Print this Article


අටුවා රසකතා- 09: කුල දුවක් අහසින් ගියාය

කුල දුවක් අහසින් ගියාය

අද ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ ගිරිහඬු මහ සෑ වන්දනාවට කැමැතිව උබ්බේග පී‍්‍රතියෙන් පිනාගොස් අහසින් ගිය එක් කුලදුවක් පිළිබඳ කතා ප්‍රවෘත්තිය යි.

බුද්ධඝෝෂ හිමියන් මෙම කතාව උදාහරණ ලෙස යොදා ගන්නේ විතක්ක, විචාර, පීති,සුඛ, ඒකග්ගතා යන ධ්‍යානාංගයන් ගැන කරුණු විස්තර කරන අවස්ථාවේ පීති යන්නෙහි ප්‍රභේදයක් වන “උබ්බේග‘ පී‍්‍රතිය හැඳින්වීමට උදාහරණයක් වශයෙනි. පී‍්‍රතිය පස් ආකාර වෙයි. එබැවින් පළමුව මේ පස් ආකාර පී‍්‍රතිය හෙවත් පස්වනක් පී‍්‍රතිය පිළිබඳ දැන ගැනීම මෙහි දී ධර්මාවබෝධය සඳහා පහසු වෙයි.

පස්වනක් පී‍්‍රතිය

පී‍්‍රති සුඛය යනු, කාය චිත්ත පිනවීම යි. එහි ලක්ෂණය අරමුණ පි‍්‍රය වශයෙන් දක්නා බව යි. රසය චිත්ත – කාය පිනවන බව යි. නැතහොත් පැතිරෙන බව යි. එය ඛුද්දක පී‍්‍රතිය, ක්ෂණික පී‍්‍රතිය ඔක්කන්තික පී‍්‍රතිය. උබ්බේග පී‍්‍රතිය හා ඵරණ පී‍්‍රතිය වශයෙන් පස් ආකාර වෙයි.

1) ඛුද්ධක පී‍්‍රතිය

ශරීරය ලොමුදහ ගැන්වීම් මාත්‍රයක් කිරීමට සමත් කුඩා පී‍්‍රතිය,

02.) ක්ෂණික පී‍්‍රතිය

ක්ෂණිකව ඇතිවන පී‍්‍රතිය විදුලි කෙටීමක් හා සමාන ය. මෙය ඛුද්දක පී‍්‍රතියය වඩා බලවත් ය,

03.) ඔක්කන්තික පී‍්‍රතිය මුහුදු වෙරළ පැතිරෙන මුහුදු රළ සෙයින් ශරීරය පිනවමින් පැතිර පවත්නා පී‍්‍රතිය. මෙය ක්ෂණික පී‍්‍රතියට වඩා බලවත් ය,

04.) උබ්බේග පී‍්‍රතිය ඔක්කන්තික පී‍්‍රතියට වඩා බලවත් මෙය කය උඩට ගෙන ගොස් අහසෙහි නගා පියන පමණට සමර්ථ වෙයි,

05.) ඵරණ පී‍්‍රතිය

මෙයින් පිනා ගිය කල්හි මහා ජල ප්‍රවාහයකින් පිරුණු පර්වත කුක්ෂියක් මෙන් හාත්පසම ස්පර්ශ කරන ලද්දේ වෙයි,

පෙර ලක්දිව ගිරිහඬු මහවෙහෙරට සමීප වත්තකාල නම් ගම්වැසි කොරණක නම් මහා විහාරයක් විය. එහි එක් නිවසක ගර්භිණී සැදැහැති කුල දුවක් විය.ඇගේ මව්පියෝ එක් දවසක් ගිරිහඬු මහවෙහෙරට බණ අසනු කැමතිව දුවණිය ගර්භිණි බැවින් අවේලාවෙහි ඇවිදීම නුසුදුසු හෙයින් දෙමාපියෝ ඇයට කියන්නේ, “දුවණියනි, අප ගොස් බණ අසා එන්නෙමු” කියා බණ ඇසීම සඳහා පිටත්ව ගියහ. ඒ දියණිය ද බණ ඇසීමට යෑමට කැමැත්ත මෙන් ම හැකියාව ද තිබුණ ද, දෙමව්පියන්ගේ වචනය ඉක්මවන්නට නො හැකිව යහපතැයි පිළිගෙන නිවසේ සිටියාය.

