Print this Article


අසිරිමත් වාම ශ්‍රී දළදා වහන්සේ

අසිරිමත් වාම ශ්‍රී දළදා වහන්සේ

සම්මා සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මල්ලව රජ දරුවන්ගේ උපවත්තන සල් උයනෙහි දී ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසුව ඉතිරි වූ අකු ධාතූන් වහන්සේ දෙනමක්, ලලාට ධාතූන් වහන්සේ, ග්‍රීවා ධාතූන් වහන්සේ ආදී සතර දළදා වහන්සේ හැර අනෙක් සියලුම ධාතූන් වහන්සේලා අබ, මුං පියළි ප්‍රමාණයට විසිරී පැවැති බව මහා පරිනිබ්බාණ සූත්‍රය ආදී නොයෙක් ඓතිහාසික වාර්තාවල සඳහන් වෙනවා.

ඉන් කලිඟු රටේ වැඩ සිටි වාම ශ්‍රී දළදා වහන්සේ අද මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටිනවා. මේ උතුම් දළදා වහන්සේගේ අතීත කථාව සුවිශේෂී වෙනවා. එකල රහතන් වහන්සේ නමක් දළදා වහන්සේ තම දෝතින් වඩමවාගෙන බ්‍රහ්ම දත්ත රජතුමාට පිරි නැමුවා. ඒ දළදා වහන්සේ රජතුමා නොයෙක් පුද පූජා පවත්වමින් දන්ත පුරයේ තබා ගත්තා. පසුව එය ගුහසීව රජතුමාටත්, පඬුවස් රජතුමාටත් භාර වුණා. පඬුවස් රජතුමාගේ රාජ්‍ය කාලයේ අන්‍ය තීර්ථකයන්ගේ කියමන් නිසා දළදා වහන්සේට විවිධාකාර තාඩන පීඩන සිදු වුණා.

දාඨා වංශයේ සඳහන් ලෙස දළදා වහන්සේ විනාශ කිරීමේ අරමුණින් ගින්නට දැමූ දළදා වහන්සේ පසුව කිණිහිරයක තබා කුළු ගෙඩියකින් තැලූ බව ද සඳහන් වෙනවා. එසේ ම ගැඹුරු වළකට දැමූ දළදා වහන්සේ මත පස් පුරවා ඇතුන් ලවා පෑගූ බවත්, දළදාව කුණු කසළ සහිත වළකට දැමූ බවත් සඳහන් වෙනවා. මෙවැනි කෲර පාපයන් හමුවේ නොසැළුණු බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන වාම ශ්‍රී දළදා වහන්සේ අහස් කුස සිසාරා සුපිපි සියපතක් මත ඇඳුණු චන්ද්‍ර රේඛාවක් සේ බැබළී ගියා. මෙයින් කුපිත වූ කෲර රජතුමා දළදා වහන්සේ ජලයට දැමුවා. එහි දී ද මේ උතුම් දළදා වහන්සේ රන් පැහැති හංසයකු විලසින් ජලය මත වැඩ සිටියා. ඒ සමඟම පොළෝ තලයෙන් මතුව සුපිපුණු සියපතක් මත දළදා වහන්සේ වැඩ සිටියා. මෙවැනි අසිරිමත් සිදු වීම් පෙළක් හමුවේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී ගිය රජතුමා දිනපතා ම උදේ සවස කාලයේ දළදා වහන්සේ උදෙසා පූජා සත්කාරයන් සිදු කළා.

