Print this Article


මා දුටු මහා නා හිමි බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි

මා දුටු මහා නා හිමි බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි

“ඉති අහමිධදානාදීවස, අප්පමත්තෝ, සතන මනු සරන්තෝ බෝධී සන්තේ හතීතේ පරහිත නිරතත්තෝ පාරමී පූරයීත්වා විජිය සකලමාරේ බුද්ධභාවං ලාභෙය්‍යං”

අග්ග මහා පණ්ඩිත අභිධජ මහාරට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත, බෝධිසත්ව ප්‍රාර්ථනා” නමැති පාලි පද්‍ය ග්‍රන්ථයෙහි අවසාන ගාථාවයි ඉහතින් දැක්වූයේ. උන්වහන්සේගේ මූලිකම අභිමතාර්ථය එම ගාථාව තුළින් ප්‍රකටය. බුද්ධත්වය ප්‍රාර්ථනා කරන උතුම් බෝසත් චරිතයක් එම ගාථාවෙන් පෙන්නුම් කරයි.

අතීතයෙහි සිටි බෝසතාණන් වහන්සේලා අනුගමනය කරමින් අන්‍ය සත්වයින්ගේ හිත සුව පිණිස මුළු දිවියම කැප කරමින් බුදුබව ලැබීම සඳහා අවශ්‍ය පාරමී ධර්මයන් ද පුරමින් ඒ සඳහා මග අවුරන සියලු මාරයන් පරාජයට පත්කොට බුදුබව ලබම්වා” යන්න මෙම ගාථාවෙහි අදහසයි. මෙය මහානායක මාහිමියන්ගේ උදාර උතුම් ප්‍රාර්ථනයයි.

උන්වහන්සේගේ මුළු ජීවිත කාලය පුරාම ඉටුකළ සියලු කාර්යයන් අන්‍යයන්ගේ සුඛ විහරණය ම අරමුණු කොටගෙන පැවතිනි.

තමන්ගේ සැපයට සතුටට වඩා අනුන්ගේ සුවයත්, අනුන්ගේ සතුටත් අගය කළ මහනාහිමි චරිතය අනුන් වෙනුවෙන් ම කැපකළ ඒ වෙනුවෙන් ම සිතූ, වචනයෙහි පරිසමාප්ත්‍යාර්යෙන්ම පරිත්‍යාගශීලි චරිතයකි.

දකුණු අතින් පිළිගත් දේ ඒ සමඟම වම් අතින් දීමටත්, වම් අතින් පිළිගත් දේ දකුණු අතින් දීමටත් එකතු කිරීමක්, එක්රැස් කිරීමක් ගැන නොසිතූ ඒ ගැන නුහුරු නුපුරුදු බෝසත් චරිතයකි. බුදුරදුහු තමන් වහන්සේ ළගින් ඇසුරු කළ සැරියුත් මුගලන් හා ආනන්ද වැනි හිිමිවරුන්ට තම චරිතයෙහි අප්‍රකට අවස්ථා පෙන්නුම් කළ අයුරින්ම අපේ මහානායක හාමුදුරුවෝ කුඩා කල සිට තමන් ගත කළ ජීවිතයෙහි දුක්ඛ දෝමනස්සයන් මෙන් ම සුඛ සෝමනස්සයන් ද නො වලහා අප වෙත කරුණාධ්‍යාසයෙන් ප්‍රකාශ කළහ .ඒ සියල්ල අපේ ජීවිතවලට මහඟු පාඩමක් කියා දී ඇත.

අධ්‍යාපන ක්‍රියාවලියේදී ආදර්ශය හා අනුකරණය පුළුල් බලපෑමක් ඇතිකරන ඉගෙනුම් ක්‍රමවේදයකි. මහනාහිමිපාණන් වහන්සේ විවේකී අවස්ථාවල තමන් තම ගුරු හිමියන් වෙතින් පත පොත ඉගෙනගත් ආකාරය අප වෙත කියා පෑවේ ගුරු බැතියෙන් පිනාගිය හදවතිනි. වෙසක් පොහොය දිනයත්, සිංහල අවුරුදු දිනයත් හැර අවුරුද්දේ අන් සියලු දිනවල ගුරු හිමියන් වෙතින් පතපොත ඉගෙන ගත් අයුරුත්, ඉගෙන ගත් දේ නිතිපතා ගුරු හිමියන්ට ඇසෙන සේ කටපාඩමින් කියූ අයුරුත් සිහිපත් කළහ.

