සංසාර සැඩ පහරට හසුවන
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
පින්වත් දරුවනේ,අපි සසර ඕඝයන් ගැන කතා කළා මතකයි නේද? අද කතා කරන්නේ අවිද්‍යා ඕඝය
ගැනයි. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරැදි ආකාරයෙන් නො දැනීමයි. ඒ
කියන්නේ දරුවනේ, ඇත්ත ඇති සැටියෙන් නො දැකීමයි. එයට මෝහය කියලත් කියනවා.
ඕඝය කියන්නේ සැඩ පහරට කියලා දන්නවානේ.චතුරාර්ය සත්‍ය ධර්මය ගැන නොදන්නා පුද්ගලයා
අවිද්‍යාව නමැති සැඩ පහරට හසුවෙලා සංසාරය නමැති මහා සාගරයේ ගසාගෙන යනවා. නිවනට යන්න
නොදී අප ආවරණය කරගෙන ඉන්නේ අවිද්‍යා ඕඝයයි.
අපට පහළවෙන සිත් අතර අකුසල් සිත් 12 ක් තිබෙනවා. මේ අකුසල් සිත් දොළහේම යෙදෙන
මෝහයත්, කුසල් සිත්වල මෝහය නැති වුණත් අනුසය වශයෙන්, ඒ කියන්නේ පෙනෙන නොපෙනෙන
මට්ටමට මෝහය තිබෙන නිසා ඒ දෙකම අවිද්‍යාව කියලා හඳුන්වනවා. සංයුත්ත නිකායේ අවිද්‍යා
වර්ගයේ දී අවිද්‍යාව ගැන විස්තර කර තිබෙනවා. එහි කියා තිබෙන්නේ රූප, වේදනා, සංඥා,
සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීම, පැවතීම, නැතිවීම පිළිබඳව
නියමාකාරයෙන් නොදැනීමයි. තව විදියකින් කියනවා නම්, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන
ත්‍රිලක්ෂණය පිළිබඳ මනාව නොදැනීම අවිද්‍යාව වශයෙන් මයි හඳුන්වන්නේ. තව ටිකක් ගැඹුරට
ගියොත් අභිධර්ම පිටකයට අයත් විභංග ප්‍රකරණයේ විස්තර වන ආකාරයට
“දුක්ඛෙ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධයේ අඥානං දුක්ක නිරෝධ ගාමිනි පටිපදාය
අඥානං අයං වුච්චති අවිජ්ජා”
දුක, දුක හට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන කරුණු සතර පිළිබඳව
නොදැනීම අවිද්‍යාවයි. ඒ වගේම දරුවනේ මෙහි විරුද්ධ පැත්ත
“දුක්ඛෙ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධයේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥාන
අයං වුච්චති විජ්ජා”
දුක දුක හැටියට දැනීම විද්‍යාවයි. දුක හට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ
මාර්ගය පිළිබඳව දැනීම යන සතර කරුණු පිළිබඳව දැනීම විද්‍යාවයි.
“ඉමස්මිං සති ඉධංහොති
ඉමස්ස උප්පාද ඉධං උප්පජ්ජති
ඉමස්මිං අසති ඉධං න හොති
ඉමස්ස නිරොධා ඉධං නිරුජ්ජති”
මෙය ඇති කල්හි මෙය ඇතිවෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙය නැතිකල්හි මෙය නොවේ. මෙය
නැතිවී යාමෙන් මෙය නැතිවි යයි.
‘ඔය විදිහට දරුවනේ අවිද්‍යාව හේතුකොට ගෙන සංස්කාර හට ගන්නවා. සංස්කාරය හේතුකොට ගෙන
විඥානය හට ගන්නවා. අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති කරන විට තමයි සංස්කාර නැතිවෙන්නේ.
ඒ සමඟම ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස නැතිවී යනවා. ඒ කියන්නේ මේ
දුක් රාශියම නැතිව යනවා කියන එකයි. අගක් මුලක්, නැති අනවරාග සංසාරයේ සත්ත්වයා
දුවන්නේ, ඇවිදින්නේ මේ කියන අවිද්‍යාව නිසා. ඕඝයන් අතර ඉතා පීඩාකාරිම ඕඝය තමයි
අවිද්‍යා ඕඝය කියන්නේ. අවිද්‍යා සහගතව කටයුතු කිරීම සැම වේලාවේ ම දුක්ඛදායකයි.
