Print this Article


කොටස ධර්ම විනය ඉස්මතු කොට සම්බුදු සසුන සුරක්ෂිත කළ දෙවන ධර්ම සංගායනාව - 1

ධර්ම විනය ඉස්මතු කොට සම්බුදු සසුන සුරක්ෂිත කළ දෙවන ධර්ම සංගායනාව - 1 කොටස

අද සිට අප සිත පහදවා ගන්නේ උතුම් මහරහතන් වහන්සේලා දෙවන ධර්ම සංගායනාව සිදුකොට දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ගෞතම බුදු සසුන සුරක්ෂිත කළ ආකාරය පිළිබඳවයි. කාලාශෝක රජු මගධයෙහි අභිෂේක ලබා දස අවුරුද්දක් ගත වූ තැන අපගේ සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු සියයක් පමණ ගත වී තිබුණි.

ඒ කාලයෙහි විසාලා මහනුවර වජ්ජින් අතරින් පැවිදි වූ නොයෙක් භික්ෂූන් වහන්සේ කරුණු දහයක් යහපත් යැයි සම්මත කරගෙන සිටියහ. එනම්, (01). ගමනක් යද්දී අඟක ලුණු දමාගෙන යෑම, (02). ඉර අවරට ගොස් අඟල් දෙකක් ඉක්ම යනතුරු දන් වැළඳීම, (03). මේ ගමෙන් දන් වළඳා වෙනත් ගමකට යන අතරමග දී කලින් වළඳා ඉතිරි වූ දෙයක් නැවතත් වැළඳීම, (04). මහ ආවාසයක් වන විහාරයක ලොකු සීමාවක් තුළ වෙන් වෙන්ව පොහොය කර්ම කිරීම, (05). සංඝයාගේ කැමැත්ත නො ගෙන විනය කර්මයක් කිරීමෙන් පසු ඒ පිළිබඳ පවසා කැමැත්ත ගැනීම, (06). තමන්ගේ ආචාර්ය පරපුරෙන් කරගෙන ආ දෙය එසේම කරගෙන යෑම, (07). දන් වැළ¼දීමෙන් පසු වෙනත් අසුනක වාඩි වී කිරි බවට පත් නොවූ නො මේරූ කිරි වැළඳීම, (08). සුරාබවට පත් නොවූ තෙලිජ්ජ පානය කිරීම, (09). වාටිය මසා නො මැති වාඩි වීමට ගන්නා නිසීදනයක් පරිහරණය කිරීම, (10). රන්, රිදී, මිල මුදල් පිළිගෙන පරිහරණය කිරීම කැපය යන කරුණු දහය ය.

ඒ විසාලා නුවරවැසි භික්ෂූන් දැනුවත් ව ම කැප නොවූ දේ කැප යැයි සම්මත කිරීමෙන් ලජ්ජාව සිඳගත් නිසා “අලජ්ජී” නමින් හැඳීන්වුණි. ඔවුන් ඒ කරුණු දහය කැප යැයි ප්‍රසිද්ධියට පත් කළහ. එය අසන්නට ලැබුණු කාකණ්ඩ නම් බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වූ ෂඩ් අභිඥා බලයෙන් යුක්ත වූ යස තෙරුන් වහන්සේ මෙම දස කරුණ පිළිබඳව විනය අර්බුදය සංසිඳවන්නට උත්සාහ කරමින් විසල් පුරයෙහි මහ වනයේ කූටාගාර විහාරයට වැඩි සේක.

ඒ වජ්ජිපුත්තක භික්ෂූහු විසල්පුර මහවනයේ කූටාගාර විහාරයෙහි සංඝයාගේ පොහොය ගේ මැද ජලය පිර වූ රන් පැහැති පාත්‍රයක් තබා ‘උපාසකවරුනි, සංඝයාගේ ප්‍රයෝජනය පිණිස රන් කහවණු ආදිය පූජා කරනු’ යී කීහ. එතැන සිටි යස තෙරුන් වහන්සේ ‘උපාසකවරුනි, රන් කහවණු ආදිය පූජා නො කරන්න. ඒවා සංඝයාට පිළිගැනීමට කැප නැතැයි” කියා එය වැළැක් වූහ. එවිට ඒ වජ්ජිපුත්තක භික්ෂූන් ගිහියන්ට තමන් අතින් වරදක් වූ විට සංඝයාගේ අනුමැතියෙන් ඒ ගිහියන් ළඟට ගොස් ඒ වරදට සමාව ගැනීමට නියම කිරීමේ විනය කර්මය වන පටිසාරණීය කර්මය යස තෙරුන්ට කළේය.

