Print this Article


බුද්ධිය සොයා යන ගමන

බුද්ධිය සොයා යන ගමන

"ප්‍රඥාවේ එකිනෙක මට්ටම් පවතී. ලෞකික මිනිසුන් වශයෙන් අප තුළ පවතින ප්‍රඥාව වූකලී දැනුමේ එක්තරා දියුණු අවස්ථාවකි. එය ලෞකික ප්‍රඥාව නම්වේ. බුදුදහම අනුව තේරුම් ගතයුතු කරුණක් වන්නේ ප්‍රඥාව නම් වන එකී බුද්ධිමය තත්ත්වයට මෘදු මොළොක් භාවමය තත්වයක් ආරෝපණය කර ගැනීමට හැකියාවක් නැත්නම් එම බුද්ධිය ඵල රහිත වන බවයි."

දැනුම, බුද්ධිය හා ප්‍රඥාව ලබා ගැනීම යනුවෙන් අපගේ මොළය ආශ්‍රිතව සිදු කෙරෙන ක්‍රියාවලීන් තුනක් පවතී. මෙම තෙවැදෑරුම් ක්‍රියාවලීන්ගෙන් අප මුලින්ම සිදු කරනුයේ දැනුම සොයා ගැනීම යි. දරුවකු ඉපදුණු දා සිටම මව්පියන් තම දරුවාගේ අනාගතය සඳහා ඔහු දැනුම් සම්භාරයකින් සන්නද්ධ කිරීමට සැලසුම් සාදනු ලබන ආකාරය ඔබ දැක ඇත.

