Print this Article


අරුණට පෙර ස්වප්නයක් දුටු උපාසකතුමා

අරුණට පෙර ස්වප්නයක් දුටු උපාසකතුමා

වසර 2014 ක් වූ ජූලි මස එක්තරා දිනයක මීතිරිගල ත්‍රිපිටක ධර්මායතනයට පිය නැඟුවේ මහා යතිවරයන් වහන්සේ නමක් සම්මුඛ වී ඒ උතුමන් වහන්සේගේ ජීවිත සටහන කෙටියෙන් හෝ දැන ගන්නා අදහස සිත්හි දරාගෙන ය. ඤාණවෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ, සංඝ සෝභන ගුණෙන් යුතු වූ ඒ මහා ස්වාමීන් වහන්සේ නම් සුපුජනීය නා උයනේ අරියධම්ම මා හිමිපාණන් වහන්සේ ය. ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩ වසන කුටිය ඉදිරිපිට සක්මන් මළුවෙකි. ඒ උතුමන් වහන්සේ ගේ පාද ස්පර්ශය නිතර ලබන වැලි තීරය යි. බොහොම ගෞරව සම්ප්‍රයුක්ත ව කුටියට ඇතුළු වූ මම මාහිමිපාණන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ පින් හුවමාරු කර ගතිමි. පූජනීය ස්වාමීන් වහන්සේ මෙත් කරුණා පිඬක් බැවින් සිදු කළ සතුටු සාමීචි කථනයෙන් සිත පිරිණි. ඉන්පසු නිත්‍ය උපස්ථාන හිමියන් සමඟ මගේ අරමුණ ඉටු කරගැනීමට උත්සුක වූයෙමි.

මම ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළෙමි. ගඟක් ගලන්නේ යම් සේ ද එසේ කිසිදු පැකිලීමක්, අමතක වීමක් නොමැතිව තමන් වහන්සේගේ ජීවන ගමන අප ඉදිරියේ දිග හැරියේ ඉමහත් කරුණාවෙනි. එනමුදු ස්වාමීන් වහන්සේ ජීවිත කථාව ඉදිරිපත් කිරීමේ දී යමක් සඟවන බව මට දැනුණි. එනම් තම අධ්‍යාත්මික ගුණ නිධානයයි. එය සත්පුරුෂයාගේ ලක්ෂණයකි. තම ගුණ සැඟවීම හා අගුණ ප්‍රකට කිරීම උතුමන් ගේ ස්වභාවයකි. කෙසේ නමුදු ඉතා සංක්ෂිප්ත ව තමන් වහන්සේගේ චරිත කතාව ඉදිරිපත් කළ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිව් පැය හමාරක් අප වෙනුවෙන් වැය කළ සේක. එය මම අකුරු කළෙමි.

2014 සැප්තැම්බර් 23 වන දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි අති පූජ්‍ය මහා නායක මාහිමි වර ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේට ‘සිරි ජිනවංස ඤාණාරාම වංසාලංකාර සාසන සෝභන’ යන ගරු නාම සම්මුතිය සමඟ අනුනායක පදවිය පිරිනමන ලදී. එහිදී ලක් බුදු සසුනෙහි මුදුන් මල්කඩ’ නමින් ස්වයං කථිත අපදානය දොරට වැඩියේ ය.

එම ස්වයං කථිත අපදාන සැදැහැ දන පහන් සංවේගය පිණිස කොටස් වශයෙන් මෙසේ දිග හැරේ.


නා උයනේ ශ්‍රී අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ ස්වයං කථිත චරිත කථාව - 01