සිදත් සඟරාව අපි මහනාහිමියන් වෙතින් ඉගෙන ගනිමු. මුළු සිදත් සඟරාවම කටපාඩම් කෙළෙමු. එහි එන වැකි පාලියට පරිවර්තනය කිරීමට අප ධෛර්යමත් කළහ. පරිවර්තනයෙහිදී සිදුවූ වැරැදි අඩුපාඩු පෙන්වා දුන්හ.

අන් සෑම දිනයකම අපට සිංහල, පාලි, සංස්කෘත , ඉංගී‍්‍රසි හා ගණිතය යන විෂයයන් මහත් ඕනෑ කමකට ඉගැන්වූහ. මහනාහිමි ගණිත විෂයයෙහි දක්ෂ ගුරුවරයෙකි. ගණිතය වැනි අමාරු විෂයයක් සුගමව අවබෝධ වන ආකාරයෙන් අපට ඉගැන්වූ අයුරු සිහිවන විට එය ආශ්චර්යයෙකැයි සිතේ. උන්වහන්සේ කුඩා කල ඉගෙනගත් ගණිත විෂයය ඥානය ඒ අයුරින්ම මතකයේ රඳා පැවැතිණි. උන්වහන්සේගේ සමාධිගත චින්තනයත්, නිර්මාණශීලි චින්තනයත් ගණිත විෂය කෙරෙහි අපගේ අවධානය යොමුකර ලීමට මහත් ශක්තියක් වන්නට ඇතැයි සිතිය හැකි ය.

මහනාහිමිපාණන් වහන්සේ පාසල් යන අවධියෙහි භූගෝල විද්‍යාව හදාරා ඇත. ලෝක සිතියම පිළිබඳ උන්වහන්සේගේ මතක ශක්තිය පුදුම සහගත ය. ලෝකයේ ඉතාම කුඩා අප්‍රසිද්ධ රටක් වුව ද ක්ෂණයකින් ලෝක සිතියම ඇඳ, එම කුඩා රට ලකුණු කර පෙන්වීමට තරම් තියුණු ස්මරණ ශක්තියක් උන්වහන්සේ සතුව පැවැතිණි.

ඩාවින්ගේ පරිණාමවාදය පිළිබඳ ලියැවී ඇති පොත් රාශියක් ම මහනාහිමිපාණන් විසින් කියවා තිබිණි. ඒ සෑම පොතකම අවසාන පිටුවෙහි පොත පිළිබඳ තම අදහසක් කෙටියෙන් සඳහන් කර ඇත.එය තම අත් අකුරෙන් ම ලියා ඇත.

සමහර විට මහනාහිමියන් මුණ ගැසී අපට මතු වී ඇති ධර්මගැටලු පිළිබඳව හෝ වෙනත් විෂයය කරුණක් පිළිබඳව හෝ විමසු විට ඒ ගැන විස්තර කර පුස්තකාලයෙහි අසවල් අල්මාරියෙහි අසවල් තට්ටුවේ තුන්වැනිව ඇති පොත අරන් බලන්න. එසේත් නැතිනම් ඒ තට්ටුවේ මැදහරියේ අසවල් පොත ඇත. එහි අසවල් පරිච්ඡේදය කියවන්න යැයි අපට උපදෙස් දෙති. පොත් පිළිබඳව උන්වහන්සේ තුළ පැවැති මතකය පුදුම එළවන සුළු ය.

මහනාහිමියන් ආදරය කළේ පොත් වලටය. ආශා කළේ පොත්වලට ය. පොත් අතරම වැඩසිටි උන්වහන්සේට පොතින් තොර ලොවක් නොවීය. ඕනෑම කලබලකාරි අවස්ථාවක පොත් කියවන්නටත් පොත් ලියන්නටත් හැකි මානසික තැන්පත් බවක් උන්වහන්සේ සතු ය. විහාරස්ථානවල බණට වඩිති. බණ පටන් ගන්නා තෙක් ඉතා කලබලකාරි ඝෝෂාකාරි පරිසරයක් එම ස්ථානවල එදා පැවතිනි. හේවිසි නාද, නැටුම් ගැයුම්, සල්පිල්, ශබ්ද විකාශන යන්ත්‍රවල ඝෝෂාව මේ සියල්ල මැද මහනාහිමි සමාධිගතව පොත් කියවති. ලිපි ලේඛන ලියති.