මේ පුවත දැනගත් ඛීරධාර රජතුමා දළදා වහන්සේ ඉල්ලා සිටිය ද උන්වහන්සේ නොලද බැවින් යුධ වැදුණා. යුද්ධයකට පෙර දළදා වහන්සේ ගුහසීව රජතුමාට භාර කළා. ඉන්පසුව ඛීරධාර රජවරු දෙදෙනෙක් දළදා වහන්සේ රැගෙන යාමට දන්ත පුරයට පැමිණියා. ඒ මොහොතේ ගුහසීව රජතුමා තම බෑණනුවන් වන දන්ත කුමරුට සහ හේමමාලා දියණියට දළදා වහන්සේ පවරා තමන් යුද්ධයෙන් පරාජයට පත්වුණොත් දළදා වහන්සේ ලක්දිවට රැගෙන යන්නැ’යි පැවසුවා. ඒ අනුව දළදා වහන්සේ රැගෙන යන මේ දෙදෙනා ස්නානය ආදිය කටයුතු සිදු කළේ, දළදා වහන්සේ වැලි මත සඟවා තැබීමෙනි. ඒ අවස්ථාවන්වලදී දළදා වහන්සේ නා ලොවට වඩම්මවා පුද පූජා පැවැත්වූ ආකාරයත්, නැවත රහතන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් දළදාව ලබා ගත් ආකාරයත් ඓතිහාසික වංශ කථාවල සඳහන් වෙනවා.

මෙවැනි උවදුරු හමුවේ දළදා වහන්සේ ලක්දිවට වැඩම කළේ කිත්සිරි මෙවන් රජතුමාගේ රාජ්‍ය කාලයේ දී ය. එහි දී දළදා වහන්සේ ගැන රජතුමා තුළ ඇතිවූ සැකය දුරැලීමට දළදා වහන්සේ අසිරිමත් පෙළහර පාමින් අහස් කුසට පැන නැගුණා. මෙයින් බුද්ධාලම්භන ප්‍රීතියට පත් රජතුමා දළදා වහන්සේ ගෞරව බහුමානයෙන් රජ ගෙදරට වඩමවාගෙන සිංහාසනය මත වඩා හිඳුවා ලක්දිව තෙවතාවක් ම දළදා වහන්සේට පූජා කළ බව මහාවංශය ආදිය ග්‍රන්ථවල ද සඳහන් වෙනවා. එසේ ම රජතුමා දළදා වහන්සේට වාර්ෂිකව පෙරහර ආදියෙන් පුද පූජා පවත්වමින් අභයගිරියට වැඩම කරවූවා. අභයගිරියේ විසූ භික්ෂූන් වහන්සේ, දළදා වහන්සේ බාරගෙන පුද සත්කාරයන් සිදු කළ ආකාරය සෝමවතිය අසල තිබූ සෙල් ලිපියක සඳහන් වෙනවා.

පොළොන්නරුව යුගයේ දී විජයබාහු රජතුමා, නිශ්ශංක මල්ල රජතුමා ආදී රජවරු දළදා වහන්සේට පෙරහර සහ විවිධාකාර මාලිගාවන් තනා පුද පූජාවන් සිදු කළා. පොළොන්නරු යුගය අවසානයේ දී කාලිංග මාඝ– චන්ද්‍ර මාඝ ආක්‍රමණ නිසා රජවරු දඹදෙණියට නික්ම යාමෙන් භික්ෂූන් වහන්සේ විසින් පොළොන්නරුවේ වැඩ සිටි පාත්‍ර දළදා වහන්සේ රැගෙන කොත්මලයට වැඩම කළා. කොත්මලේ ගස් බෙනයක දළදා වහන්සේ සඟවා තැබූ හාමුදුරුවරු බුරුමයට වැඩම කර තම ජීවිත බේරා ගත්තා. ඉන්පසුව දෙවන පරාක්‍රමබාහු රජතුමා දළදා වහන්සේ කොත්මලේ සඟවා තිබූ ස්ථානය දැන එය තම මාලිගාවට වඩමවා අපමණ පුද සත්කාරයන් සිදු කරමින් එදා සිටම කුරුණෑගල, යාපහුව, ගම්පොළ, කෝට්ටේ ආදී යුග ගණනාවක දී දළදා වහන්සේ දිගටම ආරක්ෂා කර ගත්තා.

