Print this Article


පූජාච පූජනියනං

රැළපනාවේ ධම්මජෝති නා හිමි

අනුරාධපුර, හොරොව්පතාන, රැළපනාව නමැති ගම් පියසේ පදිංචිව සිටි ඩී.සීරාල උපාසක මහතාගේ හා කිරිහාමිනේ රන්එතනා උපාසිකාමාතාවගේ පුත්‍රරත්නය වන එස්. ධර්මසේන කුමරුවා 1949 අගෝස්තු 20 වැනි දින ජන්ම ලාභය ලබා රැළපනාව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබී ය.

රැළපනාව ශ්‍රී සුජාතාරාම විහාරාධිපතිව වැඩ විසූ තිත්ත ගෝනෑවේ සීලරතන හිමියන්ගේ ඇසුර ලැබූ ධර්මසේන කුමරුවා 1963 දී රැළපනාවේ ධම්මජෝති නමින් සසුන්ගත වූහ.

අනුරාධපුර මහා විහාර පිරිවෙනට ඇතුළත්ව පිරිවෙන් අධ්‍යාපනය ප්‍රගුණ කළ ධම්මජෝති හිමියෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා මහනුවර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙනට ඇතුළත්ව සාමාන්‍ය පෙළ, උසස්පෙළ, ප්‍රාචීන, ප්‍රාරම්භ විභාගය හා දහම් පාසල් අවසාන විභාගයද සමත්වූහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයෙකු ලෙස උපාධිය හදාරා 1973 වසරේ ජූනි මස 04 වැනි දින මහනුවර මල්වතු උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලබාගත්හ. අටමස්ථානාධිපති ශ්‍රී රේවත නාහිමියන් අපවත්වීමෙන් පසු අටමස්ථානාධිපති ධූරයට පත් වූයේ පල්ලේගම ඤාණරතන නාහිමියන් ය. ඤාණරතන නාහිමියන් අපවත්වන තෙක්ම උන්වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කළ ධම්මජෝති නාහිමියෝ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආවතේව හා ආගමික කටයුතුවල නිරත වූහ.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියෝ 1999 වසරේ ජූනි 25 වැනි දින උන්වහන්සේ ලංකාරාමාධිකාරී ධූරයට පත් කරන ලදී.

ධම්මජෝති නාහිමියන් ලංකාරාමාධිකාරී ධූරය භාරගන්නා විට දියුණුවක් නොතිබුණ ද ලංකාරාමයේ ශ්‍රී විභූතිය නැවත ඇති කිරීම සඳහා ධම්මජෝති නාහිමියන් ගත් වෙහෙස ඉතා ප්‍රශංසනීයවේ. අටමස්ථානාධිපති නාහිමියන්ගේ ආශිර්වාද මධ්‍යයේ ලංකාරාම පුදබිම තුළ විදුලිය හා ජලනළ පද්ධති ස්ථාපිත කිරීම, අභයගිරිය ව්‍යාපෘතිය යටතේ පුරාවිද්‍යා කැණීම් සිදු කොට පුරාවස්තූන් රැසක් මතු කරගැනීම, අභිනවයෙන් විශ්‍රාම ශාලාවක් තැනවීම, නව මාවතක් ඉදිකිරීම, ධර්මශාලාව නවීකරණය කිරීම, භික්ෂූන් සඳහා නව නේවාසිකාගාර දෙකක් තනවා ගැනීම, අභිනව සංඝාවාසයක් ඉදිකිරීම ධම්මජෝති නාහිමියන්ගෙන් සිදුව ඇති මෙහෙවරයන් ය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පළමුවැනි රන් වැට ඉදිකිරීම, බෝධිප්‍රාකාරය ඉදිකිරීම ආදී කටයුතුවලදී අටමස්ථානාධිපති නාහිමියන්ට විශාල වශයෙන් සහායදැක්වූ ධම්මජෝති නාහිමියෝ දෙවැනි රන්වැට කමිටුවේ පැවිදි අනුශාසකවරයෙකු ලෙසද, හොරොව්පතාන ශ්‍රී සිද්ධාර්තෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරී වශයෙන්ද, උතුරු මැද පළාතේ පිරිවෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ උප සභාපතිවරයෙකු ලෙසද, අනුරාධපුර රත්නමාලී විශ්‍රාම ශාලාවේ පැවිදි අනුශාසක ලෙසද කටයුතු කරමින් විශාල ශාසනික සේවාවක් කර තිබේ. මේ ශාසනික කටයුතු අගය කළ මල්වතු මහා විහාරස්ථ මහා සංඝසභාව විසින් උන්වහන්සේ වෙත උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමී ය.