ලෝකයාගෙන් මොන තරම් ගෞරව සම්මාන ලැබුව ද අනතිමානීව තම ජීවිතය ගත කළහ. තමාට වැඩිමහල් ඕනෑම භික්ෂුවකට ගෞරව කිරීමට, පුද සැලකිලි දැක්වීමට පසුබට නොවූහ. කුඩා සාමණේර නමක් සමඟ වුවද පි‍්‍රයශීලි වදනින් සංග්‍රහ කරමින් සතුටු සාමීචි කථායෙහි යෙදුනහ. උගත්කම, තත්ත්වය ,කීර්තිය ගැන සිතා හිස උදුම්මා නොගත්හ. කැපී පෙනෙන්නට අන් අය අභිබවා ඉදිරියට යෑමට කිසිවිටෙකත් ඉදිරිපත් නොවූහ. කීර්තිය, නම්බුව පසුපස නොගියහ. කීර්තිය හා ගෞරවය තමන් පසුපස පැමිණියේ ය. තමා වෙත පිරිනමන ලද කිසිම ගෞරව උපාධියකට උන්වහන්සේ කැමැති නොවූහ. ඒවා එම ආයතනවලට ගෞරවයක් වශයෙන්ම පිළිගත් හ.

කිසිම අධ්‍යාපනික සහතිකයක් හෝ උපාධියක් නොමැති වුවද විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙහි (වර්තමානයේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්ය , පීඨාධිපති, යන පදවි හා අවසානයේ උපකුලපති පදවිය දැරීමටද උන්වහන්සේට අවස්ථාව උදාවිය.

මෙරට බොහෝ විශ්ව විද්‍යාලයන්ගෙන් මුන්වහන්සේ වෙත ගෞරව සම්මාන උපාධි පිරිනමා ඇත. විශේෂයෙන් බුරුමය අග්ගමහා පණ්ඩිත උපාධියෙන් ද, කිසිම විදේශීය භික්ෂුවකට මෙතෙක් පිරිනමා නැති. “අභිධජ මහා රට්ඨගුරු’ නමැති විශිෂ්ට ගරු සම්මානයෙන් ද අප නාහිමිපාණන් වහන්සේට පූජෝපහාර දක්වා ඇත. විශේෂයෙන් යුරෝපීය බුරුම තානාපතිතුමා මහනාහිමි හමුවීමට පැමිණියේය. තුන්වැනි වතාවෙහි බලවත් අකැමැත්තෙන් එයට අනුමැතිය දුන්හ. තනතුරු තාන්න මාන්න පසුපස හඹායන ලෝකයාට මහඟු පාඩමක් මෙමගින් කියාදුන්හ.

මහනාහිමියන් කලින් කොළඹ ආනන්ද විද්‍යාලයෙහි දී පුරුදු පුහුණු කර තිබූ එහෙත් පසුව අත්හැර දැමූ “හිප්නොටිසම්’ පිළිබඳව නැවැතත් අවධානය යොමු කළහ.

සමහර අයගේ සාමාන්‍ය රෝග සුවපත් කිරීමටත්, සමහර ළමයින්ගේ දුම්බීම වැනි අහිතකර චර්යා ඉවත්කර ලීමටත් ස්මරණ ශක්තිය අඩු ළමයින්ට එය වර්ධනය කර ගැනීමටත් තමා පුරුදු පුහුණු කර ඇති ‘හිප්නොටිසම් ශිල්පය යොදාගත් අවස්ථා අප දැක ඇත. මෝහනයට පත්කරන ලද අය වශීභාවයට පත්ව මහානාහිමියන් කියූ දේ කළ අයුරු අපගේ මතකයට නැගේ. මේ සියල්ල අනුන්ගේ යහපත වෙනුවෙන්ම ඉටු කළහ.