යස තෙරුන් වහන්සේ විනයෙහි සඳහන් පරිදි ඒ ගිහියන්ගේ සමාව ගැනීමේ කටයුත්තට තමන් සමඟ යෑම පිණිස අනුදූත භික්ෂුවක් කැඳවා ගත් සේක. ඒ භික්ෂුවත් සමග විසල්පුරයට වැඩ තමන් පැවසූ කරුණෙහි ඇති ධර්මානුකූල බව විසල්පුරවාසී උපාසකවරුන්ට පහදා දුන් සේක. ඒ අනුදූත භික්ෂුව යස තෙරුන් සමඟ ආපසු පැමිණ විසල්පුර භික්ෂූන්ට කියා සිටියේ තමන්ගේ කතාව ධර්මයට එකඟ වූ බවත්, මිල මුදල් පිළිගැනීම අධර්මය බවත් ඒ විසල්පුර රජු සහිත නගරවාසීන් යස තෙරුන් විසින් දැනුවත් කළ බව යි. එයින් කෝපයට පත් ඒ භික්ෂූහු යස තෙරුන් විනය කර්මයක් තුළින් සංඝයාගෙන් නෙරපීම පිණිස සූදානම්ව යස තෙරුන් සිටි කුටිය වට කළහ. යස තෙරුන් වහන්සේ අහසට පැන නැඟී කොසඹෑ නුවර ඝෝෂිතාරාමයට වැඩි සේක. පාවා නුවරවාසී භික්ෂූන්ටත්, අවන්ති නුවරවාසී භික්ෂූන්ටත් මේ අර්බුදය පවසා එය සංසිඳවීම පිණිස දූත භික්ෂූන් පිටත් කළ සේක.

ඉන්පසු යස තෙරුන් වහන්සේ අහෝගංග පර්වතයෙහි සාණ වනයෙහි වැඩසිටි සම්භූත මහරහතන් වහන්සේට සියල්ල වදාළ සේක.

පාවා නුවරවාසී තෙරුන් වහන්සේ සැට නමකුත්, අවන්ති රටවාසී තෙරුන් වහන්සේ අසූ නමකුත් වන ඒ සියලු මහ රහතන් වහන්සේ අහෝගංග පර්වතයට අහසින් වැඩි සේක. ඒ අහෝගංග පර්වතයට ඒ ඒ තැනින් සාකච්ඡා කොට රැස්වූ කෙලෙස් හුල් නැති සියලු රහත් භික්ෂූන් වහන්සේගේ ගණන අනූ දහසක් වූහ.

ඒ තෙරුන් වහන්සේලා විනය ගරුක සංඝයාගේ එකතු වීමට ප්‍රමුඛ කාලය බව දැන සෝරෙය්‍ය ජනපදයෙහි වැඩ සිටි ධර්ම විනයෙහි බහුශ්‍රැත වූ රේවත මහරහතන් වහන්සේ බැහැ දැකීමට පිටත් වූහ. රේවත මහරහතන් වහන්සේට මෙම විනය අර්බුදය පිළිබඳව කරුණ දිව්‍ය ශ්‍රවණයෙන් අසන්නට ලැබුණ අතර උන්වහන්සේ හුදෙකලාවේ ගමන් කිරීම තමන්ට පහසුවක් බව දැන එයට කැමතිව එසැණින් ම විසාලා මහනුවර බලා වැඩමවීමට සෝරෙය්‍ය ජනපදයෙන් පිටත්ව වැඩි සේක. ඒ රේවත මහරහතන් වහන්සේ උදේ නික්මී වැඩි තැනට අර භික්ෂූන් වහන්සේලා සවස පැමිණ අවසානයේ දී සහජාතිය නම් ස්ථානයේ දී මුණගැසුණ අතර එහිදී රේවත මහරහතන් වහන්සේ භික්ෂූන්ට ධර්ම කථාව වදාළ සේක. ඒ ධර්ම ශ්‍රවණයෙහි අවසානයේ දී සම්භූත තෙරුන් වහන්සේ විසින් විසාලා මහනුවර භික්ෂූන් තුළ ඇති වී තිබෙන තත්ත්වය රේවත තෙරුන්ට වදාරණ ලෙස යස තෙරුන්ට පැවරූ සේක.

