ඤාණ දස්සන විසුද්ධිය
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
අධිකරණ නායක
ත්‍රිපිටක විශාරද
ශාස්ත්‍රපති
මකුලෑවේ විමල නා හිමි
සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අරහත් යන සිව් ආකාර මාර්ග ඤාණය නික්ලේශී ය. ඉතා
පිරිසුදු ය. ඒ නිසා ඤාණ දස්සන විසුද්ධිය නමින් හැඳින්වෙයි.
ජබ්බි සුද්ධික්කමේනේව
භාවේ තබ්බෝ චතුබ්බිධෝ
ඤාණ දස්සන විසුද්ඛිති
නාම මග්ගෝ පවුච්චති
යන ගාථාවෙන් එය වැඩිදුරටත් විස්තර වෙයි. මෙහි භාවාර්ථය මෙසේ ය. සීල විසුද්ධිය,
චිත්ත විසුද්ධිය යන දෙකත්, දිට්ඨි විසුද්ධි, කංඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ග ඤාණ
දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි යන හතරත්, විසුද්ධීන්ගේ අනුපිළිවෙළින්
උපදවා ගත යුතු වන සෝවාන් සකෘදාගාමි, අනාගාමි, අරහත් යන චතුර්විධ මාර්ගය චතුරාර්ය
සත්‍යය අවබෝධ කරන බැවින් ද, ඒ ඒ මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙසුන් බැහැර කොට
පිරිසුදු වන බැවින් ද ඤාණ දස්සන විසුද්ධි යැයි කියනු ලැබේ.
මාර්ග චිත්ත වීථියෙහි මනෝද්වාරාවර්ජන චිත්තයට අනතුරු ව උපදින පරිකර්ම, උපචාර,
අනුලෝම යන ජවන චිත්තයන් පවතින්නේ සංස්කාරයන් අරමුණු කොට ගෙන යි. ඒ නිසා ඒවා පටිපදා
ඤාණ දස්සන විසුද්ධියට ම අයත් වෙයි. ඒ මාර්ග වීථියෙහි ඊට අනතුරුව භාවනා බලයෙන් නිවන
අරමුණු කරමින්, භාවනානුයෝගියාගේ පෘථග්ජන ව්‍යවහාරය ඉක්මවමින්, ආර්ය ව්‍යවහාරයට
පමුණුවමින් ගොත්‍රභු ජවන් සිත උපදී. මේ ගෝත්‍රභු සිත නිවන අරමුණු කරන බැවින් පටිපදා
ඤාණ දස්සන විසුද්ධියේ ද මාර්ග චිත්තය නොවේ. ඒ නිසා ඤාණ දස්සන විසුද්ධියෙහි ද ඇතුළත්
නොවේ. එසේ වුව ද විදසුන් මගෙහි පිහිටි නිසා විදසුන් ගණයෙහිලා සැලකෙයි. මෙම ගොත්‍රභු
චිත්තයට අනතුරු ව එම චිත්ත විථියෙහි පස්වැනි ව හෝ සතර වැනි ව සෝවාන් මාර්ග සිත
සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන මුල් සිඳ ප්‍රහීණ කරමින්
උපදියි. ඊට පසු එම වීථි මාර්ගයෙහි ම මාර්ග චිත්ත පස්වැනි උපන් තැන ඵල සිත් දෙකක් හෝ
සතර වැනි ව උපන් තැන් ඵල සිත් තුනක් හෝ ඒ මාර්ගය හා සමාන වූ නිරෝධය අරමුණු කරමින් ඒ
මාර්ග චිත්තයේ විපාක වශයෙන් ඉපදී නිරුද්ධ වෙයි. ඉක්බිති සිත භවාංග වෙයි. නැවත භවාංග
පරම්පරාව සිඳගෙන ඒ මඟපල ආදිය පිළිබඳ ව ම වූ කාමාවචර ප්‍රත්‍යවේක්ෂ ඥාන ඇති වන්නේ
මෙසේ ය.
මම මේ මාර්ගයෙන් මෙතැනට පැමිණියෙමි. යි තමා පැමිණි මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරයි.
