සෙංකඩගලපුර ඇසළ පෙරහර
මංගල්‍යය
අස්ගිරි මහා විහාර පරිවේණාධිපති
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ
නියෝජ්‍ය ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
නාරන්පනාවේ ආනන්ද හිමි
පෙරහර සංකල්පය යනු ප්‍රාග් බෞද්ධ යුගය දක්වා දිවෙන සංස්කෘතික සංකල්පයකි. සිද්ධාර්ථ
කුමාරෝප්පත්තියට පූර්වයෙන් ඇසළ සමය තුළ සිදු කළ විවිධ සැණකෙළි හා පෙරහර උත්සව
පිළිබඳ බෞද්ධ ඉතිහාසයේ තොරතුරු අනාවරණය කරන අතර ඇසළ පොහෝ දින උයන් කෙළියට ගිය පුවත
මෙන්ම එදින රාත්‍රියේ සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගත් බවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන්
වේ.
කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුව සිටි අපරදිග මානවයා නිසි කල වැසි ලබා ගැනීමේ
අරමුණින් දෙවියන් සතුටු කිරීම උදෙසා විවිධ උත්සව හා යාග හෝම ආදිය පැවැත් වූ කාල
පරිච්ඡේදයක් ලෙස ද ඇසළ සමය හඳුන්වා දිය හැකි ය. කෘෂිකාර්මික ජීවිතයත් ගත කළ ප්‍රාග්
බෞද්ධ ලක්වැසියන් ද තමන්ගේ ගොවිතැන් කටයුතු කර ගැනීමට හා නිසි කලට වර්ෂාව ලබාගෙන
ස්වකීය ගොවිතැන් කටයුතුවල සශ්‍රීක භාවය ඇති කරගැනීමට අව්ව, වැස්ස ආදී ස්වභාව ධර්මය
දේවත්වයෙන් සලකා ඒ සඳහා විවිධ පුද පූජා පවත්වා තිබේ. එනමුත් අනු බුදු මිහිඳු
මහරහතන් වහන්සේ නිර්මල බුදුදහම මෙරටට හඳුන්වා දීමෙන් පසුව පෙර පැවැති ප්‍රාථමික
ඇදහිලි වෙනුවට තෙරුවන් මුල්කරගත් විවිධ පුද පූජා චාරිත්‍ර සමුදායක් ගොඩනැගුණු ආකාරය
දක්නට ලැබේ. ඒ තුළින් රත්නත්‍රයේ ආශිර්වාදය ලබා තමන්ගේ සියලු කටයුතු සඵල කරගත හැකි
බව ඔවුහු විශ්වාස කළහ.
මුල් කාලීනව ඇසළ මාසයේ දෙවියන් වෙනුවෙන් කළ විවිධ උත්සව පෙරහර පුද පූජා ආදිය
පසුකාලීනව බුදුදහම මෙරටට හඳුන්වාදීමත් සමඟ තුනුරුවන් මුල් කරගෙන පවත්වන්නට ආදි
කාලීන බෞද්ධයන් හුරු පුරුදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ම දළදා වහන්සේ
ලක්දිවට වැඩමවීමෙන් පසු සෙසු පූජ්‍ය වස්තූන්ට වඩා දන්ත ධාතූන් වහන්සේ කෙරෙහි
සුවිශේෂී විශ්වාසයක් හා ගෞරවයක් ගොඩනැගුණු නිසාවෙන් දළදා වහන්සේ මුල් කරගෙන මේ ඇසළ
සමයේ විවිධ පෙරහර උත්සව පවත්වන්නටත් පුද පූජා පවත්වන්නටත් පුරුදු විය. එතුළින් දළදා
වහන්සේගේ ආශිර්වාදයන් ලැබ රටට හා ජනතාවට සෞභාග්‍ය උදාකරගත හැකිය යන විශ්වාසය
ලක්වැසි බෞද්ධයෝ තුළ ගොඩනැඟුණාහ. මේ නිසාවෙන් දළදා වහන්සේ උදෙසා කරන විවිධ පූජාවන්
අතරට ඇසළ මාසයේ විශේෂ පෙරහර සම්ප්‍රදායක් ආරම්භ විය. ඒ පිළිබඳව අපට හමුවන ඉපැරැණිම
තොරතුරු පාහියන්, හියුංසාන් වැනි දේශාටකයන්ගේ දේශාටන වාර්තාවලත් එසේම මහාවංසය වැනි
දේශීය මූලාශ්‍ර තුළත් දැකගත හැකි ය. විශේෂයෙන් ම දළදාවහන්සේ ලැබුණු මුල් යුගයේ
ධම්මචක්කගේහ නමැති මුල් දළදා මැදුරේ සිට අභියුත්තරාරාමය හෙවත් අභයගිරි විහාරයට
වර්ෂයක් පාසා පෙරහරින් දළදාවහන්සේ වැඩම කරවූ ආකාරය පිළිබඳ පවතින ඓතිහාසික තොරතුරු
ඉතා වැදගත් වේ. ඒ අයුරින් දළදාවහන්සේ වැඩම කරවා විවිධ පුද පූජාවන් පවත්වා රටට
ආශීර්වාදය ලබාගත් සමයක් ලෙස මේ ඇසළ මාසය නම් කළ හැකි ය. මෙම සංකල්පය පසුව දළදා
පෙරහර ලෙස විකාශනයට පත් විය.