එවිට යස තෙරුන් රේවත මහරහතන් වහන්සේගෙන් විසාලා මහනුවර වජ්ජී භික්ෂූන් කැප යැයි සම්මත කරගෙන සිටින කරුණු දහය විනයට අනුකූල වන කැප දෙයක් දැයි ඇසූ විට මහරහතන් වහන්සේ එය විනයට අනුකූල නැති අකැප දෙයක්යැයි ප්‍රතික්ෂේප කළහ. ඉන්පසු මේ විනය අර්බුදය විසඳීමට රේවත මහරහතන් වහන්සේ පෙරමුණ ගත් සේක.

දොස් සහිත වජ්ජිපුත්තක භික්ෂූන්ට එය දැනගන්ට ලැබුණු හෙයින් තමන්ගේ අදහසට පක්ෂ ප්‍රධාන සඟ පිරිසක් රැස් කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිව භික්ෂූන්ට ගැලපෙන සිවුරු ආදී බොහෝ පිරිකර රැගෙන රේවත මහරහතන් වහන්සේ හමුවීමට පැමිණ ඒ විසල්පුරවාසී භික්ෂූන් සහජාතිය නම් ස්ථානයට වැඩි සේක.

ඒ අවස්ථාවෙහි, පිරිනිවන් පා වදාළ ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් වූ සාළ්හ නම් රහතන් වහන්සේ වැඩ සිටියේත් සහජාති නම් ප්‍රදේශයේම ය. උන්වහන්සේ මේ අර්බුදය විසඳන්ට මුල් වන පාවා නුවරවැසි භික්ෂූන් වහන්සේ ධර්මානුකූලව කරුණු කියන පිරිසක්දැයි නුවණින් බැලු විට මහා බ්‍රහ්මයා ඒ සාළ්හ තෙරුන් අභියස පෙනී සිට “ධර්මය තුළ සිටිනු මැනවැයි” කී ය.

එවිට සාළ්හ තෙරුන් වදාළේ තමන් වහන්සේ නිරන්තරයෙන් ධර්මය තුළ පිහිටි සිතකින් සිටින බවය. කලින් කියූ විසල්පුරවාසී දොස් සහිත වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේ තමන්ගේ පිරිකර රැගෙන රේවත මහරහතන් වහන්සේ බැහැ දුටුහ. පිරිකර ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ ඒ දොස් සහිත භික්ෂූන්ගේ පාර්ශ්වය ප්‍රතික්ෂේප කොට පළවා හැරියේය.

ඒ දොස් සහිත භික්ෂූන්ට තමන් සඳහා පක්ෂපාතී පිරිසක් නො සිටි නිසා ඒ ස්ථානයෙන් පිටත් ව විසාලාවට ගොස් එතැනින් පුෂ්පපුරය නම් වූ පාටලීපුත්‍ර නුවරට වැඩියහ. කාලාශෝක මහ රජු මුණ ගැසී කියා සිටියේ “මහරජ, අපගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් සුගන්ධ කුටිය රැකබලා ගනිමින් වජ්ජි භූම්යෙහි විසාලා මහනුවර මහා වනයේ කූටාගාර විහාරයේ සිටින්නේ අප ය. නමුත් රජතුමනි, අපගේ කූටාගාර විහාරය අල්ලා ගන්නට ග්‍රාමවාසී භික්ෂූහු එහි පැමිණෙමින් සිටිති. ඔවුන්ගේ ක්‍රියාව වළක්වනු මැනවයි” කියමින් කාලාශෝක රජු නො මඟ යවා ඒ භික්ෂූන් විසාලාවෙහි කූටාගාර විහාරයට වැඩියහ.

රේවත මහරහතන් වහන්සේ සමීපයෙහි සහජාති නම් ස්ථානයේ රැස් වූ එකොළොස් ලක්ෂ අනූදහසක් වූ භික්ෂූන් වහන්සේ වජ්ජි භික්ෂූන් අනුගමනය කරමින් සිටින දස වස්තුවෙන් හටගත් අර්බුදය විසඳනු මැනවයි රේවත තෙරුන්ට වදාළහ. ප්‍රශ්නය හටගත් තැන මිසක වෙනත් තැනක දී එය විසඳීම ගැන රේවත මහ රහතන් වහන්සේ රුචි නො කළ සේක. එනිසා උන්වහන්සේ ඇතුළු සියලුම භික්ෂූන් වහන්සේ එතැනින් විසාලා මහනුවරට වැඩම කළ සේක.

මෙම ලිපියෙහි ඉතිරි කොටස 11 වැනිදා ඇසළඅමාවක පෝදා බුදුසරණ පත්‍රයේ පළවේ.