දේවතෝපසංහාරය

ඒ 1938 වර්ෂය යි. වයඹ පළාතෙහි කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි ඉමිහාමිනේගම ගැමි සුවඳ විහිදෙන පිටිසර ගම්මානයෙකි. ඒ ගම්මානයෙහි වාසය කළ කළුබණ්ඩා උපාසකතුමා ඒ වනවිට තුන්දරු පියෙකි. සැදැහැ සිතින් ඔද වැඩුණු මෙතුමා තම කුඩා පවුලත් සමඟ සමගි සම්පන්නව වාසය කළේ ය. හදිසියේ ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් මේ උපාසකතුමා නිවසින් බැහැර ගියේ ය. සිත් තැවුල් නිවාගැනීම සඳහා යැයි සැලකෙන අධර්මිෂ්ට ස්ථානයකට නොව තුන් ලෝ ධාතුව තුළ මුදුන්මල්කඩ බඳු වූ ශ්‍රේෂ්ඨ වූ සම්බුදු සිරිපද පහසින් හා කෝටි ප්‍රකෝටි මහරහතුන්ගේ පා පහසින් අති පවිත්‍ර වූ ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන රුවන්මැලි මහ සෑ අභියසට ය.

එකල රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණය කරන අවධිය යි. ආයුධවලින් කැපීමට තරම් මහ ගස් වැල් වැවී වල් බිහි වී තිබූ මහා සෑයෙහි කටුකොහොල් හැරපියා ගල් ගඩොල් වැලි ගෙනවුත් සෑය බඳින අවස්ථාව කළුබණ්ඩා උපාසකතුමා ගේ නෙතට රසඳුනක් වූවාට සැක නැත. ‘සියල්ල සිදුවන්නේ යහපතටම ය’ යන යෙදුමට අනුව සැදැහැසිත් උපදවා දහදිය මුගුරු වගුරුවා උදෑසන පටන් සවස් භාගය දක්වා මහ සෑයට ගල් ගඩොල් ඇද දුන්නේ පී‍්‍රති ප්‍රමෝදයෙන් යුතුව වෙහෙස ද නිවාගෙන ය. නැවත සවස් භාගයෙහි සිට අලුයම දක්වා පහන් දල්වා බුදුගුණ මෙනෙහි කරමින් මහ සෑය පැදකුණු කළේ ය. මෙසේ සදිනක් ගත විය.

සත්වන දින හදිසියේ නමුත් වෙහෙස නිසා නිද්‍රෝපගත ව සිටි උපාසකතුමා අරුණට පෙර ස්වප්නයක් දුටුවේ ය. දේවපුත්‍රයෙක් පැමිණ ‘වහා ගෙදර යනු, පින්වත් දරුවෙකු පිළිසිඳ ගැනීමට නියමිතය’ යැයි ප්‍රකාශ කොට අතුරුදහන් වූයේ ය. මෙතුමා මහ සෑය වැඳ නිවෙස බලා නික්මුණේ ය.

ඒ පින්වත් ගුණැති කළුබණ්ඩා උපාසකතුමා යනු අන් කෙනෙක් නොවේ. මාහිමිපාණන් වහන්සේගේ පියතුමාණන් ය. ඒ දුටු සිහිනය වනාහි මාහිමි පිළිසිඳීම සිදුවන බව දැක් වූ දේවතෝපසංහාර ස්වප්නය යි.

අවසර ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්සේගේ ජන්ම භූමිය කොහේ ද?

“මා උපන්නේ ඉමිහාමිනේ ගම නම් පිටිසර ගම්මානයේ. මහනුවර යුගයේ දී ‘කුඩාපොළ උන්නාන්සේ’ නමින් හැඳින් වූ ඒ ස්වාමීන් වහන්සේ වැඩ සිටිය ගම කුඩාපොළ වශයෙන් හැඳින්වෙනවා. පසුකාලයකදී ගම්පති කෙනෙකුගේ නමින් ඉමිහාමින්නේ ගම යැයි නම් වෙනස් වී තිබෙනවා. මා උපන් ගම අයත් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි ඉහළඕතොට කෝරළේ කෑරලංකඩවල ගම්පති සීමාවටයි. අප උපන් කාලයෙහි ගමෙහි තිබුණේ ගෙවල් තිහයි. ව්ිසානායක පෙළපත, විජේකෝන් පෙළපත, ඊරියගොල්ල පෙළපත යන පෙළපත් තුනෙහි පිරිස විතරයි හිටයේ. කවුරුත් එක පවුලේ අය වගේ සමගියි. ගමේ කිසි නිවසක අන්ධ, ගොළු, බිහිරි, අංගවිකල කිසිවෙකුත් නැහැ. වාසනාවන්ත මනුෂ්‍යයන් පිරිසක් තමයි වාසය කළේ. ගම්වැසියන් ගේ ජීවනෝපාය ගොවිතැන යි”

ස්වාමීන් වහන්සේගේ මව්පිය දෙපළ කවුද?