රාජධානී අනුක්‍රමයෙන් වෙනස්වීමත් සමඟ දළදාවහන්සේත් ඒ ඒ ස්ථානවලට වැඩම කරවා
දළදාවහන්සේ විෂයයෙහි අනේකවිධ පුදපූජා චාරිත්‍ර හා පෙරහර උත්සව පැවැත් වුව ද එය
වඩාත් විචිත්‍රවත් වූයේ මහනුවර රාජධානි සමයේදී ය. විශේෂයෙන් ම පළමුවන විමලධර්මසූරිය
රජතුමා දෙල්ගමු විහාරයේ වැඩසිටි දළදාවහන්සේ මහනුවරට වැඩම කරවා මහනුවර රාජධානියේ
ස්ථාවරත්වය ගොඩනැඟීමෙන් අනතුරුව දළදාවහන්සේ උදෙසා අනේකවිධ පුදපූජා ආරම්භ කොට ඇත.
මහනුවර රාජධානි සමයේ මුල් කාලීන රජවරුන්ට මුහුදුබඩ කලාපයේ පෘතුගීසි ආදී ආක්‍රමණයන්ට
නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවීම නිසා විධිමත් පරිදි මේ දළදා පෙරහර ආදිය පවත්වාගෙන
යාමේ අභියෝගයක් පැවතුණි. එහෙත් ලන්දේසීන් මුහුදුබඩ තම බලය තහවුරු කොට සිටි අවධියේ
දී උඩරට රාජ්‍යයේ බලයට පත්වන කීර්ති ශ්‍රී රාජසිංහ රජු මහනුවර යුගයේ රාජ්‍යය පාලනය
කළ වඩුග රජෙක් වුවද බුදු දහමේ උන්නතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කළ
පාලකයෙකි. ශ්‍යාමෝපසම්පදාව පිහිටුවීම, උභය මහාවිහාරයේ මහානායක අනුනායක ආදී ශාසනික
ඨානාන්තර ඇති කිරීම මෙන්ම ලංකාවේ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කොට ඒවා විධිමත්
කිරීම, දළදාවහන්සේ විෂයයෙහි ඉපැරැණි චාරිත්‍රානුූකූලව සිදුකළ වතාවත් ක්‍රමවත්ව
රාජකාරී ක්‍රමයක් ලෙසට පවත්වාගෙන යාම, දළදාවහන්සේ විෂයයෙහි කළ සියලු පැරැණි
පුදපූජාවන් අනලස්ව නොකඩවා පවත්වාගෙන යාමට වැඩ පිළිවෙළක් ගොඩනැඟීම ආදී විශාල ශාසනික
කටයුතු රාශියක් එතුමා විසින් සිදු කර තිබේ. එයින් අතිශය වැදගත් වනුයේ දළදාවහන්සේ
විෂයයෙහි එතෙක් කළ පුදපූජා වඩාත් විධිමත් කිරීමයි. දළදා වහන්සේ උදෙසා පැවැත් වූ මෙම
පුද පූජාවන් යම්කිසි ශෛලිගත ක්‍රමයකට ගොණුකරන ලද්දේ මෙතුමා විසිනි. ඒ අනුව එදා
කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ආරම්භ වූ පූජාචාරිත්‍ර අදත් විධිමත් පරිදි හා ක්‍රමවත්
පරිදි දළදාවහන්සේ උදෙසා සිදු කෙරේ. දළදා වහන්සේ විෂයයෙහි පවත්වන පුද පූජාවන් ද, ඒ
හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර ද එදා ජීවමාන බුදුරදුන් උදෙසා නිත්‍ය උපස්ථායක අනඳ
හිමියන් විසින් සිදුකළ සෝළස උපස්ථානය ඇසුරින් සකස් වී වඩාවර්ධනය වී ඇත. ලොව අන්
කිසිදු ස්ථානයක දැකිය නොහැකි දළදා මාළිගාවටම ආවේණික වූ මෙකී පූජාවන් සිදුකරන ආකාරය
අනුව ඒවා කොටස් 03කට බෙදිය හැකි ය.
