පොළොන්නරුව රන්කොත් වෙහෙරේ
අරහන්තක වන්දනාව
18 වනදා සවස 4.00 සිට පසුදා පහන් වනතුරු
පොල්ගහවෙල
මහමෙව්නා
භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
" පොළොන්නරුව සොළොස්මස්ථාන රාජමහා විහාරාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා
නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර ශාස්ත්‍රපති වේඬරුවේ උපාලි අනු
නා හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ මස 18 වන දින සවස 4.00
සිට අසිරිමත් අරහන්තක වන්දනා පින්කමක් පොළොන්නරුව රන්කොත් වෙහෙර වහන්සේ අභියස
පැවැත්වීමට කටයුතු යොදා ඇත.'
ඓතිහාසික පොළොන්නරු රාජධානියේ ශ්‍රී විභූතිය ලොවට විදහා දැක්වෙන ආළාහන පිරිවෙන්
භූමියේ සුපිහිටි මහා පරාක්‍රමබාහු රජු විසින් කරන ලද 1153 - 1186 අතර කාලයේ
ඉදිකිරීම් ඇරඹු රන්කොත් වෙහෙර වහන්සේ ක්‍රි ව. 1187 - 1196 රජ කළ නිශ්ශංකමල්ල
රජතුමාගේ කාලයේ සම්පූර්ණයෙන් වැඩ අවසන් කළ බව බොහෝ ඉතිහාසඥයන්ගේ මතය වී ඇත. රනින්
කළ කොතක් සහිතවීම නිසා රන්කොත් වෙහෙර යන නාමයෙන් හඳුන්වනු ලබන අතර, අනුරාධපුරයේ
රුවන්මැලි මහා සෑය සිහිකැඳවීම සඳහා පොළොන්නරුව රාජධානියේ ද විශාල වෙහෙර වහන්සේ නමක්
තැනීම සිදුකළ බව රන්කොත් වෙහෙර ටැම් ලිපියෙහි සඳහන් වෙයි. නිශ්ශංකමල්ල රජු රන්කොත්
වෙහෙර වහන්සේ හඳුන්වනු ලැබුවේ පොළොන්නරුවේ පිහිටි රන්වැලි සෑය (රත්නාවලී ස්තූපය
)ලෙසට යි.
වර්තමානයේ ශ්‍රී ලාංකිකයින් රන්කොත් වෙහෙර වහන්සේ පිළිබඳ තිබෙන ඓතිහාසිත වටිනාකම
පිළිබඳ දැනුවත් නො වීමෙන් හුදෙක් පොළොන්නරු වන්දනාවේ දී සිදුවන්නේ වෙහෙර වහන්සේ
දැකබලා පැමිණීම පමණි. එබැවින් අප ලක්දිවෙහි වැඩ සිටි මහරහත් තෙරුන්ගේ උතුම් ධාතුන්
වහන්සේ වැඩ වෙසෙන මහත් ගෞරවයට පාත්‍ර විය යුතු රන්කොත් වෙහෙර වහන්සේ වැඳ පුදා මහා
පින්ඵල රැස්කර ගැනීමේ මහඟු අවස්ථාව මඟ හැරී ගොස් ඇත.
ලක්ෂ සංඛ්‍යාත ගඩොල් ප්‍රමාණයකින් නිමවා ඇති රන්කොත් වෙහෙර වහන්සේ අඩි 186
විශ්කම්භයකින් සහ අඩි 200 පමණ උසකින් යුතුය. භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතුන්
වහන්සේ කොටසක් ද සමඟින් ලක්දිව වැඩ විසූ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ විශාල
ප්‍රමාණයක් රන්කොත් වෙහෙරේ වැඩ වෙසෙන බව විශ්වාස කෙරේ.
