Print this Article


මාර්ග සත්‍යය: සත්‍යවාදී මහ දහම

මාර්ග සත්‍යය:

සත්‍යවාදී මහඟු දහම

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී ප්‍රථමයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව අවසන් වෙද්දී දහඅට කෝටියක් පිරිස් රහත් භාවයෙන් නිවන් සම්පත් ලැබූහ.

අසංඛ්‍යෙයක් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ගත්‍රයෙන් නිවන් සම්පත් දුටහ. ප්‍රථම මංගල ධර්ම දේශනාවෙන් අසංඛ්‍යෙයක් නිවන් සම්පත් ලැබීම, දහඅට කෝටියක් රහත් වීම විශේෂාංගයක්. සියලු බුදුවරයන් වහන්සේලා අත නොහැර කරන දේශනය දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව යි. එහි දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය පැහැදිලි කර තිබෙනවා. සූත්‍ර ගණනාවකින් චතුරාර්ය සත්‍යය දේශනා කර තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංසික ධර්ම දේශනාව හෙවත් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව සෑම දේශනාවක් අවසානයේ දී පවත්වනවා. නුවණ මුහුකුරා ගිය අයට චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පැහැදිලි කර දෙනවා. නුවණ මදි අයට දාන කතා, ශීල කතා, අනුපිළිවෙළ කතාව දේශනාවෙන් චතුරාර්ය සත්‍යය වදාළා. ඒ දේශනාවෙන් සූවිසි අසංඛ්‍යෙයක් නිවනට පත්වුණ බව තථාගත ධර්මයෙන් හෙළි දරව් කරනවා.

විශේෂ ධර්ම දේශනා විසි හතරක් තිබෙනවා. ඒ දේශනා සියල්ලෙන් එක දේශනාවකට අසංඛ්‍යෙය බැගින් නිවන් සම්පත් ලැබුවා. අසංඛ්‍යෙය විසි හතරක්. සූවිසි අසංඛ්‍යෙයක් නිවන් සම්පත් ලැබුවා. අනෙකුත් දේශනාවලින් පන්සියය, දාහ අසීමිතව නිවන් සම්පත් ලැබුවා. මාර්ග සත්‍යය බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ ගමන් ගත් මාර්ගයක්. එය ආර්ය මාර්ගය යි. එය සම්මා දිට්ඨි ආදී කරුණු අටකින් සමන්නාගත වෙනවා.

සම්මා දිට්ඨි යනු නිවැරැදි ප්‍රඥාවයි. කර්ම ඵල විශ්වාස කිරීම, සමථ භාවනා කිරීම , විදර්ශනා භාවනා කිරීම , මාර්ග ලැබීම, ඵල ලැබීම, නිර්වාණය ලැබීම ආදී අවස්ථාවන් සහ චතුරාර්ය සත්‍ය අවබෝධය ආදී කරුණු කිහිපය සම්මා දිට්ඨි නම් වෙයි. නුවණ මෙහෙයවා කරන කියන සිතන සෑම දෙයකම සම්මා දිට්ඨිය හෙවත් නිවැරැදි ප්‍රඥාව තිබෙනවා. ඒ නිසා කවුරුත් සම්මා දිට්ඨිය දියුණු කර ගැනීම සඳහාම උත්සාහයෙන් වැඩකටයුතු කළ යුතු යි. සම්මා සංකප්ප යනු නෛෂ්ක්‍රම්‍ය අදහස්, මෛත්‍රී භාවනා කිරීම , අවිහිංසාවාදී යන කරුණු තුන යි. මේ කරුණු තුන සම්මා සංකප්ප නම් වෙයි. එය අනිවාර්යයෙන් දියුණු කළ යුතුම යි.

සම්මා වාචා නිවැරැදි වචන වෙයි. බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, නපුරු වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, වාග් සංවරය යි. සම්මා වාචා යනු ඉතා පිරිසුදු වචන යි. මුදු මොළොක් වචන, ප්‍රිය මනාප වචන ආදිය යි. එවිට වැරැදි වචනයෙන් වෙන්ව සම්මා වාචා නිවැරැදි වචන විය යුතු යි.

සම්මා කම්මන්ත නිවැරැදි කර්මාන්ත කිරීම යි. සත්ත්ව ඝාතනයෙන් වැළකීම , සොරකමෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, යනුවෙන් ක්‍රම තුනක් අනුදැන වදාළා. ගව පාලනය, වෙළෙඳාම, කෘෂි කර්මාන්තය අනුදැන වදාළා. නිවැරැදි කර්මාන්ත ලෙස. පව් වැඩ වලින් තොරව, යහපතෙහි යෙදීම සම්මා කම්මන්ත යි.