එසේම හය හතර තේරෙන වියේ දී පාසල් වෙත, පෞද්ගලික පන්ති වෙත රැගෙන යමින් හෝ ගුරුවරුන් තම නිවසට ගෙන්වා ගනිමින් හෝ එකී දැනුම ලබා දීම සඳහා මව්පියෝ කාලය, ධනය හා ශ්‍රමය වැය කරමින් මහත් පරිශ්‍රමයක් දරති. දැනුම (Knowledge)  යනුවෙන් හඳුන්වනු ලබන මෙම ඥාන සම්භාරය ලබනුයේ පොතපත මගින් පමණක් නොවේ. ගුරුවරුන්ගෙන් මෙන්ම තම නුවණ මෙහෙයවා ද මෙය වැඩි දියුණු කර ගනී. එසේම එය සමාජ ආශ්‍රයෙන් මිතුරන්ගේ ඇසුරෙන් මෙන්ම වයස මුහුකුරා යාමෙන් ද වැඩි දියුණු වේ. තම පුඵල් වූ විෂයබද්ධ දැනුම පෙන්වා කඩඉම් විභාග ආදිය සමත් වී උගත් (Educated) කෙනෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වේ. උසස් වෘත්තිකයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම වන්නේ මෙකී විෂයබද්ධ ඥානය ප්‍රකට කිරීමෙන් ලබාගත් සහතික ආදියයි. එබැවින් වර්තමාන සමාජ රටාව අනුව සෑම පුද්ගලයෙකුටම දැනුම ජීවත්වීමේ ප්‍රධාන මෙවලම බවට පත්වී ඇත. බුද්ධිය (Intelligence)  යනු කෙනෙකු තුළ පවතින ඉහත කි දැනුම ලබා ගැනීමට හා ලබාගත් දැනුම ඵලදායක ලෙස භාවිත කිරීමට ඇති හැකියාව හෙවත් කුශලතාවයි. මෙය කරණීයමෙත්ත සූත්‍රය වැනි තැන්වල සක්කො යනුවෙන් යෙදී ඇති බව සක්කො උජූ ච සූජූ ච යනාදී ගාථාවෙන් ද පෙනේ. එසේම කුසලො යන පදයෙන් ද අදහස් කෙරෙන අයුරු කුසලො චස්ස මුදු අනතිමානී යනාදී ගාථාවෙන් ද පැහැදිලි වේ. එහි සක්කො යන්නෙන් හැකියාව ඇති කෙනෙක් යන්න ද කුසලො යන්නෙන් කුශලතා ඇත්තෙක් යන්න ද කියැවේ. කුමක් සඳහා වන හැකියාව හෙවත් කුශලතාව ද යත් යමක් තේරුම් බේරුම් කොට ගෙන එය ඵලදායක ලෙස ක්‍රියාවට නැගීම සඳහා වන හැකියාව හෙවත් කුශලතාව යි. නූතන බටහිර මනෝවිද්‍යාවෙහි මෙම හැකියාව කුශලතා (Skills) යටතේ විස්තර කෙරෙන බව අපි දනිමු. එහෙත් නූතන මානෝ විද්‍යාවට වර්ෂ සිය දහස් ගණනකට පෙර අප සතුව තිබිය යුතු මෙකී බුද්ධිය පිළිබඳව බුදුදහමෙහි පැහැදිලි නිර්දේශයක් දී ඇත. බුදුදහමට අනුව කෙනෙකුගේ බුද්ධිය අර්ථවත් වන්නේ එයට හදවත ආශ්‍රයෙන් පැන නගින මෘදු මොළොක් මනෝභාවයන් සමඟ ඒකාබද්ධ විය හැකි නම් පමණකි. කෙනෙකුට ඔහුගේ හදවතෙන් පැන නගින දයාව, කරුණාව, අනුකම්පාව, හිතෛෂී බව, උපේක්ෂාශීලී බව යොදා ගනිමින් දැනුම භාවිත කළ හැකි නම් එය අර්ථවත් බුද්ධියක් බව කිව යුතු ය. ගැඹුරු අරුතකින් විමසා බලන විට විශ්වයේ ක්‍රියාකාරිත්වය වූකලී හුදු ගනුදෙනුවකි. පොළොව තුළ ගස් වැල් ආදිය මැනවින් ඇත්නම් අහසින් පොළොවට වැසි වැටේ. පොළොව කාන්තාරයක් වූ විට වැසි නොවැටේ. එසේම අහසින් වැසි දිය පොළොවට පතිත වේ නම් පොළොවෙහි ගහ කොළ වැඩී වැව් ගංගා පිරී යාමෙන් අහසේ වැසි වළාකුළු ලෙසින් පැවතිය හැකි ය. මෙලෙසින් අහස හා පොළොව අතර ඇත්තේ ද හුදු ගනුදෙනුවකි. ගුරුවරයා හා ශිෂ්‍යයා ද, දෙමාපියන් හා දරුවන් අතර ද, පැවිද්දා සහ දායකයා අතර ද, ස්වාමියා හා කම්කරුවා අතර ද යනාදී වශයෙන් සමාජ සංස්ථාවේ සකලවිධ සාමාජිකයන් අතර පවතින්නේ මෙම න්‍යායම වේ. මේ නිසා මෙකී ගනුදෙනුව නිසි පරිදි කළමනාකරණය කිරීමේ ඥානය බුද්ධිය වේ. එය නිසි පරිදි සිදු කිරීමට අපොහොසත්වීම යනු බුද්ධියේ දුර්වලත්වයකි. මෙම ව්‍යවහාරික බුද්ධිය බෞද්ධ මූලාශ්‍රයන්හි නම්කොට ඇත්තේ වොහාරිකපඤ්ඤා යනුවෙනි. එහෙයින් ඔබ පාසල, පන්සල, දහම් පාසල, විශ්වවිද්‍යාලය ආදී අධ්‍යාපන ආයතනයක දී ලබන යම් දැනුමක් වේ නම් එය ලබා ගන්නා ක්‍රමවේදය පිළිබඳව ද සවිඥානක විය යුතුය. එසේම දැනුම බුද්ධියක් බවට පරිවර්තනය කර ගැනීමට ද උත්සුක විය යුතු ය.

