනය විය. "

ක්‍රි.ව. 311 දී එනම් අනුරාධපුර රාජධානි සමයේ දී ලක්දිව රජ පැමිණි කීර්ති ශ්‍රී මේඝවර්ණ මහරජතුමන්ගේ රාජ්‍යත්වයෙන් නවවැනි වර්ෂයේ දී දඹදිව කළිඟු රට ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය හා බෑණනුවන් වූ දන්ත කුමරු විසින් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරවන ලදී.

පන්සාළිස් වසක් මුළුල්ලෙහි තථාගතයන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා කෙරෙහි පතළා වූ මහා කරුණාවෙන් යුතුව දේශනාකොට වදාළ සුවාසූදහසක් වූ නිර්මල ධර්මස්කන්ධයෙහි පහස ලැබූ ඒ උතුම් දළදා වහන්සේ කිත්සිරිමෙවන් මහරජු විසින් අපමණ පී‍්‍රතිප්‍රමෝදයෙන් යුතු ව පිළිගනිමින් මහ පෙරහරින් රජ මාළිගයට වැඩමවා මනහරවූත්, විචිත්‍රවූත් ස්වර්ණමය කරඬුවක වඩා හිඳුවා මහත් වූ පුද පූජා පවත්වන ලදී. එපමණක් ද නොව එතුමන් විසින් මින් ඉදිරියට ලක්දිව රාජ්‍යත්වයට පත් වන සෑම පාලකයෙකු විසින් ම ශ්‍රී දළදා වහන්සේට සිදුකළ යුතු පුද සත්කාර නොකඩවා නිසි අයුරින් ඉදිරියට පවත්වාගෙන යායුතු බවට නියෝගයක් ද පනවන ලදී.

එතැන් පටන් ලක්දිව රාජ්‍යත්වයට පත් වූ දෙවන ජෙට්ඨතිස්ස, බුද්ධදාස, දෙවන උපතිස්ස ආදී මහරජවරු දළදා වහන්සේ ආරක්ෂා කිරීම හා පුද පූජා පැවැත්වීම තම පරම යුතුකම සේ සලකා නොයෙක් අයුරින් විවිධ පුද පූජාවන් මහත් භක්තියෙන් යුතු ව සිදුකළ බව දළදා වහන්සේගේ ඉතිහාසය විස්තර කරමින් පොළොන්නරු යුගයේ දී පළමු වැනි ධර්මකීර්ති මාහිමියන් විසින් පාලි භාෂාවෙන් විරචිත දාඨාවංසය කෘතිය අධ්‍යයනය කිරීමේ දී මනා ව පැහැදිලි වේ.

මේ අයුරින් ලාංකීය බෞද්ධ ජනයා විසින් අපමණ භක්ත්‍යාදරයෙන් යුතු ව දළදා වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සළකමින් විවිධ පුදපූජා පවත්වන්නට වූ අතර කල්යාමේ දී මෙරට රාජ්‍යත්වයේ සංකේතය බවට ද දළදා වහන්සේ පත්වූහ. එසමයෙහි දළදා වහන්සේ යම් පුද්ගලයෙකු සතු වී ද හෙතෙම මෙරට පාලකයා ලෙස පිළිගැනීමට රටවැසියෝ උත්සුක වූහ.

අනුරාධපුර යුගයේ සිට සිදු වූ රාජධානි ව්‍යාප්තියත් සමඟ දළදා වහන්සේ ද ක්‍රමක්‍රමයෙන් පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ හා කෝට්ටේ ආදී රාජධානිවලට වැඩමකරවා අතීත රජදරුවන් විසින් අලංකාර දළදා මන්දිර ඉදිකර ඒවාහි මහත් ගෞරවයෙන් වඩාහිඳුවා පුදසත්කාර පවත්වන ලදී. එසේ ම විවිධ කාලවකවානුවල දී පරසතුරු ආක්‍රමණයන්ට රාජ්‍යය නතු වූ අවස්ථාවන්හිදී ශාසන මාමක මහ තෙරුවන් වහන්සේලා තම දිවි දෙවැනි කොට මහත් පරිශ්‍රමයක් දරා දළදා වහන්සේ ආරක්ෂා කළහ. සෙංකඩගල තම රාජධානිය කරගනිමින් ක්‍රි.ව. 1592 දී ලක්දිව රාජ්‍යත්වයට පත් පළමු වන විමලධර්මසූරිය මහරජතුමන් පන්සාළිස් වසක් දෙල්ගමු විහාරයෙහි කුරහන් ගලක සඟවා තිබූ දළදා වහන්සේ මහපෙරහරකින් අගනුවරට වැඩමවා විචිත්‍ර වූ දෙමහල් දළදා මන්දිරයක් ඉදිකරවා ස්වර්ණමය කරඬුවක වඩාහිඳුවා පෙර රජදරුවන් සේ ම, දළදා වහන්සේ උදෙසා සිදුකළ යුතු පුද පූජාවන් නිසි අයුරින් නොකඩවා පවත්වාගෙන යන ලදී.

ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි අතීතයෙහි සිට පවත්වාගෙන එනු ලබන විවිධ වූ පුද පූජාවන්, අතර ඇති සතර මංගල්‍යයට අයත් වාර්ෂික දළදා පෙරහර පැවැත්වීම ප්‍රධාන වේ. මෙම දළදා පෙරහරෙහි ආරම්භය අනුරාධපුර රාජධානි සමයේ සිට ම සිදුවූවක් බව මහාවංසය හා චීන දේශගවේෂක පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තා පිරික්සීමේ දී පැහැදිලි වේ. කිත්සිරිමෙවන් මහරජු දළදා වහන්සේ ලැබීමෙන් අපමණ පී‍්‍රතියට පත් ව විසිතුරු පුද පෙරහරක් පවත්වා තම අසීමිත භක්ති ප්‍රණාමය දැක් වූ අතර වසරක් පාසා නොකඩවා පෙරහර පැවැත්වීමට නියම කළ බව ද ඉතිහාසයෙහි දැක්වේ.

පොළොන්නරු රාජධානි සමයෙහි දී මහා පරාක්‍රමබාහු මහරජතුමන් මනහර වූ දළදා පෙරහරක් වාර්ෂික ව පැවැත් වූ බවත් දඹදෙණි, කුරුණෑගල ආදී යුගයන්හි මඟතොට සුදුවැලි අතුරා, නගරය දෙව් විමනක් සේ සරසා, ධජ පතාකාදියෙන් වීථි අලංකාර කොට, තොරණ බැඳ විචිත්‍ර නැටුම් ගැයුම් සහිත මනහර වූ පෙරහරක රජතුමා හා මැති ඇමැති පිරිවර දළදා වහන්සේ වැඩම කරවූ බව වංශ කතා සාහිත්‍යයෙහි දැක්වේ.

මහනුවර යුගය වන විට ඇති වූ පරසතුරු ආක්‍රමණ හා ඇතැම් රාජ්‍ය පාලකයන්ගේ ශාසන විරෝධී පිළිවෙත් නිසා ලාංකේය සම්බුද්ධ ශාසනය අතිශය පරිහානියට පත් වූ බව නොරහසකි. වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ නොපසුබස්නා වීර්යය නිසා ම අපමණ දුක් කම්කටොලු හා බාධක මැද වුව ද මෙලෙස ඉතා අවාසනාවන්ත ලෙස පිරිහී ගිය ලක් බුදුසසුන නැවත ප්‍රකෘතිමත් කොට සුරක්ෂිත කිරීමට හැකිවිය. මෙම සමය වන විට දළදා වහන්සේ උදෙසා සිදුකරන ලද පෙරහර මංගල්‍යය ද දෙවියන් උදෙසා පැවැත්වෙන දිව්‍ය පූජෝත්සවයකට සීමා වී තිබිණ. දළදා පෙරහර පැවැත්වීම වෙනුවට ඇසළ මාසයේ දී සිව්දේවාලයන්හි දේව පෙරහර පැවැත්වීම චාරිත්‍රයක් විය. මෙහි ඇති අනුචිත බව මැනවින් වටහාගත් වැලිවිට සරණංකර සංඝරාජයාණන් වහන්සේ සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන මෙරටට වැඩම කළ ප්‍රචර උපාලි මාහිමියන් සමඟ ද සාකච්ඡා කොට එවක ලක්දිව රාජ්‍යත්වය දැරූ කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් හට දළදා වහන්සේ විෂයයෙහි දළදා පෙරහර මංගල්‍යය පැවැත්විය යුතු බවට අනුශාසනා කළහ.

එතැන් පටන් වර්තමානයේ කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහර පැවැත්වෙන ආකාරයට දළදා මාලිගයේ පෙරහර පළමුවත්, සිව් දේවාලයන්හි පෙරහර ඉන් අනතුරුවත් වීථි සංචාරය කෙරෙන අයුරින් පෙරහර සකස් කරවූහ. මෙසේ අතීතයේ සිට ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදුකළ දළදා පෙරහර මංගල්‍යය මහනුවර යුගය වන විට දෙවියන් උදෙසා පවත්වන දේව පූජාවක් බවට පත් වූ අතර වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ මැදිහත්වීමෙන් එය අසිරිමත් දළදා පූජෝත්සවයක් බවට පරිවර්තනය විය.

එදා සිට අද දක්වා මෙම දළදා පෙරහර මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි සිදුකරනු ලබන උසස් පූජෝපහාරයක් සේ සලකා පුරාණ චාරිත්‍රානුකූල ව නොකඩවා පවත්වාගෙන එනු ලබයි. ඒ අනුව වර්තමානයේ මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු අස්ගිරි උභය මහාවිහාරයීය අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ පූර්ණ අවවාදානුශාසනාවන්ට අනුව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන්ගේ මඟ පෙන්වීම මත මෙම මහා සංස්කෘතික මංගල්‍යය විචිත්‍රවත් අන්දමින් සිදු කෙරේ.