Print this Article


උණ පුරුකෙහි ඇති කළ නාගයා

උණ පුරුකෙහි ඇති කළ නාගයා

පින්වත් දුවේ පුතේ, වැඩිහිටියන් කියන්නේ අපට වඩා වයසින් වැඩි, දැනුමෙන් වැඩි සමාජයේ අත්දැකීම් බහුල පිරිසක්. කාලයක් තිස්සේ මේ සමාජයේ නොයෙක් ප්‍රශ්න සමඟ ජීවත්වෙලා, ඒවාට මුහුණ දීලා, හොඳ හා නරක ප්‍රතිඵල ලබාගත් පිරිසක්.

අපි යම් දෙයක් කරන විට අම්මා, තාත්තා, ගුරුවරු නැත්නම් වැඩිහිටියන් අපට කියනවා” පුතේ ඔය දේ කරන්න එපා” කියලා සමහර වෙලාවට අපි ඒ අය එපා කිව්වම ඒ අය දිහා තරහින් බලන්නේ. වෙලාවකට හිතනවා වැඩිහිටියන් දන්නේ මොනවද කියලා. එපා කියන දේ කරලා සමහර දේවල්වලින් පස්සේ අපට හිතෙනවා “අපරාදේ” එපා කියපු දේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නෑ කියලා.

බුදුරජාණන් වහන්සේ අපට උගන්වා තියෙන්නේ යම් කටයුත්තක් කරන්නට කලින් මේ දේ කළොත් එයින් මට ප්‍රතිඵලයක් ලැබෙයි ද? අනෙක් අයට හානියක් වෙයි ද? යි සිතන්නට කියලයි. තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනවත්නම් ඒ දේ කරන්න. හානියක් පාඩුවක් නම් කවදාවත් ඒ දේ කරන්න එපා. ඒ වගේම එම කටයුත්තෙන් අදට ප්‍රයෝජනවත් වෙලා පසුදිනක පසුතැවෙනවානම්, ඒ දේ කරන්නත් එපා කියා. ඉතින් දුවේ,පුතේ හොඳ ළමයෙක් කියන්නේ වැඩිහිටියන්ගේ උපදෙස් අවවාද පිළිපදින පිරිසක්. අප බෝසතාණන් වහන්සේ උසස් කුලයක උපත ලබා තරුණ වයසට පැමිණි පසු සියලු ධනය, පස්කම් සැපත අතහැර ගිහි ගෙයින් නික්මී තාපස පැවිද්දෙක් ලෙස ජීවත් වුණා. හොඳින්, උත්සාහයෙන් භාවනා කොට පඤ්චභිඥා සමාපත්ති උපදවා ගත්තා. සිල්වත් දිවියක් ගත කළ නිසා තවත් බොහෝ පිරිසක් පැමිණ තවුස්දම් පිරුවා. පසුව පන්සියය දෙනෙකුට නායකත්වය ලබා දුන්නා.

මෙතැන සිටි එක් තවුසෙක් තිරිසන් සතුන් කෙරෙහි ආශාවෙන් කටයුතු කළා. එක් දිනක් තවුස් ආරාමයට පැමිණි විෂඝෝර සර්පයෙක් අල්ලාගෙන උණ පුරුකක් තුළ රඳවා ගත්තා. ඌට නිතර කෑම වතුර දෙමින් ඇති දැඩි කළා. මෙය දැනගත් අනෙක් තවුසෝ විෂඝෝර සතුන් කෙරෙහි විශ්වාස නො තබන්න යැයි අවවාද කළත්, එය පිළිගත්තේ නැහැ. තවුසා සර්පයා තම දරුවෙකු මෙන් ඇතිකළා. මෙය දැනගත් බෝසත් තවුසා ඔහු කැඳවා විෂඝෝර සර්පයන් කෙරෙහි විශ්වාස නො තබන ලෙස අවවාද කළා. නමුත් වැඩිහිටි බෝසතාණන්ගේ අවවාදය ඔහු පිළිගත්තේ නෑ. ඔහු නාගයාට ගස්වල ගෙඩි,මල් කෑම වර්ග ලබා දෙමින් හදාවඩා ගත්තා.

කාලයක් යද්දී දැඩි නියඟයක් ආවා. කෑම වර්ග සොයාගන්න අමාරු වුණා. දවසක් මේ බමුණා සර්පයා උණ පුරුකෙහි දමා කෑම හොයන්න දුර ප්‍රදේශයකට ගියා. දින කීපයකට එන්න බැරි වුණා. සර්පයා බඩගින්නේ හොඳටම කේන්ති ගිහින් හාමතේ සිටියේ. දින කීපයටකට පසු ආහාර සොයාගෙන පැමිණි බමුණා සර්පයා අසළට ගොස් උණ පුරුක ඇරියා. සැනෙකින් කුසගින්නේ කෝපයට පත් සර්පයා අර බමුණාට දෂ්ට කළා. සර්පයාගේ දරුණු විෂ ශරීර ගත වූ බමුණා එතැනම මිය ගියා.මේ පිළිබඳව තවුසන් අතර කතාබහක් ඇතිවුණා. මෙය බෝසත් තාපසතුමන්ටද දැන ගන්නට ලැබුණා. බෝසත් තාපසතුමා සියලුම තාපසයින් කැඳවා වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා නො පිළිගන්නා සියල්ලෝම මේ ආකාරයට විනාශයට පත්වෙන බව පෙන්වා දුන්නා. පින්වත් දුවේ, පුතේ මෙම කතාවෙන් පැහැදිලි වෙනවා වැඩිහිටියන්ගේ උපදෙස් පිළිගත්තා නම් අර නාගයා ඇති කළ තාපසයා මැරෙන්නෙ නෑ. ඒනිසා පින්වත් දූ පුතුන් ද මෙය ආදර්ශයට ගෙන වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිගෙන හොඳ දුවෙක්, පුතෙක් වෙන්න උත්සාහ කරන්න.