තමන් පැවිදි කළ ශිෂ්‍යයන් වෙත ඉතාම ආදරයෙන් හා සෙනෙහසකින් කටයුතු කළහ. තමන් ඇසුරෙහි සිටි අන්‍ය ශිෂ්‍යයන් වෙතද ඒ හා සමානව සෙනෙහසකින් කටයුතු කිරීම සුවිශේෂී ගුණාංගයකි. ලෙඩක්, දුකක්, කරදරයක් සිදුවු සෑම අවස්ථාවකම දහසක් වැඩකටයුතු මධ්‍යයේ වුවද ඕනෑ එපාකම් හා අවශ්‍යතා හඳුනාගනිමින් කරුණාවෙන් හා පීතෘ සෙනෙහසකින් කටයුතු කළහ. විශේෂයෙන් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සම්පාදනය කළ අතර ඉගෙනීම් කටයුතු නිසිපරිදි ඉටුවන්නේදැයි නිරතුරුව අවධානයෙන් සිටියහ.

කවදාවත් කිසිම දෙයක් කිසිම කෙනෙකුගෙන් නො ඉල්ලූහ. ලද දෙයින් සතුටු වූහ. පුද්ගලයන්, දායකයන් වර්ණනා නොකළහ. කිවයුත්ත නො සඟවා ප්‍රකාශ කළහ. මිනිසුන් වර්ණනා කර ලාභ බලාපොරොත්තු නොවූහ. වෙනත් අයට ඇති පහසුකම් ගැන කියා අසතුටට පත් නොවූහ. සුභර, අල්පේච්ඡ ජීවිතයක් ගත කළහ. අනුන් දෙස බලා ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක්, නොසතුටක් කවදාවත් ඇතිකර නොගත්හ. උදාර ශාක්‍යපුත්‍රීය භික්ෂු ජීවිතයක් උන්වහන්සේගේ චරිතය තුළින් නිරතුරුව අපි දුටිමු.

අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ කරන ලද කාර්යයන් අතර විශිෂ්ටම සේවාව අධ්‍යාපනයයි. තම ජන්ම භූමිය වූ බළන්ගොඩ ප්‍රදේශයට කරන ලද මහඟු උදාර පරිත්‍යාගයක් ලෙස බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල හඳුන්වා දෙන්නට පුළුවන. මහනාහිමියන්ටත්, උන්වහන්සේගේ ඤාතීන්ටත් අයත් ඉඩම් මේ පාසල් භූමිය සඳහා පරිත්‍යාග කරමින් මේ උදාර සේවාව කළේ බළන්ගොඩ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙනි. විශේෂයෙන් ඉංගී‍්‍රසි මාධ්‍ය අධ්‍යාපනික පහසුකම් සැලසීම සඳහා මෙම විදුහල ආරම්භ කරන ලදී. කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාලයන්හි ඉගැන්වීම් තුළින් ලත් අත්දැකීම් පදනම් කරගනිමින් තම ජන්ම භූමිය වූ බළන්ගොඩ ප්‍රදේශයටත් භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන් ශී‍්‍ර ධර්මානන්ද විද්‍යායතන පිරුවන අරඹා ගිහි පැවිදි දෙපක්ෂයටම ඤාණාලෝකය ලබා දීමට ගත් ප්‍රයත්නය පරාර්ථකාමී චරිතයක උදාර ලක්ෂණ පෙන්නුම් කිරීමකි.

ඉංගී‍්‍රසි හා සිංහල මාධ්‍ය තුළින් ලියන ලද ග්‍රන්ථ සංඛ්‍යාව සියය ඉක්මවා ඇත. පුවත්පත් සගරා ආදියෙහි පළ වී ඇති ලිපිලේඛන දහස් ගණනකි. ලියන ලද කෘති අතර ‘ශාක්‍යමුනීන්ද්‍රවාදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය “ හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වූ කෘතියකි. ඉංගී‍්‍රසි භාෂාවට ද පරිවර්තනය කර ඇති මෙම ග්‍රන්ථය අද බටහිර ලෝකයාගේ හස්තසාර කෘතියක් බවට පත්ව තිබීම අපට මහත් සතුටකි.

සීලයෙන් ,ගුණයෙන්, ප්‍රඥාවෙන් , ධර්ම ඤාණයෙන් සෝභමානවත් වූ මෙම චරිතාපදානය පුණ්‍ය තේජසින් නිරතුරුව බැබළිණි. අපවත් වී වර්ෂ විස්සක් ගතවන මේ අවස්ථාවේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළ අයුරින්ම උතුම් බුද්ධත්වයට පත්වේවා යනු අපගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි.