Print this Article


වම්මික සූත්‍රය:  සම්මත ලෝකයේ දැනුම ඉක්ම වූ ලෝකෝත්තර ප්‍රඥාව

වම්මික සූත්‍රය: 

සම්මත ලෝකයේ දැනුම ඉක්ම වූ ලෝකෝත්තර ප්‍රඥාව

" ආයුධය කියන තැනදී අන්‍යයන්ට කරදර කරන්න හිතන්නෙ නැතිව තමන්ගේ ජීවිත පවත්වන්නට උපකාරීවන ආයුධ ගැන සිතමු."

අශ්‍රැතවත් පෘථග්ජන ස්වභාවයේ දී යම් තැනක වැරැදීම් සිදුවන්නට පුළුවනි. නමුත් මනාකොට සිහිය පවත්වන ශ්‍රාවකයා වැරැදුණු තැන කෙරෙහි සිහිය පවත්වා නැවත වැරැද්දක් නොවන ආකාරයට වැරැද්ද නිවැරැදි කර ගන්නවා. එයට සතර සතිපට්ඨානයෙන් පුරුදු කළ යුතු සිහියම පැවතිය යුතුයි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා “භික්ෂුව ආයුධය යැයි පවසන්නේ ලෝකෝත්තර ප්‍රඥාවට පවසන නාමයකි”. “යොධෙථ මාරං පඤ්ඤාායුධෙන” ධම්ම පදයේ සඳහන් මෙම ගාථා පාඨයේ අදහස “විදර්ශනා ප්‍රඥාව නමැති ආයුධයෙන් මාරයා දමනය කරන්න කියා ය”. එසේ නම් සම්මත ලෝකයේ තියෙන දැනුම ඉක්මවා ගිය ලෝකෝත්තර ප්‍රඥාවට ම ආයුධය හැටියට සඳහන් කළා. අර නුවණැති පුද්ගලයාත් ආයුධය අතට ගෙන තුඹස හාරාගෙන හාරාගෙන නාගයා හමුවෙන තෙක් ම කටයුතු කරගෙන ගියා.

එසේ නම් ලෝකෝත්තර ප්‍රඥාව නිවැරැදිව ටිකෙන් ටික අවබෝධ කරගත්විට ඇස, කන, නාසය, දිව, ශරීරය, මන යන ආයතනයන්ට සකස්වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම හෙවත් සිතිවිලි ඉදිරියේ ඇලීම්, බැඳීම්, ගැටීම්වලින් තොරව ඒවා බැහැර කර කෙලෙස් සකස් නොවන ආකාරයට විඥානය පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා.

ආයුධයක් නම් එය පාවිච්චි කරන ආකාරය දැනගෙන සිටිය යුතුවෙනවා. එය නැවත නැවත පුරුදු කිරීමේ පළපුරුද්දක් අවශ්‍යයයි. මේ ආයුධය කියන තැනදී අන්‍යයන්ට කරදර කරන්න හිතන්නෙ නැතිව තමන්ගේ ජීවිත පවත්වන්නට උපකාරීවන ආයුධ ගැන සිතමු. එනම් ගොවිතැනට අවශ්‍ය උදැල්ල, ගල්ඉන්න ගැන හිතන්න. එයට ම හේතුවන පිහිය, කැත්ත ගැන හිතන්න. වඩුවෙක් නම්, ගෙවල්දොරවල් හදන පුද්ගලයෙකුට අවශ්‍ය උපකරණ ගැන හිතන්න. වෛද්‍යවරයෙකුගේ උපකරණ, ඇඳුම් මහන අයකුගේ උපකරණ ගැන හිතන්න. මේ සියල්ලම ආයුධ යැයි සිතුවොත් ඒවා හොඳින් තේරුම්ගෙන ඒවා ප්‍රයෝජනයට ගන්නා ආකාරයට පළපුරුද්දක් ඇතිකරගත්තොත් ලෞකික වශයෙන් විශාල ප්‍රයෝජනයක් ඇති කර ගන්නට පුළුවනි.