සීතාවක රාජධානී යුගයේ සුවිශාල විනාශයක් රටේ ඇති වුණා. ඒ මොහොතේ වාම ශ්‍රී දළදා වහන්සේ රත්නපුර කුරුවිට දෙල්ගමුව රජමහා විහාරයේ කුරහන් ගලක් යට අවුරුදු හතළිස් තුනක් මුළුල්ලේ රහසිගතව තැන්පත්කර පුද පූජාවන් පැවැත්වූවා. 1542 දී රාජ්‍ය කළ වික්‍රමබාහු රජතුමා කන්ද උඩරට රාජ්‍ය ආරම්භ කර සෙංකඩගල රාජධානිය පිහිටුවාගෙන එහි දෙමහල් ප්‍රාසාදයක් තනා පාත්‍ර ධතූන් වහන්සේ තැම්පත් කරවූවා. එම විහාරස්ථානය පෝය මළු විහාරය යි. එහි වැඩ විසුවේ ධම්මකීර්ති ස්වාමීන් වහන්සේ යි. එකල රාජ්‍ය කළ පළමු විමලධර්මසූරිය රජතුමා දෙල්ගමුවේ සිට මහනුවරට දළදා වහන්සේ වඩමවා මහනුවර වත්මන් මාලිගාවට පෙර තිබූ මාලිගාවන්හි දළදා වහන්සේ තැන්පත් කර පුද සත්කාරයන් සිදු කළා. එසේම දෙවන විමල ධර්ම සූරිය රජතුමා ද දළදා වහන්සේට පුද පූජාවන් පැවැත්වූවා. වත්මනෙහි දක්නට ඇති දළදා මාලිගාව තැනීමෙන් පසුව එහි දළදා වහන්සේ තැන්පත් කළා. එසේ කිරීමට හේතු වූයේ දෙවතාවක් ම පෘතුගීසීන්, ලන්දේසීන් විසින් දළදා වහන්සේ විනාශ කිරීමට උත්සාහ දැරීම යි.

කෝට්ටේ යුගයේ දී ලක්දිව තිබූ උපසම්පදාව සියම් රටට ගෙන යාම නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ දී ලක්දිව උපසම්පදා භික්ෂූන් වහන්සේලා වාසය කළේ නැහැ. නැවත තායිලන්තයේ අයෝධ්‍යා රටේ රජතුමාට පණිවුඩ යවා උපාලි තෙරුන් වහන්සේ ඇතුළු විසිපස්නමක් මෙරටට වැඩම කරවූවා. මෙයින් අපමණ සතුටට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තම මල් උයන ස්වාමීන් වහන්සේලාට පූජා කර , එහි පෝය සීමා සහ විහාරස්ථාන සැකසුවා. අද මල්වතු මහා විහාරය නමින් හඳුන්වන්නේ එම විහාරස්ථානය යි. එහි දී පළමුව උපසම්පදාව සිදු කළේ කොබ්බෑකඩුව හිමි, වැලිවිට සරණංකර හිමි, තිබ්බොටුවාවේ හිමි, හුලංගමුවේ හිමි, මල්වතු විහාරයේ පස්නමක් සහ අස්ගිරි විහාරයේ නාවින්න හිමි ආදී හයනමකගේ මූලිකත්වයෙන් ලක්දිව නැතිවී ගිය සම්බුද්ධ ශාසනය යළි ඇති කිරීම උදෙසා පෝය සීමාගෙයි පළමුව උපසම්පදා වුණා. එසේනම්, එකල වැලිවිට සරණංකර හිමියන් ඇතුළු හයනම නැති වී ගිය සම්බුද්ධ ශාසනය වර්තමානය දක්වා යළි නඟා සිටුවීමට ඇප කැප වූවා. මෙලෙස සම්බුද්ධ ශාසනයට සුවිශේෂී මෙහෙවරක් සිදු කරන අතරම මල්වතු අස්ගිරි විහාර දෙකෙන්ම දළදා වහන්සේට පුද සත්කාර සිදු කළා.

වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ අසිරිමත් සිදුවීම් ගැන දළදාවලිය කාව්‍යයේ ද බොහෝ විස්තර ඇතුළත් වෙනවා. දඹදෙණි යුගයේ විජයබා රජතුමාට එක් අවස්ථාවක දළදා වහන්සේට පුද පූජාවන් සඳහා මල් සොයාගන්නට අපහසු වුණා. ඒ මොහොතේ මහා විශාල ගලක් පිපිරී අරුම පුදුම මල් රැසක් ගලින් මතු වී විකසිත වුණා. මේ පුෂ්පයන් රජතුමා ඉතා ශ්‍රද්ධාවෙන් දළදා වහන්සේට පූජා කළ අයුරු සඳහන් වෙනවා. තව ද රජතුමා දළදා වහන්සේ සහිත ධාතු කරඬුව වඩමවාගෙන එද්දී එය අසිරිමත් ලෙස අහසට පැන නැඟුණු ආකාරය ද සඳහන් වෙනවා.

වසර 1815 දී ඉංශ්‍රීසි ආධිපත්‍ය පැවැති යුගයේ දී දළදා වහන්සේ සහිත කුටියේ යතුරු කිහිපයක් අතුරින් එක් යතුරක් ඉංග්‍රීසීන් අතට පත් වුණා. මේ නිසා ඔවුන් පුද පූජාවන් සිදු කළේ නැහැ. ලබා ගත් යතුරවත් නැවත දුන්නේ නැහැ. මේ කාලයේ දී මහා නියඟයක් පැමිණ, මහා වැසි වැස 1817 , 1818 යුගවලදී සුවිශාල විනාශයක් රටේ ඇති වුණා. එහි දී මහනුවර වැව පවා උතුරා පිටාර ගලා ගිය ආකාරය විශ්මිත වූවා. මෙහි දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වික්ටෝරියා මහා රැජනට කරුණු පහදා දී පෙරහර ආදී කටයුතු නැවත සිද්ධ කරනු ලැබුවා. 1848 වෙද්දී සම්බුද්ධ ශාසනයේ සියලුම බලය මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ට පැවරුණා. 1852 දී පමණ ඉංශ්‍රීසීන් සතුව තිබූ දළදා මාලිගාවේ යතුර මල්වතු අස්ගිරි නාහිමිවරුන්ට ලබා දීම සුවිශේෂී සංසිද්ධියක්.

මහනුවර යුගය වෙද්දී වැලිවිට සරණංකර හාමුදුරුවන් සහ සියම් රටෙන් වැඩම කළ උපාලි හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් දළදා පෙරහර සිදු කළා. එදා සිට අද දක්වාම දළදා පෙරහර මූලිකත්වයෙන් සතර දේවාල පෙරහර ද පවත්වනවා.

එසේම අපවත් වී වදාළ වැලිවිට සරණංකර මහා නාහිමියන් වහන්සේ තම ජීවිත කාලයේ දී දළදා වහන්සේ ගේ ආශ්චර්ය දුටු බව සඳහන් වෙනවා. එක්තරා දිනෙක උන්වහන්සේ කරඬුව සමීපයට වැඩම කරද්දී රන් කරඬුවෙන් රන්, රිදී කෙඳි හා සමාන බුද්ධ රශ්මි ධාරාවන් මාලිගාවේ රන්කොත සමීපයෙන් බබළවමින් අහස් තළයට පැන නැඟුණු අසිරිය දැක තිබෙනවා. මෙසේ දළදා වහන්සේ සම්බන්ධව විවිධාකාර ආශ්චර්යයන් සඳහන්ව තිබෙනවා. තවද බෙරහඬ නොමැති විට ඇතුළතින් නැඟෙන බෙරහඬ, සක් පිඹින හඬ, මිණිගෙඩි රාවයන් ඇසෙන බවට එහි වෙසෙන බොහෝ දෙනාට අදටත් අත්දැකීම් තිබෙනවා.

එසේනම්, අසිරිමත් පෙළහර දක්වන, බෞද්ධයාගේ මුදුන් මල්කඩ සේ සලකන වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේත්, ඒ උදෙසා පවත්වන පුද සත්කාරයන් මෙන්ම දළදා පෙරහරත් ලංකාවාසී, ලෝකවාසී පින්වතුන්ට මහත් ආශිර්වාදයක් වෙනවා.