දරුවෝ දන්නවාද? මිච්ඡා දිට්ඨිය නිසා භයානක අකුසලයන්ට අප රැගෙන යන්නේ මේ
අවිද්‍යාවයි. අවිද්‍යා විරහිත බව කියන්නේ සියලු දුක් දුරු කිරීමෙන් ලැබෙන අමා
නිවනටයි.දරුවන්ට මතකයි නේද? මම කිව්වා සංයුක්ත නිකායේ අවිද්‍යා කියල සූත්‍රයක්
තිබෙන බව. එහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. “මහණෙනි” අවිද්‍යාව මුල් කොට ගෙන
අකුසල් දහම් ඇතිවෙනවා. අවිද්‍යාවෙන් යුතු කෙනෙකුට ලජ්ජා භය උපදින්නේ නෑ”යනුවෙන්
එතකොට, නිවැරැදි දැනීමෙන් තොර මිථ්‍යා දෘෂ්ඨිය පහළ වෙනවා. මිථ්‍යා දෘෂ්ඨිය නිසා
මිථ්‍යා සංකල්ප පහළ වෙනවා. මිථ්‍යා සංකල්ප නිසා මිථ්‍යා වචන පහළ වෙනවා. මිථ්‍යා වචන
නිසා මිථ්‍යා කර්මාන්ත පහළ වෙනවා. මිථ්‍යා කර්මාන්ත නිසා මිථ්‍යා ජීවන පැවැත්ම පහළ
වෙනවා. මිථ්‍යා ජීවන පැවැත්ම නිසා මිථ්‍යා වෑයම් පහළවෙනවා. එවිට ඇති වෙන්නේ මිථ්‍යා
සමාධියමයි. ඉතින් දරුවනේ ඊට විරුද්ධ පැත්තක් තිබෙනවා.
විද්‍යාව දන්නා කෙනෙක් තුළ ලජ්ජාව භය උපදිනවා. එවිට නිවැරැදි දැනීමක් තිබෙනවා.
සම්මා සංකල්ප, සම්මා සංකල්ප නිසා සම්මා වචන, සම්මා වචන නිසා සම්මා කර්මාන්ත, සම්මා
කර්මාන්ත නිසා සම්මා ජීවන පැවැත්ම, සම්මා ජීවන පැවැත්ම නිසා සම්මා වෑයම පහළ වෙනවා.
එවිට ඇතිවන්නේ සම්මා සමාධියයි.
ඒ අනුව දරුවනේ දෘෂ්ඨියේ අපිරිසුදු බව, පිරිසුදු බව අවිද්‍යාව විද්‍යාව මුල්කොට
ගෙනයි පහළ වෙන්නේ. ධම්මපදයේ මළවග්ගයේ දී
“අවිජ්ජා පරමං මළං” අවිද්‍යාව තරම් කිළිටි දෙයක් මේ ලෝකයේ නැති බව බුදුරජාණන්
වහන්සේ දේශනා කොට වදාළා. දරුවනේ අවිද්‍යාව පංච නීවරණයක් ලෙසත් උන්වහන්සේ දේශනා කොට
වදාළා.
ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රබලම නීවරණයක්. සංසාර ගමන පිළිබඳ නිවැරැදි දැකීමෙන් යුතු
කෙනෙක් ලෙස සංසාරය නමැති මහා සාගරයෙන් එතෙරවී ලබන පරම සුවය, නිවන් සුවය ලබා ගන්නට
දරුවෝ අධිෂ්ඨාන කරගන්න ඕනෑ. නිවනින් වගේම අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන් මේ හැම දෙයකින්ම
නිවෙන්නට නම් මේ අවිද්‍යා ඕඝයෙන් බේරෙන්නම ඕනෑ. හැමෝට ම විද්‍යාව පහළ වේවායි අපි
ප්‍රාර්ථනා කරමු. |