ලෝකෝත්තර ප්‍රඥාවත් ඒ වගෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඥාන යන ධාතූන් පිළිබඳවත්, රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාන යන ස්කන්ධ පංචකය පිළිබඳවත්, ඇස, කන, නාසය, දිව, ශරීරය මන යන ආයතන ධර්ම පිළිබඳවත් ත්‍රිලක්ඛන ධර්මයට යටත් කොට දකින්න පුළුවන්කම තිබිය යුතුයි. කෙටියෙන් ම සඳහන් කරන්නේ නම්, හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා හැම වස්තුවක් ම, පුද්ගලයෙක් ම ඒ හේතුප්‍රත්‍යයන් විසිරී යන විට ඒ වස්තුව පුද්ගලයා, ඵලය සියල්ලම නැතිවී යන බව නුවණින් දැක තිබිය යුතුයි. එනම් විදර්ශනා ප්‍රඥාවෙන් පුරුදු කොට තිබිය යුතුයි. එනම් නාම රූප ධර්ම මොහොතක් මොහොතක් පාසා හටගෙන බිඳී යන ස්වභාවය නුවණින් දැක උපාධානය නොවීමට තරම් මේ මනස ඉතා ම හොඳින් පුරුදු කොට තිබිය යුතුයි යනුවෙනි.. එසේ නම් ආයුධය කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාව. ඒ ආයුධය හොඳින් පාවිච්චි කරන්න දැන සිටිය යුතුයි. ලෝකෝත්තර ප්‍රඥාවත් ලෞකික වශයෙන් මුලින් දැන ගෙන ලෝකෝත්තර වශයෙන් ඵල ලබාගන්නට අවස්ථාවක් තිබෙන්නට අවශ්‍යයයි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා. “හාරනවා කියන්නේ වීර්යයට කියන නාමයක්”. එනම් හාරගෙන යෑමට වීර්යයක් පැවතිය යුතුයි. සමහර අලස පුද්ගලයන්ට විශාල ශරීරයක්, ලොකු දෑතක් දෙපයක් තිබෙන බව ඇත්තයි. නමුත් සිතේ හටගත් කම්මැලිකම, අලසකම නිසා බාහිර ක්‍රියාවක් නොව තමන්ගෙ ශරීරයවත් පිරිසුදුව හෝ නීරෝගීව පවත්වන්න තරම් ඕනකමක් නැහැ. ඒ ලෞකික කතාවකි.

ධර්ම කතාවේ දී ලෝකෝත්තර වශයෙන් වීර්යය නම් සතර සම්‍යක් පධන් වීර්යය ම විය යුතුයි. වීර්යය, පාරමිතාවකි. ඒ වගේ ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වායාම හැටියට ද දැක්වූවා. සතර සෘද්ධිපාදවලදීත් දක්වනු ලැබුවා. මේ ආදී වශයෙන් පංච ඉන්ද්‍රිය පංචබල කියන තැනත් දැක්වූවා. එනම් ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා වශයෙනුයි. මේ නිසා හාරනවා යැයි කියන වචනය වීර්යය යැයි පවසන සද්ධර්ම පෙළට වටිනාම අවස්ථාවක් ලබා දී තිබෙනවා.