අනුරාධපුර නැගෙනහිර සමූහ


උඩලමත්තේ සුමන නා හිමි

ගාල්ල පින්නදූව ශ්‍රී විජයාරාමාධිපති ගාල්ල මහින්ද විද්‍යාලයේ විශ්‍රාමලත් ආචාර්ය ශාස්ත්‍රපති උඩලමත්තේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අනුනායක සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් සද්ධර්ම කීර්ති ශ්‍රී හිමරතන යන ගෞරව නාමය සහිතව ගාලු කඩවත් සතර ඇතුළු තල්පේ පත්තුවේ ප්‍රධාන සංඝ නායක පදවියට පසුගියදා පත් කරන ලදී.

ඒ පිළිබඳ සන්නස් පත්‍රය ප්‍රදානය අගෝස්තු මස 18 වන දින පස්වරු 2.30ට මල්වතු මහා විහාරයේ දී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට සංවිධානය කර ඇත. අගෝස්තු මස 21 වන දින ගාල්ල පින්නදූව ශ්‍රී විජයාරාම මහා විහාරයේ දී අභිනව නා හිමියන් පිළිගැනීම් උත්සවය පැවැත්වීමට නියමිත ය.

උඩලමත්තේ සුමන නා හිමියෝ ගාලු පළාතේ උඩලමත්ත ගමගේ ඉසේරිස්, ඉලේපෙරුමගේ කරලැයින් යන සැදැහැවත් දෙමව්පියන්ගේ පුතෙකු ලෙස 1961 නොවැම්බර් 18 වන දින උඩලමත්ත ගමේ අමරසිරි යන නමින් ජන්මලාභය ලැබූහ. උඩලමත්ත රජයේ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1972 පෙබරවාරි 10 දින කුඹල්වැල්ල ශ්‍රී රේවත විද්‍යායතනයෙහි ආචාර්ය හික්කඩුවේ රතනසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා විහාරාධිපති වූ අංකොක්කාවල හිමරතන මා හිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රවුජ්‍යාභාවයට පත් වූ උඩලමත්තේ සුමන හිමියන් ධර්ම, විනය, භාෂා ශාස්ත්‍රය දෙහිවල ශ්‍රී සුමනතිස්ස පිරිවෙන, නුගේගොඩ ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙන යන පිරිවෙන් තුළින් ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද හිමිකර ගත් අතර ශාස්ත්‍රපති අධ්‍යාපන ඩිප්ලෝමා විභාගයෙන්ද සමත් විය.

1981 මැයි 18 වන දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලැබූහ. පින්නදූව ජයන්ති විදුහලේ වසර 10 ක් විදුහල්පති ලෙසද ගාල්ල මහින්ද විද්‍යාලයේ ද ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළහ.

අක්මීමන ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ධූරයත් අක්මීමන විහාරාධිපති සංගමයේ ලේකම් ධූරයත් පින්නදූව ශී‍්‍ර සුමනධර්ම විද්‍යාලයේ 1993 දී ආරම්භ කර දින සිට ප්‍රධානාචාර්ය ධූරයත් දරමින් ප්‍රදේශයේ ජාතික ආගමික සංස්කෘතික කටයුතුවලදී ප්‍රමුඛත්වයක් ලබා දුන්හ.

යක්කලමුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී

උඩුමලගල ශ්‍රී ආදිච්චවංස පරිවෙනාධිපති

කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති

පලල්ලේ සරණජෝති හිමි


දිමියාවේ අමරවංස අනු නා හිමි

1934 අගෝස්තු මස 01 වන දින සබරගමු පළාතේ නිවිතිගල ප්‍රදේශයේ දිමියාව නම් වූ ගම් පියසෙහි ජන්ම ලාභය ලද උන්වහන්සේ මොරටුව සිරි සද්ධර්මරාජමහා විහාරාධිපති මොරටු පළාතේ ප්‍රධාන සංඝනායකව වැඩ විසූ මොරටුවේ සිරි සාසනවංස නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්වූහ. මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්ව ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ දිමියාවේ අමරවංස හිමිපාණෝ රාජකීය පණ්ඩිතෝපාධිය සමත් වූ අතර විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උපාධි ලබා ගත්හ. උගතමනා බණ දහම් මෙන්ම විසි වයස් සම්පූර්ණවත්ම 1956 දී පානදුර නදී උදකුක්ඛේප සීමාමාලකයේ දී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක ධූරීනව වැඩ විසූ අපවත් වී වදාළ මාපලානේ සිරි පඤ්ඤාලංකාර මහ නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලදහ.