මිළින්දපඤ්හය නම් ග්‍රන්ථයේ බුද්ධිය මුහුකුරා යන කරුණු අටක් දැක්වේ. 1. වයස මුහුකුරා යාම 2. කීර්තිධර කෙනෙකු වීම 3. යම් යම් කරුණු සම්බන්ධයෙන් බුද්ධිමතුන්ගෙන් ප්‍රශ්න කිරීම 4. ආගමික ස්ථාන ආශ්‍රය කිරීම 5. නුවණින් මෙනෙහි කිරීම 6. සාකච්ඡා කිරීම 7. ස්නේහවන්තයන් ඇසුරු කිරීම 8. පතිරූපදේශ වාසය හෙවත් ජීවත්වීමට සුදුසු ප්‍රදේශයක ජීවත් වීම යනු ඒ අටයි. බුද්ධිය පෝෂණය කර ගැනීම යනු අධ්‍යාපනයෙන් පමණක් ලැබිය හැකි හුදු පෞද්ගලික කාරණයක් නොවේ. එය කරුණු රාශියක් එකතුවීමෙන් ලැබෙන ප්‍රතිලාභයකි. ඉහත දැක්වූ කරුණුවලින් පෙනෙනුයේ බුද්ධිය මුහුකුරා යාමට අවශ්‍ය ඇතැම් සංසිද්ධීන් ස්වභාවිකවම කෙනෙකුට ලැබෙන බවයි. එහෙත් ඇතැම් ඒවා නුවණ මෙහෙයවා සකසා ගතයුතු තත්වයන් ය. මීට අමතරව බුද්ධිය වැඩි දියුණු කර ගැනීම සඳහා ඉවහල් වන ආගමික සන්දර්භයක් පිළිබඳව ද මෙහි ලා සඳහන් වීම සැලකිය යුතු කරුණක් වේ. මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ගැඹුරුම විග්‍රහය දක්නට ලැබෙනුයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්හි ය. එය නම් සතිපට්ඨානයයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව බුද්ධියේ දියුණුම අවස්ථාව ප්‍රඥාව  (Wisdom) යනුවෙන් හැඳීන්වේ. භෞතික වස්තූන්ගේ සංයුතිය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන්ම දැනගැනීමේ මෙකී බුද්ධිය එහි හඳුන්වනු ලබනුයේ විදර්ශනා ප්‍රඥාව නමිනි. ඉහත සඳහන් කළ ගනුදෙනුව ගැඹුරු දාර්ශනික අරුතකින් මෙහිදු භාවිත කළ හැකිය. එම ගනුදෙනුව හේතුඵල න්‍යායක් වශයෙන් පටිච්ච සමුප්පාදය යටතේ ධර්මයේ විස්තර කෙරේ. මිටි යැයි යමක් ඇති විට උස යැයි දෙයක් සම්මත වේ, එසේම උස යැයි සම්මත යමක් ඇත්නම් මිටි යැයි දෙයක් සම්මත වේ. ඉපදීම ඇති විට සංස්කාර ඇතිවේ. සංස්කාර නැතිවිට ඉපදීම නැතිවේ යනාදී වශයෙනි. මෙලෙසින් ලෝකයේ ද්වයතාව ආශ්‍රිත ගනුදෙනුව තේරුම් ගත යුතුය. මෙම යථාර්ථය විනිවිද දැකිය හැකිනම් එය ප්‍රඥාවෙහි ලක්ෂණයකි.

කෙසේ වෙතත් මෙම ප්‍රඥාවේ එකිනෙක මට්ටම් පවතී. ලෞකික මිනිසුන් වශයෙන් අප තුළ පවතින ප්‍රඥාව වූකලී දැනුමේ එක්තරා දියුණු අවස්ථාවකි. එය ලෞකික ප්‍රඥාව නම්වේ. බුදුදහම අනුව තේරුම් ගතයුතු කරුණක් වන්නේ ප්‍රඥාව නම් වන එකී බුද්ධිමය තත්වයට මෘදු මොළොක් භාවමය තත්වයක් ආරෝපණය කර ගැනීමට හැකියාවක් නැත්නම් එම බුද්ධිය ඵල රහිත වන බවයි. මනෝවිද්‍යාවෙහි මෘදු කුශලතා (Soft skills)  යනුවෙන් විස්තර කරනුයේ ද එම කාරණයම වේ. අප ලබාගත් දැනුම සක්‍රිය ලෙස සමාජගත කරනුයේ කෙසේද යන අවබෝධය උගතා හෙවත් ඉගෙනීමෙන් ලද දැනුම් සම්භාරයක් ඇත්තා තුළ තිබිය යුතු ය. කථා කරන භාෂාව ප්‍රියශීලී ලෙස, ශිෂ්ට ලෙස හා ඵලදායක ලෙස සන්නිවේදනය කරනුයේ කෙසේද යන අවබෝධය  (Communication skill) එහිදී වැදගත්ම අංගයක් වේ. එසේම තමා ජීවත්වන සමාජය සමඟ සුහදතාව පවත්වා ගන්නේ කෙසේද යන විඥානය ඔහුට තිබිය යුතු ය. එය සමාජ කුශලතාවක් (Social skill) ලෙස සැලකේ. බුදුදහම අනුව හදවතක් නැති බුද්ධියෙන් ප්‍රයෝජනයක් නැත. සිය ගණනක් ජාතක කථාවලින් මෙය නිදසුන් සහිතව පෙන්වා දී ඇත. බුද්ධිය ආත්මාවබෝධය සඳහා යොදා ගත යුතුම වේ. නිදසුනක් ලෙස ඔබට තරහක් ඇති වුවහොත් මම ඉන්නේ තරහින්ය යන ආත්මාවබෝධය තමාට තිබිය යුතුය. ඉන් පසු මා මෙසේ සිටීම හරිද යනුවෙන් ධර්මානුකූලව සිතා ස්වයං පාලනයක් ඇති කරගත යුතුය. අත්තාධිපතෙය්‍ය, ධම්මාධිපතෙය්‍ය, ලොකාධිපතෙය්‍ය යනුවෙන් තමන් පිළිබඳ ස්වයං පාලනයක් ඇති කරගැනීමට ක්‍රම තුනක් ධර්මයෙහි පෙන්වා දී ඇත. එසේම අපගේ බුද්ධියෙන් ප්‍රයෝජනයක් වන්නේ අනෙක් අයගේ දුක් කරදරවලදී ඔහු සමඟ පෙනී සිටීමට හැකි භාවමය තත්වයක් අපට ඇත්නම් පමණකි. තවකෙනකුගේ දුකක් ඔහුට තනියම විඳ ගැනීමට හැරීම මානව ධර්මය නොවේ. ධර්මය නම් කුමක් ද? එය භූත දයාවය යනුවෙන් ඍෂි භාෂිතයක් ඇත. එබැවින් ඔබ උගත් ශිෂ්‍යයෙකු, ගුරුවරයෙකු හෝ සමාජ සංස්ථාවේ උගත් නිලධාරියෙකු හෝ විය හැකිය. කවරෙකු වුවත් ඔබ උගත් දෙය තමාගේ මෙන්ම අනුන්ගේ යහපත සඳහා සමාජගත කිරීමටත්, සමාජයේ සෙසු අයට අපි වැටිල හිටියොත් බෑ, අපි නැගිටිය යුතුය, එය කරන්නේ මෙසේ යැයි පෙන්වා දෙමින් උත්තේජනයක් ඇති කිරීමට සමත්විය යුතුය. බුද්ධියේ සැබෑ අරුත නම් එයයි. මෙසේ බුද්ධිය අවදි කොට ජීවිතය දෙස බලන පුද්ගලයාට තමා සහ ලෝකය පිළිබඳ යථාර්ථය විනිවිද දැකිය හැකිය. එය විදර්ශනා ප්‍රඥාවය. එය හුදු සියල්ලේ අභාවය, අශූභය, දුක, හරයක් නැති බව දකින ක්‍රමවේදයක්ම නොවේ. දුක හා සැප, ලැබීම හා හානිය, සැපත හා විපත යනාදියෙහි දුක් දොම්නස් වැළඳ ගනිමින් ජීවත් නොවීමේ ක්‍රමවේදයක් ද වේ. උසස් මිනිසෙකු ලෙස ජීවත්වීමට නම් මෙම ජීවන ප්‍රතිපදාව කවරෙකුට වුවත් තිබිය යුතුය.

