Print this Article


පිරිසිඳ දැකිය යුතු දුක්ඛ ආර්ය සත්‍යය

පිරිසිඳ දැකිය යුතු දුක්ඛ ආර්ය සත්‍යය

අපගේ භාග්‍යවතුන් වහන්සේ පරිපූර්ණ වශයෙන් ම චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ප්‍රථම ව වදාළ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී දුක නම් වූ ආර්ය සත්‍යය යනු කුමක්දැයි දේශනා කොට වදාළ සේක.

‘පින්වත් මහණෙනි, මෙය වනාහි දුක නම් වූ ආර්ය සත්‍යය යි. ඉපදීම ද දුකකි, ජරාවට පත්වීම ද දුකකි, රෝගපීඩා වැළ¼දීම දුකකි, මරණය ද දුකකි, අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තූන් සමඟ එක්වීම ද දුකකි, ප්‍රිය පුද්ගලයන් හා ප්‍රිය වස්තූන්ගෙන් වෙන්වීම ද දුකකි. කැමැති වන්නා වූ යම් දෙයක් ඇද්ද එය නො ලැබීම ද දුකකි. සංක්ෂේපයෙන් කීවොත් පංච උපාදානස්කන්ධයෝ ම දුකකි.

මෙසේ දුක යනු කුමක්දැයි වදාළ භාග්‍යවතුන් වහන්සේ මහා සතිපට්ඨාන සුත්‍රයේ ධම්මානුපස්සනාවේ දී තවදුරටත් එය විග්‍රහ කරමින් “පින්වත් මහණෙනි, ඉපදීම යනු කුමක් ද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝක තුළ යම් ඉපදීමක් වේ ද, හට ගැනීමක් වේ ද, මව්කුසක බැස ගැනීමක් වේ ද, ගර්භාෂයකින් තොරව හෝ ඉපදෙන්නට සිදුවීමක් වේ ද, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පඤ්ච උපාදානස්කන්ධයේ පහළවීමක් වේ ද, ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතනයන්ගේ ලැබීමක් වේ ද, “පින්වත් මහණෙනි, මේ වනාහි (සතර යෝනිවල) ඉපදීම යැයි කියනු ලැබේ.

ඒ වගේම සියලු බුදුරජාණන් වහන්සේලාට සම්බුද්ධත්වය පිණිස පාදක වූ කල්පනාවක් අභිසමය සංයුක්තයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මේ ලෝක සත්ත්වයා වනාහී ඒකාන්තයෙන් පීඩාවට පත් වී සිටී. උපදින්නේ වේ ද, ජරාජීර්ණත්වයට පත්වන්නේ වේ ද, මරණයට පත්වන්නේ ද, චුත වන්නේ ද , යළි උපදින්නේ ද, එසේ දුක් විඳීන නමුදු මේ ආකාර වූ ජරාජීර්ණව මරණයට පත්වීම නම් වූ දුක්ඛිත තත්ත්වයෙන් නිදහස්වීමක් ගැන කිසිසේත් නො දනී. මේ ජරා ජීර්ණව මරණයට පත්වීම නම් වූ දුකෙන් නිදහස් වීමක් වන්නේ කවදා ද? මෙසේ ඉපදෙන සත්ත්වයාගේ ඉරණම තුළ පවත්නා දුක පරම සත්‍යයක් ලෙස අවබෝධ කොට දුකින් නිදහස්වීමට දෙව් මිනිසුන් යොමු කරවීමේ චේතනාවෙන් බුදුරජාණන් වහන්සේලා ධර්මය දෙසූ සේක.

ජරා ජීර්ණත්වයට පත්වීම යනු කුමක්දැයි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ඒ ඒ සත්ත්වයන්ගේ, ඒ ඒ සත්ව වර්ගයා තුළ යම් ආකාරයක දිරායාමක් වේ ද, ජීර්ණත්වයට පත්වීමක් වේද, දත්, කෙස් ගැලවී යාම ආදියෙන් අඩුපාඩු ඇතිවීමක් වේ ද, ඇඟපත ගොරෝසු වීමක් වේ ද, ආයුෂ ගෙවීයාමක් වේ ද, ඇස්, කන්, ආදී ඉන්ද්‍රියයන් (තමාට අවනත නොවන පරිදි) මෝරා යාමක් වේ ද, මෙය වනාහි ජරා ජීර්ණත්වයට පත්වීම යයි කියනු ලැබේ.

එලෙසම මරණය පිළිබඳව ද වදාළ සේක. ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝකවලින් යම් චුතවීමක් වේ ද, චුතවන ස්වභාවයක් වේ ද, බි¼දී යාමක් වේ ද, අතුරුදහන් වීමක් වේ ද, ශරීරය අත්හැර දැමීමක් වේ ද, කලුරිය කිරීමක් වේ ද, ශරීරය අත්හැර දැමීමක් වේ ද, ජීවිතය නම් වූ ඉන්ද්‍රියේ සි¼දී යාමක් වේ ද, මෙය වනාහී මරණයට පත්වීම යයි කියනු ලැබේ.

දුක්ඛ ආර්ය සත්‍යයට අයත් පිරිසිඳ අවබෝධ කළයුතු අප්‍රිය පුද්ගලයින් සහ අප්‍රිය අරමුණු සමග එක්වන්නට සිදුවීමේ දුක්ඛිත තත්ත්වය ගැන භාග්‍යවතුන් වහන්සේ මෙලෙස වදාළ සේක. මෙකරුණෙහිලා යම් කෙනෙකුට අයහපත් වූ, විරූපි වූ, ප්‍රිය නො වූ, රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ පහස හෝ සිතට සිතෙන දේ යන මෙවැනි අරමුණු වෙයි ද, මෙවැනි පුද්ගලයෝ සිටිත් ද, එසේ විපත් සදන අරමුණු සහ පුද්ගලයන් සමඟ මුණ ගැසීමක් වේ ද, එකට හමුවීමක් වේ ද, එක්ව සිටින්නට සිදුවේ ද, එකට ජීවත්වන්නට සිදු වේ ද, “පින්වත් මහණෙනි, මේ වනාහි තමාහට කිසිසේත් ප්‍රිය නො වූ අරමුණු මෙන් ම, පුද්ගලයන් ද සමඟ එක්වන්නට සිදුවීමේ දුක්ඛිත තත්ත්වය යැයි කියනු ලැබේ”.

එලෙසම ප්‍රියමනාප පුද්ගලයන්ගෙන් හා අරමුණුවලින් වෙන්වීමේ දුක භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. යම් කෙනෙකුට මෙකරුණෙහිලා යහපත් වූ, සුන්දර වූ, ප්‍රියමනාප වූ, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හෝ සිතට සිතන දේ හෝ යන මෙවැනි අරමුණු වෙයි ද, මව හෝ පියා හෝ සොහොයුරා, සොහොයුරිය හෝ තමාට වැඩිමහල් වූ හෝ තමාට වඩා වයසින් අඩු වූ හෝ මිත්‍රයෝ හෝ හිතවතුන් හෝ ලේ නෑයෝ හෝ යම්කිසි මෙවැනි පුද්ගලයෝ සිටිත් ද, මෙවැනි අරමුණු හෝ පුද්ගලයන්ගේ යම් ආකාරයක වෙන්වීමක් වේ ද, වෙන්ව සිටින්නට සිදුවේ ද, දූ දරුවන්නට සිදුවේ ද, එක් නොවී ජීවත්වන්නට සිදුවේ ද, මේ වනාහි තමාට ඉතාම ප්‍රියමනාප වූ අරමුණු වලින් මෙන්ම පුද්ගලයන්ගෙන් ද වෙන් වෙන්නට සිදුවීමේ දුක්ඛිත තත්ත්වය යයි කියනු ලැබේ.