ස්වකීය ගුරු ජීවිතය අරඹමින් පින්නවල උඩගම මහා විද්‍යාලයට වැඩම කළ උන් වහන්සේ අනතුරුව වල්හපුතැන්න මහා විද්‍යාලය, මරදාන මහාබෝධි විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විද්‍යාලය හා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය හරහා ලබා දුන් ධර්මාලෝකය සුළුපටු නොවේ. ශාස්ත්‍රීය ග්‍රන්ථකරණයෙහි ද නියැලුණු අමරවංශ නාහිමියෝ රචනා කරන ලද ග්‍රන්ථ සංඛ්‍යාව අතිමහත් ය. සුධර්මා නම් කාරක සංඝ සභිකයෙකු ලෙස වැඩ සිටිමින් රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, නිකායේ මහා ලේඛකාධිකාරී ආදී ප්‍රධාන තනතුරු රැසක් දැරූ උන්වහන්සේ අනුනායක ධූරයෙන් පිදුම් ලැබූහ.

දිමියාවේ අමරවංස අනුනාහිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය සේවය අගයමින් “විද්‍යෝදය ධර්ම ශාස්ත්‍ර විභූෂණ” සම්මානයෙන් පුදනු ලැබීය.

අසූ පස් වැනි ජන්ම දිනය සනිටුහන් කරන මාලබේ අසෝකාරාමය ඇතුළු විහාර ගණයේ අධිපති සිරි සාසනවංසාලංකාර චන්ද්‍රකීර්ති ශ්‍රී, උපාධ්‍යාය ආචාර්ය දිමියාවේ අමරවංසාභිධාන නායක මහා ස්වාමීන්ද්‍රයයන් වහන්සේට තෙරුවන් සරණින් දෙව් රැකවරණින් ආශිර්වාද සැලසේවා.

අධ්‍යාපනවේදී කැලණියේ සාසනවංස හිමි


පත්බේරියේ විමලඤාණ නා හිමි

රත්නපුර දිස්ත්‍රික්කයේ පත්බේරිය ගම් පියසේ ජීවත් වූ සැදැහැති බෞද්ධ උපාසක දෙපළක් වූ ජයසිංහ මුදියන්සේලාගේ උක්කුබණ්ඩාර නිලමේතුමා හා මනම්පේරිය මුදියන්සේලාගේ පොඩිහාමි මනම්පේරි මැණිකේ මාතාව යන දම්පතීන්ගේ පුත් රුවනක් 1949 අගෝස්තු 20 වන දින පද්මසිරි ජයසිංහ නමින් ජන්ම ලාභය ලැබීය. කෑ/ පත්බේරිය විද්‍යාලයෙන් හා කෑ/ නාරද මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

කිරුළපන ශ්‍රී පූර්වාරාමය ඇතුළු විහාර ගණයේ අධිපති පණ්ඩිත රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝකාභිධාන සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සහ එම විහාර දෙකෙහිම කෘත්‍යාධිකාරී කලාවිටියේ පේමාලෝක හිමියන්ගේ ආචාර්යත්වයෙන් පත්බේරියේ විමලඤාණ නමින් 1960 දෙසැම්බර් 30 වන දින සසුන්ගත වූහ. උගතමනා බණ දහම් උගෙන නිසි වයස් සම්පූර්ණ වූයෙන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්දර මොල්ලිගොඩ ශ්‍රී ආරියවංශ මහ නා හිමියන් උපාධ්‍යාය කොට උපසම්පදාව ලැබූහ.

1977 වර්ෂයේ සිට අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ අධ්‍යාපන හා සාහිත්‍යමය සේවය ලබා දුන් උන්වහන්සේ කථිකාචාර්ය සංගමයේ ද ක්‍රියාකාරී සාමාජිකයකු විය. 2006 වර්ෂයේ දී ඉස්ලාම්, ක්‍රිස්තියානි, ආගම් කළමනාකරණය සහ සන්නිවේදන ක්‍රම පිළිබඳ මූලික හැඳින්වීමේ වැඩමුළුව සඳහා ද උන්වහන්සේ වැඩම කළහ. 1990 වර්ෂයේ සිට ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ උපදේශක කමිටු සාමාජිකයකු ලෙසද ක්‍රියා කළහ. 1980 වර්ෂයේ දී පිරිවෙන් ගුරු සංගමයේ සභාපති ලෙස කටයුතු කරමින් විශාල සේවයක් ඉටු කළ උන්වහන්සේ 1982 සිට 2001 දක්වා කොළඹ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස කටයුතු කළහ. 1999 දී පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ විමලඤාණ හිමියෝ 2006 සුනාමි විපතට පත්වූවන්ට බොහෝ ආධාර උපකාර කළහ. පත්බේ්රියේ විමලඤාණ නාහිමියන්ගේ 69 වන ජන්ම සමරුව නිමිත්තෙන් මෙම 20 වන දා කිරුළපන ශ්‍රී පූර්වාරාමයේදී පින්කම් මාලාවක් පැවැත්වේ.


මාතර විමලරතන මහ නාහිමි

අනුරාධපුර ගුවන්තොටුපල,ශ්‍රී විමලධර්මදූත බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර,ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ සිරිසුමන (දඩලු)පාර්ශ්වයේ මහානායක ,පණ්ඩිතාචාර්ය මාතර විමලරතන මහා නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අගෝස්තු මස 24,25 යන දෙදින තුළ අනුරාධපුර ගුවන්තොටුපල ශ්‍රී විමලධර්ම දූත බෞද්ධ මධ්‍යස්ථානයේ දී සිදුකිරීමට අභිනව විහාරාධිපති, අලුත්හල්මිල්ලෑවේ සිරිවිමල හිමියන් ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.

මාතර මැදගොඩ නම් ග්‍රාමවරයෙහි 1915 දෙසැම්බර් මස 26 වැනි දින ජන්ම ලාභය ලද කුමරු වීරක්කොඩි ආරච්චිගේ ප්‍රේමදාස නමැති විය.වීරක්කොඩි ආරච්චිගේ සව්නේරිස් අප්පුහාමි එදිරිසිංහ විදානආරච්චිගේ සහ එදිරිසිංහ විදානආරච්චිගේ බංබුහාමි දම්පතීහු මව්පිය දෙපළ වූහ.

1919 දී අනුරාධපුරයට පැමිණි මව්පිය ඥාති පිරිස අනුරාධපුර පැරැණි නගරයේ ජේතවනාරාමය අසල නිවසක පදිංචිව සිටියහ. 1922 අකුරු කියවා එවකට පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් පාලනය කළ මහාබෝධි පාසලට ඇතුළත්ව 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ පේ‍්‍රමදාස කුමරුවා 1927 දී බූස්සේ ශ්‍රී සුදර්ශනාරාමයෙන් නික්ම, අනුරාධපුරයට වැඩම කළ බූස්සේ ධම්මරක්ඛිත මහානාහිමියන්ගේ ඇසුරට පත්විය. පසුව බූස්සේ ධම්මරක්ඛිතාභිධාන මහානාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය ලෙස 1931 ඔක්තෝබර් මස 22 වෙනි දින මාතර විමලරතන නමින් සසුන්ගත විය. මාතර විමලරතන හිමියන් මුලින්ම නේවාසිකව වැඩසිටියේ අනුරාධපුර නිවත්තක චේතිය රජමහා විහාරයේ ය.

1937 ජුනිමස 23 වෙනිදින බලපිටිය මාදුගඟ උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පදා ශීලයට පත්ව 1938 පොසොන් මස 20 වෙනි දින මීගමුව අඟුරුකාරමුල්ල බෝධිරාජාරාම පිරිවෙනට ඇතුළත්ව පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පසුව රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනට ඇතුළත්ව උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියදී දෙවන ලෝක යුද්ධය නිසා අගනුවර පිරිවෙන් වසා දැමීමෙන් යළිත් අනුරාධපුරයට වැඩම කිරීමට සිදු විය.

මැදවච්චිය, හොරොව්පතාන, අනුරාධපුර, පොළොන්නරුව, මැදිරිගිරිය, යන පළාත්වල හා මැකිච්ඡාව, ගල්කඩවල, කිරුඩගම, නේලුගස්වල යන ගම්මාන වල විහාර ආරාම, වැව්පොකුණු, මංමාවත්, පිළිසකර, කරවන ලදී. මැදවච්චිය, ප්‍රදේශයේ ගම්මාන සඳහා ග්‍රාම සංවර්ධන සමිති ආරම්භකර ගමට පන්සලක් මෙන්ම බාලපරපුරට අධ්‍යාපනය ලබාදීමට පාසලක් ද ආරම්භ කළහ. පුබුදුවිල කනිෂ්ඨ විද්‍යාලය හා තාලරුක්ඛාරාම විහාරය ආරම්භ කළේ විමලරතන නාහිමියන් විසිනි.

1966 වසරේ පොසොන් මස අනුරාධපුර ගුවන්තොටුපල ශ්‍රී විමල ධර්මදූත බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භකළ නාහිමියෝ ප්‍රදේශයේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීමේ අටියෙන් ශ්‍රී විමලධර්මදූත දහම්පාසල ආරම්භ කරන ලදී.

දඩලු පරම්පරායත්ත අමරපුර මහානිකායේ සිරිසුමන පාර්ශ්වයේ මහානායක බූස්සේ ධම්මරක්ඛිතාභිධාන මහානාහිමියන් ප්‍රමුඛ “සිරිසුමන” කාරක සංඝ සභාව විසින් 1968 වසරේ පොසොන් මස 24 වැනි දින බූස්සේ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථ බද්ධ මංගල සීමාමාලකයේදී “සිරි සද්ධාතිස්ස ධම්මරක්ඛිත” යන ගරු නාම සම්මුතිය සහිතව උතුරු හා උතුරු මැද දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ මාතර විමලරතන මහා නාහිමියෝ 1992 වසරේ වෙසක් මස 27 වෙනි දින දඩලු පරම්පරායත්ත අමරපුර මහානිකායේ විංශද් වංශික මහා සංඝ සභාවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ඒකච්ඡන්දයෙන් එම නිකායේ මහානායක ධුරයට පත්කරනු ලැබූහ.


වැලිවිටියේ මේධානන්ද හිමි

සිල්වත් ගුණවත් හා උගත්කම් වලින් සපිරුණු භික්ෂූන් වහන්සේ කෙරෙහි ගිහි - පැවිදි සැම දෙන දක්වනුයේ මහත් ගෞරවයකි. එවැනි භික්ෂු නමක් වූ වැලිවිටියේ මේධානන්ද හිමියෝ 2018 අගෝස්තු 18 වන දිනට තම දිවියේ 65 වන වසර සපුරති.

උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ විශිෂ්ටතම වකවානුව සේ සනිටුහන් වී ඇත්තේ දඹදිව ශුද්ධ බුද්ධභූමි ආරක්ෂා කරමින් ද, වැඩිදියුණු කරමින් ද, ලෝකයේ විවිධ රටවලින් දඹදිව බෞද්ධ පූජනීය ස්ථාන දැකබලා වන්දනා කිරීමට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් ද දෙවිසි වසරක් පමණ දඹදිව වැඩවිසූ කාලය යි.

ආදර්ශ සම්පන්න යහපත් ජීවිතයක් ගතකිරීම සඳහා වැලිවිටියේ මේධානන්ද හිමිපාණන්ට 1952 අගෝස්තු 18 දින උපතේ සිට ම ශක්තිය හා ධෛර්යය අංශ කිහිපයකින් ම ලැබුණ බව පැහැදිලිය. එයින් ප්‍රධාන කරුණක් වූයේ ගුණවත් කමින් හා සැදැහැවත් බවින් යුත් ජේ. කාරියවසම් මහතා හෙවත් ඉඳුරේ මද්දුම අප්පුහාමිගේ හා හේමවතී බණ්ඩාරිගොඩ මහත්මිය යන මවුපියන්ගේ ආදර්ශ සම්පන්න පැවැත්ම යි. ඒ සමග වැලිවිටියේ ධර්මරාජ විහාරාධිපති වැලිවිටියේ පඤ්ඤානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයෙකු වශයෙන් 1966 මාර්තු 13 වන දින පැවිදි බිමට පත්වීමත් තවත් විශේෂ හේතුවක් විය.