ඥානයේ, බුද්ධියේ හා ප්‍රඥාවේ වෙනස පිළිබඳ අවබෝධය ඔබට වැදගත් වනු නො අනුමාන ය. බුද්ධිය සොයා යන ගමනේ දී කවර වයසක, කවර තත්වයක සිටින තැනැත්තෙකු වුවද සැලකෙනුයේ ශිෂ්‍යයෙකු වශයෙනි. ඔහු සතුව තිබිය යුතු ශ්‍රද්ධාව හෙවත් විශ්වාසයි. බුද්ධ දේශනාවේ මෙසේ සඳහන් වේ. “ශ්‍රද්ධාව ඇති තැනැත්තා (ගුරුවරයා වෙත) එළඹේ. එළඹෙන තැනැත්තා ආශ්‍රය කරයි. ආශ්‍රය කරන්නා ඇහුම් කන් දෙයි. ඇහුම්කන් දුන් තැනැත්තා ධර්මය අසයි. ධර්මය අසන්නා මතකයේ තබා ගනියි. මතකය ඇති තැනැත්තා අර්ථය පරීක්ෂා කොට බලයි. අර්ථය පරීක්ෂා කොට බලන්නාට ධර්මයෝ වහා වැටහෙති. වැටහුණු කල්හි කැමැත්ත ඇතිවේ.

හටගත් කැමැත්ත ඇති තැනැත්තාට උත්සාහය ඇතිවේ. උත්සාහය ඇති තැනැත්තා තුලනය කොට බලයි. තුලනය කොට සිත එකඟ කරයි. එකඟ කළ සිත් ඇත්තා පරම සත්‍යය අවබෝධ කරගනී. ප්‍රඥාවෙන් එය විනිවිද දකී.” මේ අනුව දැනුම බුද්ධියක් බවට පරිවර්තනය කොට එය ප්‍රඥාව දක්වා දියුණු කිරීමෙන් මනුෂ්‍යත්වයට අරුතක් ආරෝපණය කිරීමේ වැඩ පිළිවෙළ අඛණ්ඩ ක්‍රියාවලියක් බව තේරුම් ගත යුතුය. ඒ සඳහා මොළය මෙන්ම හදවත ද අවශ්‍ය වන බව කිසි විටෙකත් අමතක නොකළ යුතුය.