කැමැති දේ නො ලැබීමේ දුක භාග්‍යවතුන් වහන්සේ විවරණය කොට ඇත්තේ වඩාත් පුළුල් වූ අර්ථයෙනි. එනම්, ඉපදීම, ජරාජීර්ණවීම, රෝග පීඩාවන්ට ගොදුරුවීම, මරණයට පත්වීම, ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් උරුම කරගත් සත්ත්වයාට මේ දුක්ඛිත තත්ත්වයන් අප කරා නො පැමිණෙන්නේ නම් කො තරම් හොඳද කියා කැමැත්තක් ඇති වන්නේ ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදාකර ගන්නට නො හැක්කේ ම ය. මෙය කැමැති වන්නා වූ දෙය නො ලැබීමේ දුක ලෙස ශාස්තෘන් වහන්සේ වදාළ සේක. මෙහිදී පංච උපාදානස්කන්ධයෝ ම දුකක් යනු රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පහ ය.

භාග්‍යවතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දී දුක්ඛ ආර්යය සත්‍යය තවත් විස්තර විභාග කරමින් ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන පර්යායන්ගෙන් ද පිරිසිඳ අවබෝධ කළයුතු දුක විවරණය කළ සේක. “පින්වත් මහණෙනි, හදවත දුකෙන් වෙළා ගන්නා ශෝකය යනු කුමක් ද? විවිධාකාර විපත් අතර කවර හෝ විපතකින් පීඩා විඳීන තැනැත්තෙකුහට, විපත් අතර කවර හෝ ඉවසිය නොහැකි දුක් සහිත පීඩාවෙන් වේදනා විඳීන කෙනෙකුට, යම් ආකාරයක හදවත දුකෙන් වෙළාගන්නා ශෝකයක් වේ ද, ශෝකයෙන් තැවීමක් වේ ද, සිත දවාලන ශෝකයක් වේ ද, සිත හාත්පස වෙළා දවාලන ශෝකයක් වේ ද, මෙය වනාහී හදවත දුකෙන් වෙළා ගන්නා ශෝකය යැයි කියනු ලැබේ.

ඒ අයුරින් ශෝකයට පත් වී දුකෙන් කම්පිත වී නම්ගොත් කියමින් හඬා වැටීම පරිදේව දුක ලෙස වදාළේ ය. එසේම කායික දුක ගැන දේශනා කොට ඇත්තේ මෙසේ ය. කායිකව ඇතිවන දුක් යනු කුමක් ද? කායිකව හටගන්නා අමිහිරි ස්වභාවයක් වේ ද, කායිික ස්පර්ශයෙන් හටගත් ඉවසිය නොහැකි පීඩා, අමිහිරි ස්වභාවයෙන් යුතු විඳීම් වේ ද, මෙය වනාහී කායිකව ඇතිවන දුක යැයි කියනු ලැබේ.

ඉන්පසු උන් වහන්සේ වදාළේ මානසික දුක පිළිබඳව ය. “පින්වත් මහණෙනි, මානසිකව හටගන්නා යම් ආකාරයක නො ඉවසිය හැකි පීඩාවක් වේ ද, මානසික හටගන්නා අමිහිරි ස්වභාවයක් වේ ද, මානසික ස්පර්ශයෙන් යුතු දුක් තැවුල් විඳීමක් වේ ද, මෙය වනාහී මානසිකව හටගන්නා දුක් තැවුල් විඳීම යැයි කියනු ලැබේ.”

උපායාස දුක ලෙස වදාළේ විවිධාකාර විපත්, කරදර නිසා දුක් පීඩා විඳීන අයෙකු ඒ දුක ගැන සිත සිතා මහත් වෙහෙසකර බවකින් සුසුම් හෙළීම යි.

මෙසේ දුක්ඛාර්ය සත්‍ය විස්තර කළ භාග්‍යවතුවන් වහන්සේ “පින්වත් මහණෙනි, මෙය වනාහී පරම සත්‍යයක් වශයෙන් පවත්නා දුක්ඛිත තත්ත්වය යැයි වදාළ සේක.

එනිසා නවඅරහාදී ගුණයෙන් ද, දසබල ඤාණයෙන් ද, සිව් විශාරද ඤාණයෙන් ද, සමන්විත අපගේ ශාස්තෘන් වහන්සේ විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට වදාළ මේ ධර්මය ශාස්තෘ ගෞරවයෙන් යුතුව ඉගෙන, නුවණින් විමසමින් අවබෝධ කළයුතු වෙයි.