මම මේ මාර්ගයෙහි පැමිණ මේ නම් ආනිශංස ලැබීමි’යි ප්‍රතිඵලය ප්‍රත්‍යවේක්ෂා කරයි.
මම මේ මාර්ගයෙහි පැමිණ මෙතෙක් කෙලෙසුන් ප්‍රහීණ කළෙමි’ යි ප්‍රත්‍යවේක්ෂා කරයි.
මතු නැසිය යුතු වූ තවත් මේ මේ ක්ලේශයන් ඇතැයි ප්‍රත්‍යවේක්ෂා කරයි.
මෙ නම් දහමක් මා විසින් අරමුණු කිරීම් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන ලදැ’ යි නිර්වාණය
ප්‍රත්‍යවේක්ෂා කරයි.
මෙසේ සෝවාන් වූ පුද්ගලයාට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් ඇති වෙයි. මෙහි සෝවාන් මාර්ගස්ථ
පුද්ගලයා නම් සෝවාන් මාර්ග චිත්තය උපන් තැන් පටන් සෝවාන් ඵල චිත්තය උපදින තෙක්
පැවති එක් චිත්තක්ෂණයකට පමණක් ආයුෂ ඇති පුද්ගලයා ය. සෝවාන් ඵලස්ථ පුද්ගලයා යනු,
කවරෙක් ද? සෝවාන් ඵල චිත්තයෙන් පසු ඒ භවයේ දී හෝ වෙනත් භවයක දී සකෘදාගාමි චිත්තය
උපදින තෙක් වාසය කරන පුද්ගලයා ය. ඔහු සතර අපායෙන් මිදුණෙකි. වැඩි ම වශයෙන් සත්වරකට
වඩා කාම භවයේ උපදින්නේ නැත.
සෝවාන් මගඵල ලද යෝගාවචරයා ඒ ආසන්නයේ ම හුන්නේ හෝ පසුකලෙක හෝ සකෘදාගාමී මගඵල ලබනු
සඳහා පටිපදා ඤාණදස්සන විසුද්ධියේ කී නයින් ක්‍රියා කරයි. ඒ කෙසේ ද? උදයබ්බය ඤාණයේ
පටන් විදර්ශනාව අරඹා සියලු සංස්කාර ධර්මයන් ත්‍රිලක්ෂණ වශයෙන් ගෙන භාවනා කරයි. එසේ
භාවනා කරන යෝගාවචරයාගේ විදර්ශනා භාවනාව මුහු කිරීමට සංඛාරුපෙක්ඛා ඤාණය ඉතා තියුණු ව
දැන් මාර්ග සිත පහ වෙතැයි කිව හැකි කාලයෙහි, අනිත්‍ය ආදී යම්කිසි එක් කරුණක් අරමුණු
කොටගෙන, පරිකම්ම, උපචාර, අනුලෝම යන ඤාණ, මන්ද පඤ්ඤ, තික්ඛ පඤ්ඤ යන පුද්ගලයන්ගේ
වශයෙන් උපදී. ඉක්බිති ගොත්‍රභූ සිත මෙහි දී වෝදාන යන නමින් උපදී. ඉක්බිති කාමරාග
ව්‍යාපාද යන සංයෝජන තුනී කරමින්, සකෘදාගාමි මාර්ග චිත්තය ද, ඊට අනතුරුව සුදුසු
පරිදි ඵල චිත්ත කිහිපයක් ද ඉපිද භවාංග පාතය වෙයි. ඊට පසු භවාංග සෝතය සිඳ
ප්‍රත්‍යවේක්ෂා ඤාණ පහ උපදී. මේ සකෘදගාමි යෝගාවචරයා ප්‍රතිසන්ධි වශයෙන් කාමභවයට
එක්වරක් පමණක් පැමිණෙයි.
සකෘදගාමී ආර්ය ශ්‍රාවකයා ද අනාගාමී මාර්ගඵල ලැබීමට නැවතත් විදර්ශනා වැඩිය යුතු ය.