දෛනික පූජා
සප්තාභික පූජා (සතියකට වරක් කරන ලද)
වාර්ෂික පූජා යනුවෙනි.
එයින් දෛනික පූජා යනුවෙන් අදහස් කරන්නේ දළදා වහන්සේට දිනපතා කරන පූජාවන් ය. එය ද
දවසේ අවස්ථා තුනකදී සිදුකරනු ලැබේ.
අලුයම පූජාව
නව පෑ පූජාව
හැන්දෑ පූජාව
වශයෙනි. සෙසු විහාරස්ථානවල බුදුපියාණන් වහන්සේ උදෙසා පවත්වන පූජාව ‘බුද්ධ පූජාව‘
ලෙස හැඳින්වෙන අතර දළදා මාළිගාවේ පවත්වන පුජාව ‘මුළුතැන් පූජාව‘ යනුවෙන් හැඳින්වීම
ද විශේෂත්වයක් ගනී. මීට අමතරව දළදා වහන්සේ උදෙසා සෑම සතියකම බදාදා දින සිදු කෙරෙන
‘නානුමුර මංගල්‍යය’ නම් වූ විශේෂ පූජාවක් ඇත. මේ හා බැඳී ඇත්තේ ද සුවිශේෂ චාරිත්‍ර
සමුදායකි. දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන වාර්ෂික පූජාවන් ලෙස සැලකෙන්නේ සතර මංගල්‍ය
පූජාවයි. එනම්,
01. අලුත් සහල් මංගල්‍යය
02. අලුත් අවුරුදු මංගල්‍යය
03. පෙරහර මංගල්‍යය
04. කාර්තික මංගල්‍යය
අලුත් සහල් මංගල්‍යය යනුවෙන් අදහස් කරන්නේ දළදා මාළිගාවට අයත් කුණ්ඩසාලේ සහල්
ගබඩාවෙන් දළදා මාළිගාව ඇතුළු විහාර දේවාලවලට බෙදාදෙනු ලබන අග්‍ර ශස්‍යවලින් හාල්
සේරු 80ක දානය පිළියෙළ කොට දළදා මාළිගාවේ ඇති කිරිබොඩ පාත්‍රයට පුරවා පූජා කිරීම
යි. මෙය ජනවාරි මස එළඹෙන දුරුතුපුර පසළොස්වක පොහෝ දින සිදු කෙරේ. වාර්ෂික මංගල්‍යය
අතර අලුත් අවුරුදු මංගල්‍යය ද දළදා මාළිගාවේ පූජා චාරිත්‍ර අතර වැදගත් තැනක් ගනියි.
සිංහල හා හින්දු අලුත් අවුරුදු වලට කෙරෙන චාරිත්‍ර දළදා මාළිගාවට ආවේණික පරිදි සිදු
කිරීම මෙයින් අදහස් කෙරේ. දළදා මාළිගාවේ නැකත් මොහොට්ටාල විසින් සකස්කරනු ලබන සුබ
මුහුර්තීන්වලට අනුව ලිප් ගිනිමෙළවීම, කිරිබත් පිසීම වැනි විශේෂ පූජා සමුදායක් මේ
යටතේ සිදු කරනු ලබයි. ඒවා හුදෙක් පෞරාණික චාරිත්‍රානුකූලවම සිදුකිරීම මෙහි ඇති
විශේෂත්වයයි.
මෙයින් ඇසළ මංගල්‍ය වශයෙන් හඳුන්වන්නේ එදා දළදා වහන්සේ මෙරටට වැඩම කළ අවධියේ පටන්
දළදා වහන්සේ විෂයයෙහි සිදුකළ පෙරහර මංගල්‍යය යි. ශ්‍රී ලාංකීය බෞද්ධ අනන්‍යතාවයත්,
ප්‍රෞඪ අභිමානයත්, සංස්කෘතික උරුමයත් මැනවින් විදහා දැක්වීම මෙහි ඇති තවත්
සුවිශේෂත්වයකි. වර්තමාන පෙරහර මංගල්‍යයේ සම්භවය කීර්ති ශ්‍රී රාජසිංහ රාජ අවධිය
දක්වා දිවෙන අතර එම අවධිය වන විට පෙරහර සතර දේවාලයන් සඳහා පමණක් සීමා වී තිබුණි.