දෙමාපියන් පිටව ගොස් ටික වේලාවකට පසුව ගෙමිදුලට බට ඇය සඳ පහනින් ගිරිහඬු මහ වෙහෙර ආකාශ චෛත්‍ය මළුවෙහි බබළමින් දැල්වෙන පහන් පූජාව දිටීය. ඇයට භික්ෂු සංඝයා වහන්සේගේ ගණ සජ්ඣායන ශබ්දයද ඇසුණි. එවිට ඇය විහාරයට ගොස් මෙබඳු සෑ මළුවක ඇවිදින්නට මෙබඳු ධර්ම කතා අසන්නට ලැබුවෝ ඒකාන්තයෙන් මහා පිනැත්තෝ ය යනුවෙන් සිතීය. මෙසේ සිතිවිලි පහළ වූ ඇයට මුතු රැසක් බඳු චෛත්‍ය බලත් ම උබ්බේග පී‍්‍රතිය උපන්නා ය. එයින් ඕ තොමෝ අහසට නැගී දෙමාපියන්ට පෙරාතුව ම ආකාශ චෛත්‍යාංගණයේ බැස බණ අසමින් සිටියා ය.

මව්පියෝ අවුත් අදහාගත නො හැකිව ‘දරුව ,ඔබ කවර මගෙකින් මෙහි පැමිණියේ දැයි’ විමසී ය. එවිට ඇය ‘මම අහසින්් ආවෙමි. මගෙකින් නො ආවෙමියි’ පිළිතුරු දුන්නී ය. පුදුමයට පත් මව්පියන් ‘දරුව අහසින් යන්නෝ නම් මහාරහතන් වහන්සේ ය. ඔබ කෙසේ පැමිණියා ද?” විමසී ය. එවිට ඇය පවසන්නී ‘සඳ පහනින් චෛත්‍ය දෙස බලාහුන් මට බලවත් වූ බුද්ධාලම්බන පී‍්‍රතියක් උපන්නේ ය. එයින් මම මා අන් සිටි තැන් නොදත්තෙමි. ගත් අරමුණින් ම අහසින් අවුත් මළුවෙහි පිහිටියෙමි’යි යනුවෙන් ඇය පිළිතුරු දුන්නී ය.

භාවිතය

යමක් කරන විට අපගේ සිත සැදැහැවත් බවින් පිරිපුන් නම්, එයින් යමක් බලාපොරොත්තු වුවත් නැතත් මේ අත් බවෙහි ම එයින් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන බව නම් අනිවාර්ය වෙයි. විශේෂයෙන් බුද්ධාදි තුණුරුවන් කෙරෙහි අපගේ අචල ශ්‍රද්ධාවක්, පැහැදීමක් පවතීනම් එය අපගේ උභයාර්ථ සුභසිද්ධිය සඳහාම හේතු වනු නො අනුමාන ය. කෙනෙක් ධර්මය ඇසීමට එළඹෙන්නේ, ධර්මය අසන්නේ ශ්‍රද්ධාව නිසා ය. කෙටියෙන් කියතොත් නිර්වාණගාමී මාර්ග ප්‍රතිපදාව ම රැඳී ඇත්තේ ශ්‍රද්ධාව මත පදනම්ව ය. එබැවින් නිර්වාණගාමී මාර්ගයේ පළමු පියවර ශ්‍රද්ධාව හෙවත් පැහැදීම ලෙස ගතහොත් එය නිවැරැදි ය.