වෙහෙර වහන්සේගේ හතරැස් කොටුවේ පැති හතරේ සූර්යයා සංකේතවත් කරනා චක්‍ර කිහිපයක් ද,
සිව් දිශාවේ ගඩොලින් නිමවූ අඩි 22 පමණ උස් වූ වාහල්කඩ 4ක් ද, දක්නට ලැබේ. එසේම මහා
සෑය පිහිටි චෛත්‍ය මළුවට දකුණු දෙසින් භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ඉදි වූ කුටි එහි
මධ්‍යයේ පිළිම ගෙයක්, බෝධිඝරයක්, උපෝසථාඝරයක නටබුන් දකින්නට ලැබෙන නිසා ඒ අනුව සලකන
කළ රන්කොත් වෙහෙර සියලූ අංගයන්ගෙන් සමන්විත වූ විහාර පද්ධතියක ප්‍රධාන චෛත්‍යය
වශයෙන් පැවැති බව සිතිය හැකි ය.
වළගම්බා රජුගේ කාලයේ බැමිණිතියාසාය නමින් දරුණු දුර්භික්ෂයක් ලංකාවේ හට ගත්තේ ය. ඒ
දුර්භික්ෂ කාලය අවුරුදු දොළොසක් ලංකාවට මහා සාපයක් මෙන් විය. බ්‍රාහ්මණතිස්ස නම්
ලංකාව ආක්‍රමණය කළ එක් බමුණෙකුගේ සාපයකින් එම දුර්භික්ෂය වූ බව සඳහන් ය. ඒ
දුර්භික්ෂය කො තරම් සාපයක් වූවා ද යත්, ආහාර ද, ජලය ද අධික ලෙස හිඟ වූ මහා පීඩාකාරී
යුගයක් විය.
එකල තිස්සමහා වෙහෙරේ තිබුණ සාංඝික අටුකොටු එක් දිනක දී මීයන් කෑමෙන් විනාශයට
පත්වුණි. සංඝයා වහන්සේ දහස් ගණන් සිටි සිතුල්පව් මහා වෙහෙර ධාන්‍ය ගබඩාව එක් දිනක
දී සතුන් කා විනාශ වුණි. තිස්සමහා වෙහෙරේ සංඝයා වහන්සේ සිතුල්පව්ව වෙත යාමටත්,
සිතුල්පව්ව වෙහෙරේ සංඝයා වහන්සේ තිස්ස මහා වෙහෙරට යාමටත් පිටත් වූයේ දුර්භික්ෂය
නිසාවෙනි. උන්වහන්සේලා සියලූ දෙනාම මහා වනයේ දී එක් ස්ථානයක දී මුණ ගැසුණි. සියලු
වහන්සේලා දුටුවේ එදින ආයුෂ අවසන් බවයි. සියලූ තෙරුන් වහන්සේ එකම දින එකම ස්ථානයක
පිරිනිවන් පෑ සේක. ඒ ශ්‍රී දේහය ආදාහනය කිරීමටද එදා කෙනෙකු නො සිටි බවයි ඉතිහාසයේ
සඳහන් වන්නේ.
රහතන් වහන්සේලා පිරිනිවන් පා වසර තුනකට පසු බ්‍රාහ්මණතිස්ස ගේ සාපයත් සමග ඇති වූ
දුර්භික්ෂය අවසන් විය. ඉන්දියාවට වැඩමකර සිටි භික්ෂූන් වහන්සේ නැවත ලංකාවට වැඩම කළ
අතර, ඒ භික්ෂූන් වහන්සේ සියලූ දෙනාට පෙර සිදු වූ සිද්ධීන් අසන්නට ලැබුණ බවද, ඉන්පසු
සියලූ දේහයන්ට දෙවියන් සමඟ එක්ව අවසන් ගෞරව දක්වා අදාහනය කොට ධාතුන් වහන්සේ තැන්පත්
කොට මහ සෑයක් තැන වූ බවද සඳහන් ය. එම ධාතූන් වහන්සේ කුමන තැනක වැඩ සිටිනවා දැයි
නිශ්චය කළ නොහැක. අතිශය සංවේගදායක සිදුවීමක් වූ විසිහතර දහසක් පමණ රහත් උතුමන්ගේ
පරිනිර්වාණය බලන කල මෙ තරම් විශාල රහතන් වහන්සේ පිරිසක් එකවිට පිරිනිවනට වැඩි
සිදුවීමක් ශාසන ඉතිහාසය තුළ කිසි දිනෙක අසන්නට ලැබී නැත. ඒ උතුම් රහතන් වහන්සේ
සිහිකොට සිදුකළ පළමු පූජෝපහාරය හැර වෙනත් කිසිදු පූජෝපහාරයක් පිළිබඳව ද සඳහනක් නැත.