වැලිවිට අසරණ සරණ සංඝරාජයන් වහන්සේගේත්, ශ්‍යාම ජාතික ප්‍රවර උපාලි තෙරුන්ගේත් උභය
මහාවිහාරයීය මහතෙරුන් වහන්සේලාගේත් උපදෙස් පරිදි සතර දේවාලයන් සඳහා සීමා වී තිබූ
පෙරහර දළදා පෙරහර හා මුසුකොට නැවැත එතුමා විසින් ආරම්භ කරන ලදී. එතැන් පටන් ඇසළ
පෙරහර අද දක්වාම කිසිදු වෙනසකින් තොරව පෞරාණික චාරිත්‍ර ආරක්ෂා කරමින් රටේ සියලු
ජනතාවට සෙත සෞභාග්‍ය ආශිර්වාදය පතා මෙම සංස්කෘතික මංගල්‍යය පවත්වනු ලබයි.
සතර දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව ඇසළ මංගල්‍යය ආරම්භ කෙරේ. කිරි ගසකින්
කපාගත් වියතක් පමණ වූ ලී කැබැල්ලක් කප වශයෙන් හඳුන්වන අතර එම කප දේවාල භූමියෙහි කප
සිටුවන ස්ථානයෙහි සිටුවා සතියක් ඒ වටා පෙරහර පවත්වනු ලබයි. එසේ සිදු කිරීමෙන්
සෞභාග්‍ය, සශ්‍රීකත්වය අපේක්ෂා කළ අතර ඉන් අනතුරු ව දින පහක් කුඹල් පෙරහර වශයෙනුත්
දින පහක් රන්දෝලි පෙරහර වශයෙනුත් දළදා පෙරහර වීදි සංචාරය කරනු ලබයි. කප් සිටුවීම හෝ
කප වටා සතියක් පෙරහර පැවැත්වීම දේවාල සඳහා පමණක් අනන්‍ය ලක්ෂණයකි. කෙසේ වෙතත් දළදා
පෙරහර වීදි සංචාරය කරන විටම සතර දේවාල පෙරහර ද ඊට අනුගතව වීදි සංචාරය කිරීම දැකිය
හැකි ය. පෙරහර මංගල්‍යය තුළ ඉපැරැණි චාරිත්‍ර සමුදායක් දක්නට ලැබෙන අතර එය අඛණ්ඩව
අද දක්වාම පවත්වාගෙන යාම සුවිශේෂී කරුණකි. ශ්වේත වර්ණයට හුරු ඇඳුමක් ඇඳි දියවඩන
නිලමේතුමන් ප්‍රථම කුඹල් පෙරහරේ කරඬුව භාරව ගමන් කරන අතර දෙවැනි, තෙවැනි, හතරවැනි
හා පස්වැනි කුඹල් පෙරහරවල පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාලවල
බස්නායක නිලමේවරු ගමන් කිරීම ද සිරිතකි.
එසේම සියලු රන්දෝලි පෙරහර දියවඩන නිලමේ ගමන් කිරීමත් සතර දේවාලයන්හි බස්නායක
නිලමේවරු ඒ ඒ දේවාල පෙරහරෙහි ගමන් කිරීමක් සිදුකරනු ලබයි. දියවඩන නිලමේතුමා,
කාරියකෝරාළ, ගෙපරාළ, වට්ටෝරුරාල, ආලත්ති අම්මාවරු, කවිකාර මඩුව, විදානේවරු ආදී අතීත
දළදාවහන්සේ හා සම්බන්ධ සියලු රාජකාරීකරුවන් පෙරහර සඳහා සම්බන්ධ වන අතර ඔවුන් වෙත
පැවැරුණු අනන්‍ය වූ රාජකාරී සමූහයක් ද දැකිය හැකි ය. එම කාර්යයන් අනලස්ව ඉටුකිරීම
තුළ දළදා පෙරහර ක්‍රමවත්ව සංවිධානය වේ.