මෙහි දී වීර්යය කෙටියෙන් සඳහන් කරන්නේ නම් නූපන් අකුසල් නූපදවන්න කැමැත්තක් ඇති කරගන්න අවශ්‍යයයි. උත්සාහය හෙවත් ව්‍යායාම කළ යුතුයි. ඒ වෙනුවෙන් සිතේ මුල්තැනක් දිය යුතුයි. නූපන් අකුසල් බැහැර කරන්නත් කැමැත්තක් ඇති කරගෙන, උත්සාහ කරන්නට ව්‍යායාම කරන්නට සිතේ මුල් තැනක් දිය යුතුයි. නූපන් කුසල් උපදවන්නත් ඒ ආකාරයෙන් ම කැමැත්තක් ඇති කරගෙන උත්සාහ කරමින්, වීර්යය දරමින් සිතේ මුල්තැනක් දිය යුතුයි. උපන් කුසල් පවත්වාගෙන ඒවා සතියෙන් යුක්තව සමාධියට ළං කරගෙන ඵල ලබන ආකාරයට පවත්වාගන්න භාවනාවෙන් සම්පූර්ණ කරගත් කැමැත්තක් ඇති කර ගන්න අවශ්‍යයයි. වීර්යයෙන් යුතුව සිතේ මුල් තැනක් දිය යුතුයි. එසේ නොවුණොත් මේ ධර්ම මාර්ගය තුළ ඵල ලබන්න නොහැකිවේ.

සසරේ කරන ලද පිනක් හේතුවෙන් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ බොහෝ කෙනෙක් ඒ දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම නොදන්නා නිසා අලසව කටයුතු කර ධර්මය නොදැක පස්පව්, දස අකුසල් කරමින් නැවතත් දුගතියට ම ආපසු හැරී යන බව දැක ගන්නට පුළුවනි.

“ආරභථ නික්ඛමථ යුඤ්ඡථ බුද්ධ සාසනෙ ධුනාථ මච්චුනො සේනං නළාගාරංව කුඤ්ඡරො” ආරම්භ කරන්න. කරගෙන යන්න. මේ උතුම් බුදු සසුනෙහි වීර්යයෙන් කටයුතු කරන්න. වැඩ වඩන්න, කෙසේද? හරියට හස්තිරාජයෙක් පහසුවෙන් ම බට දඬුවලින් තනන ලද ගෙයක් පාගා පොඩිකොට සුණුවිසුණු කොට දමන්නා සේ මාර සේනාව පරාජය කරන්න. එනම් කෙලෙස් බැහැර කරන්න යන අදහසයි.

මේ නිසා වීර්යය යන අදහසින් කතාවේ හාරනවා කියන අදහස මතුකොට අපටත් ධර්මය මුණ ගැසෙන තුරා අවබෝධයෙන් හාරගෙන යන්න වෙනවා. නතර නොවිය යුතුයි. උත්සාහ කළ යුතුයි. ආරද්ධ වීර්යයයෙන් ම කටයුතු කළ යුතු වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් පැහැදිලිකොට දේශනා කරනවා “අගුල කියා කියන්නේ, අවිද්‍යාවට කියන නමක්”. අගුල උස්සලා අයින් කරන්න කියා කීවේ අවිද්‍යාව දුරු කරන්න කියන කරුණයි. ඒ ඥානවන්ත පුද්ගලයා ආයුධයෙන් තවත් හාරන්න ඕනේ යැයි පැවසූ කතාවේ තේරුම ඒ අදහසයි.

“අවිජ්ජා නීවරණං සත්තානං
තණ්හා සංයෝජනානං
සංධාවතං සංසර තං”