“මව්පිය දෙපළ වශයෙන් කුරුණෑගල රජ සමයේ දිසානායක අධිකාරම්තුමාගේ පෙළපතේ අපේ පියතුමා දිසානායක මුදියන්සේලාගේ කළුබණ්ඩා නමින් හැඳින්වෙනවා.මෑණියෝ මානිංගමුවේගෙදර පුංචිමැණිකා නම් වෙනවා. පියාගේ පෙළපතටම අම්මත් සම්බන්ධ යි”

ස්වාමීන් වහන්සේගේ උපත, පවුලේ විස්තර ගැන සිහිපත් කළොත්...

“මම උපන්නේ 1939 අප්‍රේල් මාසෙ 24 වෙනි සඳුදා. මගේ ගිහි නම දිසානායක මුදියන්සේලාගේ හීන් බණ්ඩා. ඒ රටේ පැරැණි නම් එහෙමයි. මට වැඩිමහල් සහෝදරයෝ දෙදෙනයි, වැඩිමහල් සහෝදරිය යි. එම පවුලේ හතරවෙනියා. මට බාල සහෝදරය යි සහෝදරියෝ දෙදෙනයි.”

ස්වාමීන් වහන්සේගේ ළමා කාලය ගත වුණේ කොහොමද?

“මට මතකයි මම අත දරුව කාලේ මට සිහිනෙන් වගේ පෙනෙනවා මම කලින් හිටිය තැනට යන්න ඕනෙ. එතැනට යන්න මෙහෙම නම් බෑ. මම මහණවෙන්න ඕනෙ. එතකොට එතැනට යන්න පුළුවන් කියලා. මහණකම ගැන දන්නේ නැති කුඩා කාලයේ පවා මෙබඳු සිතිවිලි පහළ වෙලා තියෙනවා. මෙහෙම කලක් යන විට වැඩිමහල් පුංචි අයියා අකුරු කියවන නැකතට මමයි මුලින් ම අකුරු කියෙව්වෙ.පුංචි අයියා ඉන්පසු මට අවුරුද්දකට කලින් පාසල් යන්න පටන් ගත්තා. ඊළඟ අවුරුද්දේ මම පාසල් ගියා. ඉතින් සෑමදාම පුංචි අයියාගේ පාඩම් ටික මට කල් ඇතිව කට පාඩම්. ඒ විදියට තමයි ඉගෙනීම ලැබුවේ. මම ගියේ නිලගම රජමහා විහාර භූමියට සමීප නිලගම ප්‍රථම පාඨශාලාව නම් පාසලට යි. එහි අටේ පන්තියට පමණයි තියෙන්නේ. පූර්වජ්‍යෙෂ්ඨ කියලා හඳුන්වනවා. උසස් පන්ති නෑ. මම ගුරු දෙගුරුන්ගේ සිත් දිනාගෙන කීකරුව හොඳින් ඉගෙන ගත්තා.”

අපි පාසල් යන්නේ නිලගම පන්සල හරහා. ඉතින් එහි වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා අපට බොහොම හිතෛෂී. ඒ ඇසුරින් ගාථා කියන හැටි පුහුණු වුණා. පාසල් යනවිටත් ඒ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මිදුලේ වැඩ ඉන්නා වෙලාවල දී කළු ලෑල්ලේ ගාථා ලියල අපට පුහුණු කළා. අප කුඩා කාලෙ අපේ ගමේ සමාගම් ශාලාවේ දහම් පාසලක් තිබුණා. ස්වාමීන් වහන්සේලා නොව අපේ වැඩිහිටි දෙතුන් දෙනෙක් එහි උගන්නනවා. එහිදී අපි බුද්ධගජ්ජය, සකස්කඩ, නාමාෂ්ට ශතක වැනි ශ්ලෝක කියන්න පුරුදු වුණා.