සම්මා ආජීව යනු බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ ජීවිකාව, නිවැරැදි ජීවිකාව යි. ඒ අයුරින් ජීවත් වීම සම්මා ආජීව යි. වැරැදි ලෙස ධනය උපයන්නේ නැතිව, ධාර්මිකව යමක් සපයාගෙන ජීවත් වීම යි. සතුන් මරා මස් විකුණා ජීවත් වීම, සත්ත්ව වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම් කිරීම, වස විස වර්ග වෙළෙඳාම් කිරීම, වහල් වෙළෙඳාම් කිරීම වශයෙන් අධාර්මික කරුණු පහක් තිබෙනවා. එයින් වැළකී ධාර්මිකව ජීවත් වීම සම්මා ආජීව යි.

සම්මා වායාම නිවැරැදි උත්සාහය යි. කොයි කාට වුණත් තම ජීවන උපාය ඉදිරියට ගෙන යන්න සසුන් ගුණ දියුණුවට උත්සාහය අවශ්‍යය යි. එය සම්මා වායාම වෙයි. සෑම දෙයක් කෙරෙහිම අලස නොවී බලවත් උත්සාහයකින් කටයුතු කිරීම මෙයින් පෙන්නුම් කරයි. ඒවා දියුණු තියුණු කරගෙන ඉදිරියට යා යුතු වෙනවා. ඒ මඟින් තමන්ට විශාල දියුණුවක්, විශාල ශක්තියක්, විශාල බලයක් සකස්කරගන්න පුළුවන්කම තිබෙනවා. ශීල, සමාධි,ප්‍රඥා ගුණයන් හොඳින් දියුණු කරගන්න, සම්මා වායාම අත්‍යඅවශ්‍යය යි. දානමය පින්කමක්, ශීල සමාදාන, භාවනා ආදී පින්කමක් හොඳින් සිදු කරගන්න අවශ්‍යයම කරන දේ සම්මා වායාම යි

සම්මා සති යනු නිවැරැදි සිහිය යි. කරන කියන සිතන දේ සෑම දෙයක්ම සිහි කල්පනාවෙන් කිරීම යි. බුද්ධ ශාසනය අප්‍රමාදයට යටත් කළා. සිහි කල්පනාව යනු එය යි. දාන , ශීල, භාවනා ආදී පින්කම් සෑම දෙයක් ම නිවැරැදි සිහියෙන් කළොත් විශාල පිනක් ලැබෙනවා. බණ අසන සෑම කෙනෙකුම වාඩි වෙලා සිටියාට පිනක් ලැබෙන්නේ නැහැ. ඒ දේශනාවේ සිත පිහිටුවීමෙන් මහත් ඵල පිනක් ලැබෙනවා. සිහි නුවණ හොඳට යොදන්නට අවශ්‍යය යි. භාවනාවක් කරද්දී ඒ අරමුණ හොඳින් මෙනෙහි කළ යුතු යි. අරමුණ මනාකොට මෙනෙහි කිරීම සම්මා සති නම් වෙයි.

සම්මා සමාධි යනු නිවැරැදි චිත්ත සමාධිය යි. චිත්ත සමාධිය යනු සිතේ සමාධිය යි. කාමච්ඡන්ද ආදී නිීවරණයන් සංසිඳුවාගෙන පිරිසුදු සිතකින් වාසය කිරීම , එකම අරමුණක් දිගට මෙනෙහි කරගෙන යාම යි. සමාධි අවස්ථාවට සැමට එන්න අපහසු යි. නමුත්, සෑම සිතකම සම්මා සමාධිය, උත්පාදනය කරගන්න පුළුවන්. කරන කටයුතු කෙරෙහි බලවත් උත්සාහයකින් කටයුතු කරන්නා සේ චිත්ත සමාධිය ඇති කරගත යුතු යි.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යනුවෙන් සියවර, දහස්වර මෙනෙහි කරද්දී චිත්ත සමාධිය ලැබෙනවා. එය සම්මා සමාධි නම් වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි යනු ප්‍රඥා චෛතසිකය යි. සම්මා සංකප්ප යනු විතර්ක චෛතසිකය යි. සම්මා වාචා යනු ‘සම්මා වාචා විතර්ක චෛතසිකය’ යි. සම්මා කම්මන්ත යනු ‘සම්මා කම්මන්ත විතර්ක චෛතසිකය’ යි. සම්මා ආජීව යනු ‘සම්මා ආජීව විතර්ක චෛතසිකය’ යි. සම්මා වායාම යනු ‘වීර්යය චෛතසිකය’ යි. සම්මා සති යනු ‘සති චෛතසිකය’ යි. සම්මා සමාධි යනු ‘ඒකග්‍රතා චෛතසිකය’ යි. එවිට චෛතසික අටක් මේ මඟින් පෙන්නුම් කරනවා. මේ පැහැදිලි කරන්නේ නිවනට යන මඟ යි. එයට නිර්වාණ මාර්ගය , විශුද්ධි ම ාර්ගය, රාශියකින් උගන්වන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ද එයම යි. එයට බැසගෙන ශීල , සමාධි, ප්‍රඥා ගුණ ටික හොඳින් වඩා වර්ධනය කළ හැකි යි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙකට දෙන නම වන්නේ ශීලය යි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අංග තුන ශීලය වෙනවා. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග තුන සමාධි නම් වෙයි.

එවිට ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු ශීල, සමාධි, ප්‍රඥාව යි. එය යම් සිතක ඇත්නම් එතන බෝධි පාක්ෂික ධර්ම, කරණීය ධර්ම , මංගල ධර්ම , දස පාරමිතා, දියුණු කරගන්නට පුළුවන්කම තිබෙනවා. ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ඉන්ද්‍රියයන් හොඳින් වර්ධනය කළ යුතු යි. ඒ ඉන්ද්‍රියයන් හොඳින් වැඩ කරද්දී ආර්ය මාර්ගය ගමන් ගන්න පහසු යි. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ඒ තනතුරු වලට පත් වුණේ අපමණ වෙහෙසක් දරමිනි. කරදර , කම්කටොළු, බාධක, නින්දා, අපහාස මැඩගෙන ඉදිරියටම පැමිණ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් වුණා. නිවන් සම්පත් ලබා ගැනීම සඳහා ආර්ය මාර්ගය අනිවාර්යෙන් භාවිත කළ යුතු යි.

ශරීරයට අධික සැප (කාමසුඛල්ලිඛානුයෝගය), ශරීරයට අධික දුක් දීම (අත්තකිලමථානුයෝගය) ඉවත් කළ යුතු යි. මහ බෝසතාණන් වහන්සේ මේ ක්‍රම දෙකම අනුගමනයෙන් තේරුම් ගත්තේ එය වැරැදි බව යි. ඉන්පසුව මධ්‍යම ප්‍රතිපදාව සොයාගෙන ආනාපාන සති භාවනාව, පටිච්ච සමුප්පාදය මෙනෙහි කර, විදර්ශනා ඥාන ලබාගත් උන් වහන්සේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී , අර්හත් මාර්ග ඵල ලබා සර්වඥතා ඥානයෙන් ලොවුතුරා බුද්ධත්වයට පත් වුණා. එසේ ලොවුතුරා බුදුබව දක්වාම වැඩම කළේ මධ්‍යම ප්‍රතිපදාවෙන්.

නිවන් මාර්ගයට බැස ගත්තා යනු සිහි නුවණින් වැඩ කරන අයට පමණයි. බුද්ධ ශාසනය වැළඳගෙන වැඩ කළත් සිහි කල්පනාවෙන් තොරනම්, ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තොරනම්, ඒ අයට නිවන් මඟ යන්න බැහැ. කොතෙකුත් පින් දහම් කළත් නිවන් මඟ පැතුවොත් පමණයි ඒ මඟ යන්නේ. දෙව් ලොව පතා කරන පින්කම් දෙව්ලොවට යන මඟ යි. බඹ ලොව පතා කරන පින්කම් බඹ ලොවට යන මඟ යි.. එසේනම්, නිවන් මඟ යන්නෝ නිර්වාණ සම්පත්තිය ලැබේවා යනුවෙන් සිතාගෙන සිදු කරනු ලබන සියලුම පින්කම් මඟින් නිවන් මඟට බැස ගන්න. ආර්ය ආෂ්ටාංගික මාර්ගය යනු එය යි. මාර්ග සත්‍යය එයයි. එය සත්‍යයවාදී දෙයක් නිසා මාර්ග සත්‍යය යනුවෙන් ව්‍යවහාර කරනවා.

නිවන් මඟටම සරිලන ප්‍රතිපදා කිහිපයක් බුද්ධ ශාසනයේ තිබෙනවා. රතවිනීත ප්‍රතිපදාව තුවටක ප්‍රතිපදාව , මෝන්‍යෙය ප්‍රතිපදාව, ආර්ය වංශ ප්‍රතිපදාව, අපඤ්ඤක ප්‍රතිපදාව , ඡන්දෝපම ප්‍රතිපදාව, ආදියෙන් කියවෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. නිවන් සම්පත් ලැබීමේ අපේක්ෂාවෙන් ගමන් කරන නිසා මේවාට මධ්‍යම ප්‍රතිපදා නාමය දුන්නා. එයට සිහි නුවණ අත්‍යඅවශ්‍යය යි. එවිට මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කළ හැකියි. ඒ නිසා කවුරුත් සම්මා සම්බුද්ධ ශාසනය , හොඳට වටහාගෙන ශීලා දී ගුණ සම්පත් දියුණුවෙන් කටයුතු කළ යුතු ය ි