අවිජ්ජාවෙන් වැසී පවතින සත්වයෝ තෘෂ්ණාවෙන් සසරට බැඳී දුක්විඳගෙන දුවගෙන යනවා. අනමතග්ග සංයුක්තයෙහි දී දේශනා කළේ ඒ ආකාරයෙනුයි. ඒ වගේ ම පටිච්චසමුප්පාද ධර්මයේ දී දේශනා කළ දහම් පෙළෙහි දී ‘අවිජ්ජා පච්චයා සංඛාරා” මේ භවයේ පැවැත්මට අවිජ්ජාව ප්‍රධාන වශයෙන් හේතුවෙනවා. සංස්කාර ශක්තියක් හැටියට සකස් වී ඉදිරියට තල්ලු වී යන්නේ ඒ අවිජ්ජාව නිසා ය. අගුල නම් වූ අවිජ්ජාව දුරුකළ යුතුයි. ඒ නිසයි අගුල ගලවා අයින් කරන්න යැයි කියා කීවේ. අවිජ්ජාවෙන් බැහැර වූ විට වහල තැබූ දෙයක් හොඳින් පෙනෙන්නා සේ මේ ස්කන්ධ පංචකයේ යථා ස්වභාවය නුවණින් දැක ගන්න පුළුවනි. ඒ නිසා නැති දෙයක් ඇතිකරගෙන කෙලෙස්වලින් උපාදාන හදාගන්නේ නැතිව, නැතිදේ නැති දේ හැටියට ම දැක කර්ම සකස් නොවන ආකාරයෙන් එනම් කෙලෙස් සකස් නොවන ආකාරයෙන් විඤ්ඤාණයෙන් හිස් කරන්න පුළුවනි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා ගෙම්බා යැයි කියා පවසන්නේ බලවත් ක්‍රෝධයට කියන නමකි. ගෙම්බා උස්සා අයින් කරන්න යැයි කීවේ බලවත් ක්‍රෝධය අයින් කරන්න කියා ය. ක්‍රෝධය හිතක පවතින තාක් සසර පැවැත්මක් සිදුවේ. තරහව, වෛරය, ක්‍රෝධය එකම පවුලක එක වගේ ම චරිත පවතින සහෝදරයෝ වගේ ය. කාලි යක්ෂණීට සිදු වූ ඉරණම ඔබ අසා ඇත. දෙව්දතුන් සසර පටන් බුදුරජාණන් වහන්සේට වෛර කරන්න පටන් ගත් ආකාරයත්, මාගන්ධියා, චිංචිමානවිකා මේ සියලු දෙනාට ම මුහුණපාන්න සිදු වූ ස්වභාවයට මෙනෙහි කරන්න පුළුවනි. ඒ නිසා ක්‍රෝධ සිතිවිල්ල අයින් කළ යුතුම වෙනවා.

ගෙම්බා පැන පැන යන්නා සේ මේ ක්‍රෝධයත්, තරහවත්, වෛරයත් විටින් විට ජීවිතවලට එකතුවිය හැකියි. තදින් ඇලෙනවා, බැඳෙනවා. ඇලුණු බැඳුණු දේ තමන්ට අවශ්‍ය ආකාරයෙන් පවත්වාගන්න බැරි වූ විට තරහව, වෛරය, ක්‍රෝධය ඇති කර ගන්නවා. තමන් කැමැති දේ ලබාගන්න බැරි වූ විට තරහව, වෛරය, ක්‍රෝධය ඇති කර ගන්නවා.

තිලක්ඛන දහම නිසිලෙස තේරුම් නොගත්තොත් ලෝභය, ආශාව වගේ ම ක්‍රෝධය, වෛරය, තරහව යටපත් කරන්න උත්සාහ ගත්තත් නැවත නැවත මතුවෙනවා.. සමහර දේ යටපත් කරගෙන සිටින්න උත්සාහ ගත්තත් අවුරුදු ගණනාවකින් හෝ නැවත ගෙම්බා පනින්නා සේ නැවතත් බලවත් ලෙස මතුවිය හැකියි. ‘නුඹ මට මේ ආකාරයෙන් කටයුතු කළා, කතා කළා යැයි පරණ තරහ, වෛරය, ක්‍රෝධය මතුවෙලා නැවතත් විපත් කරන තත්ත්වයකට හිත පත්වන්න පුළුවනි. ඒ නිසා ගෙම්බා නම් වූ ක්‍රෝධය අවබෝධයෙන් ම නැවත නැවත සිතට නැගෙන්නේ නැති ආකාරයෙන් ම පැත්තකින් නොව අයින් කර දැමිය යුතුයි.