විශේෂයෙන්ම දළදා පෙරහරේ ශබ්ද පූජා පැවැත්වීමේ ප්‍රධාන වගකීම මාලගම්මන, මොලගොඩ,
ඉහලවෙල, උඩුවෙල යන පනික්ක නිල හතරක් යටතේ ක්‍රියාත්මක වන අතර දළදා වහන්සේ උදෙසා
අඛණ්ඩව ශබ්ද පූජාදිය පැවැත්වීම ඔවුන්ගේ රාජකාරිය වේ.
අතීතයේ රජතුමා වෙනුවෙන් එතුමාගේ අභිමානය ප්‍රකට කරනු වස් සිදුකළ පෙරහර වර්තමානය වන
විට රාජ්‍ය මැදිහත්වීමක් සමඟ සිදු කරන බව පෙන්වා දිය යුතු ය. විශේෂයෙන්
මහදිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පොලීසිය,
ත්‍රිවිධ හමුදාව, නගර සභාව ආදී ආයතන එක්ව පෙරහර සංවිධානයට සහය දක්වන අතර උභය
මහාවිහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනමගේ පූර්ණ අනුශාසකත්වය මත පෙරහර සංවිධානය
කිරීමේ වගකීම හා අධිකාරීත්වය දියවඩන නිලමේතුමා වෙත පැවැරී ඇත. රාත්‍රී දින දහයක්
පුරාවට පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව අවසන් දින එනම් පුරපසළොස්වක පොහෝ දින
මධ්‍යම රාත්‍රියේ පෙරහර ගෙවදීමෙන් අනතුරුව පෙරහර කරඬුව අස්ගිරි මහා විහාරයේ ගෙඩිගේ
විහාරයේ තැන්පත් කරනු ලබයි. දේවාල පෙරහර දියකැපීමේ චාරිත්‍රය සඳහා ගැටඹේ තොටට පිටත්
වන අතර දියකැපීමේ චාරිත්‍රය අවසන් වීමෙන් පසු දේවාල පෙරහර පුල්ලේයාර් කෝවිලට පැමිණ
පුද පූජා පවත්වයි.
පසුදා දවල් පෙරහර ගෙඩිගේ විහාරයෙන් ආරම්භ වී දේවාල පෙරහර ද ඊට එක්ව වීදි සංචාරය
කරනු ලබයි. පෙරහර දේවාල පරිශ්‍රයේ තුන් විටක් පැදකුණු කිරීමෙන් අනතුරුව ගෙවදීම
පුරාණ චාරිත්‍රය යි. පෙරහර අවසන් වීමෙන් පසු දියවඩන නිලමේතුමන් ප්‍රමුඛ බස්නායක
නිලමේවරු එදා රජදවස රජතුමාට පෙරහර නිමකළ බව සැළකිරීමේ චාරිත්‍රය සිහි ගන්වමින්
වත්මන් රටේ රාජ්‍ය නායකයාණන් වන අතිගරු ජනාධිපතිතුමාට පෙරහර නිමා කිරීමේ සන්දේශය
භාරදීමේ කාර්යය සිදු කෙරේ. මේ ආකාරයට මහනුවර පෙරහරේ පෙළගැස්ම ක්‍රමවත් භාවය හා
ඓතිහාසික පසුබිම හැඳින්විය හැකි ය.
ආරම්භක අවධියේ පැවැති පෙරහර සම්ප්‍රදායන් චාරිත්‍ර වාරිත්‍ර එලෙසම ආරක්ෂා කරමින්
පවත්වාගෙන යාම කෙරෙහි වත්මන් දියවඩන නිලමේවරයා වැඩි අවධානයක් යොමු කර ඇති බැවින්
වර්තමාන පෙරහර අතීත ශ්‍රී විභූතිය යළිත් සිහි කැඳවීමේ ප්‍රයත්නයක් බවත් සිහිපත් කළ
යුතු ය. ඇසළ පෙරහර මංගල්‍යය යනු දළදාවහන්සේ උදෙසා පවත්වන සුවිශේෂී උපහාරයක්සේ ම
ලාංකීය ප්‍රෞඪත්වයත් අනන්‍යතාවයත්, අභිමානයත් ලොවට විදහාපාන වැදගත්ම සංස්කෘතික
මංගල්‍යය යි. එම නිසාවෙන් මෙහි ඇති ශාසනික, පෞරාණික හා සංස්කෘතික අගයන් ආරක්ෂා
කිරීම ගිහි පැවිදි කාගේත් වගකීම වන බව අවසාන වශයෙන් සිහිපත් කර සිටිමි. |