එසේ විදර්ශනා වඩන ඔහුගේ කාමරාග - ව්‍යාපාද යන සංයෝග ප්‍රහීණ වෙයි. අනාගාමි ආර්ය
ශ්‍රාවකයා මේ ආත්මභාවයේ රහත් නො වුණහොත් ප්‍රතිසන්ධි වශයෙන් කාමභවයක උපදින්නේ නැත.
පඤ්චම ධ්‍යාන උපදවා ගතහොත් පඤ්ච සුද්ධාවාසයෙහි උපදී. ප්‍රථම ආදි ධ්‍යාන උපදවාගෙන
ඇත්නම් ඒ ඒ බඹලොව උපත ලබයි. ආර්ය භූමියට පත් ඒ උතුමෝ සතර අපායෙහි නූපදිති.
අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකයෙහි ද නූපදිති. තවද වේහප්ඵල අකනිට්ඨක, නේවසඤ්ඤා නාසඤ්ඤායතන
යන බ්‍රහ්ම ලෝකවල උපන් කිනම් ආර්යයෙක් වුවත් අන් තැනක නො ඉපදී එහි ම රහත් ව
පිරිනිවන් පායි. එසේ ම මතු මතු බ්‍රහ්ම ලෝකවල උපන් ආර්යයෝ යට බ්‍රහ්ම ලෝකවලට ද නො
පැමිණෙති. සුද්ධාවාසයෙහි උපන් අනාගාමී පුද්ගලයෝ ද, පඤ්ච සුද්ධාවාසයෙන් වෙනත් තැනකට
නො පැමිණ එහිදී ම පිරිනිවන් පාති.
අනාගාමී මාර්ගඵල පසක් කළ යෝගාවචරයා අරහත් මගඵල ලබා ගැනීමට යළිත් පටිපදා ඤාණදස්සන
විසුද්ධියෙහි දක්වා ඇති පිළිවෙළින් උදයව්‍යය ඤාණයෙහි පටන් විදර්ශනාව අරඹා, සියලු
සංස්කාරයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් භාවනා කළ යුතු ය. එසේ භාවනා කරන ඔහුගේ
විදසුන් මුහු කිරීමට පැමිණ, සංඛාරුපෙක්ඛා ඤාණය අතිශයින් තියුණු ව, ත්‍රිවිධ
අනුපස්සනාවන් අතුරෙන් එකක් සම්මර්ශනය කිරීමෙන් සිත භවාංගයට වැටෙයි. ඉන්පසු ඒ භවාංගය
සිඳගෙන ත්‍රිවිධානු පස්සනා අතුරෙන් එකක් අරමුණු කරමින් ඒ මාර්ග වීථියෙහි ම
මනෝද්වාරවර්ජන නම් සිත ඇතිවෙයි. ඒ මනෝද්වාරාවවර්ජන චිත්තයට අනතුරු ව පරිකම්ම,
උපචාර, අනුලෝම, වෝදනා යන ජවන් සිත් ඇති වෙයි. ඉන්පසු රූප රාග, අරූප රාග, මාන,
උද්ධච්ච, අවිජ්ජා යන උද්ධංභාගීය සංයෝජන මුළුමනින් ප්‍රහීණ කරමින් අරහත් මගඵල නුවණ
උපදී.
මේ අයුරින් සෝවාන්, සකෘදගාමි, අනාගාමි පුද්ගලයන්ට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහ බැගින් ද
රහත් පුද්ගලයාට හතරක් ද ලැබේ. ඒ අනුව සියලු ප්‍රත්‍යවේක්ෂා ඤාණ දහ නමයකි. සීල
විසුද්ධියේ පටන් – ඤාණ දස්සන විසුද්ධිය දක්වා ඇති විසුද්ධි හත තේරුම් ගෙන ඒ අනුව
තමාගේ බාහිර අධ්‍යාත්මික සංවර්ධන ඇති කර ගත් පුද්ගලයෙක් වෙතොත් ඔහු වැහි
වළාකුළුවලින් මිදුණු පුර හඳ මෙන් සමාජයෙහි බැබළෙනු ඇත. |