එනිසා ම ඒ උතුමන් වහන්සේගේ ධාතූන් වහන්සේ කො තැනක වැඩ සිටියත් ඒ රහතන් වහන්සේ ඇතුළු
සියලු මහරහතන් වහන්සේ උදෙසා පූජාවේවා යන උතුම් අදහසින් යුක්තව විශේෂයෙන් පිළියෙල කළ
නැවුම් පාත්‍රා විසිහතර දහසක සමනොළ කඳු බෑවුමේ නො ඉඳුල් සිසිල් පැන් පූජා කිරීම මෙම
පින්කමේ ප්‍රධාන පූජාවක් වේ.
ඒ සමගම ලක්ෂ ගණනින් විදුලි බුබුළින් ඒකාලෝක කොට, ලක්ෂ ගණන් සුවඳ මලින් මහා පුෂ්ප
පූජා පවත්වා, ගුවන් ගැබින් ඇද හැලෙන පිච්චමල් වරුසා මධ්‍යයේ, අසූහාර දහසක් පහන්
ආලෝක පූජා, හේවිසි ශබ්ද පූජා, සංඛ පූජා, සුවඳ දුම් පූජා ඇතුළු නොයෙක්
පූජෝපහාරයන්ගෙන් රන්කොත් වෙහෙර වහන්සේ පුද දෙමින් මේ උතුම් පින්කම සිදුවෙයි.
දඹදිව් තලයේ වැඩ සිටි අසූ මහා ශ්‍රාවක මහරහතන් වහන්සේ ප්‍රධාන අරහත් තෙරුන් වහන්සේ
පිළිබඳ නොයෙකුත් විස්තර අප අසා තිබුණ ද, ලක්වාසී නිකෙලෙස් මහරහතන් උතුමන්ගේ ගුණවරුණ
අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. පිරිනිවන් පා වදාළ ඒ අපගේ රටේ ඉපදුණ, සිංහල
භාෂාව කතා කළ, අප රට පුරා ධර්ම ප්‍රචාරය කරමින් වැඩම කොට වදාළ ඒ රහතන් වහන්සේලාගේ
චරිතාපදානයන් සහ උන්වහන්සේලාගේ අල්පේච්ඡතා, සන්තුට්ඨිතා, සුභරතා ආදී උතුම්
ගුණධර්මත්, ධ්‍යාන, සමාධි, සමාපත්ති මාර්ගඵල ආදී උත්තරීතර මනුෂ්‍ය ගුණධර්මත් විස්තර
කරමින් පවත්වන මහා අරහන්තක වර්ණනාව ශ්‍රවණය කරන්නට ලැබීම මෙම පින්කමෙහි ඇති
සුවිශේෂී ම වාසනාවකි. සුවිශේෂී ධර්මානුශාසනාවත්, රන්කොත් වෙහෙර මහ සෑ වන්දනාවත්
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අතර මහමෙව්නාව භාවනා
අසපුවාසී වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් මහා අරහන්තක වර්ණනාව පවත්වනු
ලබයි.
මෙම පින්කමට සමගාමීව ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයේ පාද ස්පර්ශයෙන් පූජනීය වූ රන්කොත්
වෙහෙර මහා සෑයේ උඩ මළුවේ සහ දෙවැනි මළුවේ සුවිශාල භූමි භාගය පිරිසුදු වැලි අතුරා
සැකසීමත්, මෙපමණ කලක් පුරා මහත් අඩුවක්ව පැවති ස්ථාවර ආලෝක පද්ධතියක් තනවා පූජා
කිරීමත් සිදුවීම මෙම ඓතිහාසික පුණ්‍ය භූමියට කෙරෙන මහඟු උපහාරයක් වනවා සේ ම
සැදැහැවතුන්ගේ පහසුව පිණිස ද හේතුවනු නො අනුමාන යි.
- නයනා නිල්මිණී |