රෑකඩහේන ශ්‍රී සුමනාරාම ශාන්තිනිකේතන පිරිවෙණෙන් අනතුරුව බද්දේගම රතනසාර විද්‍යායතන පිරිවෙණෙන් ද එයින් පසු රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙණෙන් ද සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය, ඉතිහාසය, ඉංග්‍රීසි ආදී පැවිදි දිවියට අවශ්‍ය විෂයයන් මැනවින් හැදෑරූ මේධානන්ද හිමියෝ උගත්කමින් සම්පූර්ණ වූහ. උන්වහන්සේගේ පෙර කළ පින් මතු වන්නට පටන් ගත්තේ රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙණේ ගත කළ කාලයේ දී බව පැහැදිලි ය. එහිදී ලෝක පූජිත කලාශූරී ආචාර්ය මාපලගම විපුලසාර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සෙවණෙන් ලැබුණ ආගමික හා සාමාජික සේවයට අවශ්‍ය දැනුම හා පන්නරය කෘතවේදිත්වයෙන් සිහිපත් කළ යුතුය.

ඉන්දියා මහා බෝධි සමාගමේ මහා ලේඛකාධිකාරී ධුරයට පත්ව සිටි ආචාර්ය මාපලගම විපුලසාර හිමිපාණන්ගේ මඟ පෙන්වීමට අනුව 1989 ජනවාරි 10 වන දින මේධානන්ද හිමිපාණෝ ඉන්දියාවේ මහා බෝධි සමාගමේ ධර්මදූත සේවය සඳහා වැඩම කළහ. බරණැස සාරානාත් මහා බෝධි මධ්‍යස්ථානය, නවදිල්ලි නුවර මහාබෝධි මධ්‍යස්ථානය හා ලක්නව් හි ආනන්ද බෝධි මධ්‍යස්ථානය යන වැදගත් බෞද්ධ මධ්‍යස්ථානයන්හි වැඩවසමින් දෙවිසි වසරක් මුළුල්ලේ උන්වහන්සේ සිදුකළ සේවාව විශාල ය. විශේෂයෙන් එම ස්ථානයන්ට පැමිණෙන රජ, මැති, ඇමති ආදී සම්භාවනීයන්ගේ පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ ද අවශ්‍යතා කිසිදු භේදයකින් තොරව මහත් කරුණාවෙන් ඉටුකිරීමට මේධානන්ද හිමියෝ කැපවී ක්‍රියා කළහ.

2006 වර්ෂයේ ලංකාවට වැඩමවා රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙණ මුල්කොට විවිධ සේවාවන් සිදු කරමින් පසුවෙත් දී කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආරාධනයෙන් උන්වහන්සේ ආධිපත්‍යය දරණ ගල්කිස්ස බෞද්ධායතනයට 2008 වර්ෂයෙහි වැඩමවා මේ දක්වා ගිහි පැවිදි සැමගේ සිත් සතුටු වන අන්දමට ජාතික, ආගමික සේවාවන්හි නියැලෙමින් වැඩ සිටිති. නොකැලැල් පැවිදි දිවියක් ගත කරන මේධානන්ද හාමුදුරුවෝ කාරුණික ය. උට්ඨාන වීර්යයෙන් යුක්ත ය. ආදර්ශ සම්පන්න ය. ගිහි පැවිදි කවරෙකු හෝ යම් ඉල්ලීමක් කළ කල්හි එය ඉටුකර දීමට දරණ උත්සාහය ප්‍රශංසනීය ය.

මේධානන්ද හිමිපාණන්ගේ උතුම් ගුණයන් අගය කරන බෞද්ධායතන විහාරාධිපති දිවියාගහ යසස්සි නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි දායක සභාව හැට පස්වන ජන්ම දිනය නිමිති කොට ගෙන ආශිර්වාද කිරීම සඳහා අගෝස්තු 18 වන දින පස්වරු 05.00 ට ශාස්ත්‍රපති බොරැල්ලේ අතුලදස්සන නාහිමිපාණන්ගේ ධර්ම දේශනාවක් පැවැත්වීමටත්, අනතුරුව හොරණ, ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජමහා විහාරාධිකාරී ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකාරාමාධිපති ශාස්ත්‍රපති ඔලබොඩුවේ ධම්මික හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් අටවිසි ගිලන්පස බුද්ධ පූජාවක් පැවැත්වීමටත් කටයුතු යොදා ඇත. දිවිමගේ හැටපස් වන වසර සපුරන වැලිවිටියේ මේධානන්ද හිමිපාණන්ට නීරෝගී සැප හා චිර ජීවනය ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු.


දෙදියවල තිලකසිරි අනුනාහිමි

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ විසි එක් වැනි අනුනායක ධූරය සඳහා කළුතර, වස්කඩුව දෙදියවල ශ්‍රී ධම්මාරාම පිරිවෙන් විහාරාධිපති දෙදියවල තිලකසිරි නාහිමිපාණන් වහන්සේ 2018.03.23 වැනි දින කෝට්ටේ ශ්‍රී රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී කල්‍යාණී කාරක සංඝ සභාව විසින් පත්කර ගන්නා ලදී.

දෙදියවල තිලකසිරි අනුනාහිමියෝ 1948 ජූනි 18 දින කළුතර දෙදියවල නමැති ගම්පියසෙහි ජන්ම ලාභය ලබා, එවකට දෙදියවල සුධනාරාමාධිපති කළුතර තොටමුණේ ප්‍රධාන සංඝ නායක මතුගම පඤ්ඤාවාස නාහිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කෙනෙකු වශයෙන් 1964 දී ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වී 1968 දී උපසම්පදාවට පත් වූහ. දෙදියවල තිලකසිරි අනු නාහිමියෝ ස්වකීය පැවිදි දිවියෙහි මූලික අධ්‍යාපනය වාද්දූව, මොල්ලිගොඩ ශ්‍රී ප්‍රවචනෝදය මහ පිරිවෙනෙන් ලබුගම ශ්‍රී ලංකානන්දාභිධාන මහනා හිමිපාණන් වහන්සේ ඇසුරෙන් ලබාගත් අතර අනතුරුව පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙන් ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් සහ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්මාභිධාන නාහිමිවරුන්ගේ ඇසුරෙන් ලබාගත්හ. 1969 දී පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වී එහිදී ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිය දිනාගත් උන්වහන්සේ, අනතුරුව 1981 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද 1984 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබාගත්හ. ශ්‍රී ලංකා රජයේ ශිෂ්‍යත්වයක් ලැබ 2000 දී ඉන්දියාවේදී අධ්‍යාපනය පිළිබඳව තෙමසක විශේෂ පුහුණුවක් ද උන්වහන්සේ ලබා ඇත.

ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනෙහි සහ දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙනෙහි පරිවෙනාචාර්යවරයෙක් වශයෙන් සේවය කළ දෙදියවල තිලකසිරි නාහිමිපාණෝ, මාතර නිල්වලා ජාතික අධ්‍යාපන පීඨයෙහි, සාරිපුත්ත ජාතික අධ්‍යාපන පීඨයෙහි, කළුතර පස්දුන්රට ජාතික අධ්‍යාපන පීඨය යන අධ්‍යාපන ආයතනයන්හි කථිකාචාර්යවරයෙක්, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් හා උප පීඨාධිපතිවරයෙක් වශයෙන් අධ්‍යාපනික සේවාවක් සිදු කොට ඇත.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණිසාමගී‍්‍ර ධර්මමහා සංඝ සභාවට 1986 වර්ෂයේ බෙන්තරපාර්ශ්වය නියෝජනය කරමින් පත්වූ නා හිමියෝ වසර 32 ක් සංඝ සභාව නියෝජනය කොට ඇති අතර දශක දෙකකට ආසන්න කාලයක් විනිශ්චයකාරක සභාවෙහි ලේඛකාධිකාරිධූරය හොබවා ඇත. කළුතර දිශාවෙහි ප්‍රධාන සංඝනායක ධූරයද හොබවා ඇති දෙදියවල නාහිමියෝ වර්තමානයෙහි බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක ධූරය සහ උපාධ්‍යාය ධූරය ද හොබවති. කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවෙහි අභිනව අනුනායක ධූරයෙහි අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ මහා පුණ්‍ය මහෝත්සවය, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස 18 වෙනි දින කෝට්ටේ රජමහා විහාරස්ථානයේ දී ද අභිනව අනුනාහිමියන් පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය අගෝස්තු මස 20 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් දෙදියවල ශ්‍රී ධම්මාරාම පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ.