Print this Article


සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ...

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ...

කිංතෙ ජටාය දුම්මේධ
කිංතෙ අජින සාටියා
සබ්බංතරං තෙ ගහනං
බාහිරං පරිමජ්ජති

බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කොට වදාළේ දුශ්ශීල, අවිචාරවත් ක්‍රියාවන් හි යෙදෙමින්, ආගමික ජීවිත ගත කරනවා යැයි පෙන්වමින් නිල ඇඳුම්, එසේත් නැතිනම්, ශ්‍රමණ ඇඳුම් පොරවාගෙන, ජටා දරාගෙන අයහපතෙහි හැසිරෙන පුද්ගලයන් මුල් කරගෙන ය.

“ඔබලාගේ අභ්‍යන්තරය දුඟඳ හමනවා නම්, කෙලෙස් භරිත නම්, සිතින්, වචනයෙන්, ගතින් දුසිරිතෙහි යෙදෙනවා නම් ඇඳුමෙන් ඇති ඵලය කුමක් ද?” යි උන්වහන්සේ දේශනා කළහ.

වත්මන් බෞද්ධ සමාජයට මෙය වැදගත් ධර්ම පාඨයකි. බොහෝ අය මෙහි අදහස යොමු කරන්නේ බෞද්ධ නොවන අන්‍ය ආගමික පිරිස් වෙතට ය. එහෙත්, එය වැරැදි ය. එය යොමු කරගත යුතු බෞද්ධයින් වන අප වෙතමය. සිවුරු පොරවාගෙන, භික්ෂූන් වහන්සේ වශයෙන් පෙනී සිටිමින් ශාසන විරෝධී ක්‍රියාවන්හි නිරතවන, දුශ්චරිතයෙහි යෙදෙන ඇතැම් ශ්‍රමණ ප්‍රතිරූපක පුද්ගලයන් ගැන ධර්මානුකූලව සිතන්නට මේ ගාථා ධර්මයෙන් අපට ලැබෙන්නේ මහත් පිටුවහලකි. මේ අනුව අප තේරුම් ගත යුතු දෙයනම් ගරු කළ යුතු වන්නේ බාහිරින් පොරවාගත් නිල ඇඳුමට නොවන බවයි. එය දරාගෙන සිටින පුද්ගලයන්ගේ ගුණ යහපත්කමට බවයි. ඇතැම් බෞද්ධයන්ගේ පැත්තෙන් ගත්විට බරපතළ වැරැදි, මිථ්‍යා දෘෂ්ටික අදහස් තිබේ. ‘සිවුරට ගරු කළ යුතුය’ යන්න එක් අදහසකි. එය සපුරාම වැරැදි, අධාර්මික පිළිගැනීමකි. ඇතැම්විට මෙම අදහසට ඔබ එකඟ නොවීමට පුළුවන. ගැඹුරින් කල්පනා කළේ නම්, අපට මුදල් තිබේ නම් ඕනෑ තරම් සිවුරු වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකි වේ. විනයානුකූල සේ පෙනෙන සිවුරු ද ඕනෑතරම් ය. ඒවා මිලයට ගෙන පොරවාගත් පමණින් ගරු බුහුමනට සුදුස්සෙක් වන්නේ නැත.

යම් කිසි සත්වයෙකුට මෙවන් රෙදි කඩක් පෙරවූයේ නම් ඒ සතාට කිසිවෙක් ගරු කරන්නේ නැත. වඳින්නේ නැත. එබඳු අවස්ථාවන්හි සිදු කරන්නේ කහරෙදිකඩ වහාම ඉවත් කිරීම ය. සම්බුද්ධ ශාසනයේ පිරිසුදු පැවැත්ම උදෙසා, සිල්වතුන්, ගුණවතුන් සේ අප ඉදිරියෙහි පෙනී සිටින ඇතැම් ප්‍රයෝගකාරී පුද්ගලයන් සම්බන්ධයෙන් අප කළයුතු වන්නේ ද එයයි. ගරු බුහුමන් කිරීමට පෙර මොහු කිනම් ආකාරයේ පුද්ගලයෙක් ද යන්න සොයා බැලිය යුතු ය.

‘පටිසේවෙන ඛො මහා රාජ
පුග්ගලො වේදිතබ්බො’

එය බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. මේ නිසා සිවුරු පොරවාගත් පමණින්, පන්සල්වල සිටි පමණින් භික්ෂූන් වහන්සේ නමක් සේ සලකා ගරු සැලකිලි දැක්වීම බරපතළ පරිහානියකට හේතුවක් වී තිබේ. ඒ ඇතැම් ශාසන විරෝධී රැවටිලිකාර පුද්ගලයින්ගේ හැසිරීම් නිසා ය. නියම භික්ෂූන් වහන්සේ කවුද යන්න තේරුම් ගෙන නොසිටීමේ ප්‍රතිඵලය වශයෙන් දායක පින්වතුන්ගේ සිව්පසය අයථා ලෙස, අධාර්මික ලෙස පරිභෝග කරන පිරිසක් ශාසනය තුළ පහළව තිබේ. සොර සිතැති, වංචාකාරී, මනුෂ්‍යඝාතක, සුරාසොඬ දූෂිත ඇතැම් පුද්ගලයන් පැවිද්දන් ලෙස පෙනී සිටිමින්, මහ ජනතාව රවටමින් ශාසනය විනාශ කිරීමේ වැඩ පිළිවෙලක් සිදුකරගෙන යන බව පැහැදිලි ය. මේ තත්ත්වයට වහ වහා පිළියම් යෙදිය යුතුව තිබේ. එසේ නොවුණහොත් ශාසනය පිළිබඳ වැරැදි මත සමාජ ගතවීම වැළැක්විය නොහැකි ය.

ඒ සඳහා බලධාරීන් ලෙස අංශ දෙකක් ක්‍රියාත්මක විය යුතු වේ. එහිදී භික්ෂු නිකාය තුළ අශාසනිකව කටයුතු කරන ශාසන විරෝධීන් පිළිබඳ දැඩි තීරණ ගැනීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය ය. සංඝාධිකරණ නමින් නිලතල ලබා සිටියද කිසිදු භික්ෂූන් වහන්සේ නමකට ඒ සඳහා බලයක් ඇත්තේ නැත. ශාසනයේ පිරිසුදු බව වෙනුවෙන් ක්‍රියාකාරී වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍ය ය.

ඊළඟ බලධාරීන් වන්නේ මහජනතාව සහ රජයයි. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ වගකීමක් වේ. බුද්ධකාලීන භාරතයේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි කලහකාරී භික්ෂු පාර්ශව දෙකක් අතර ඇති වූ ගැටුම වළකන්නට හැකිවුණේ එම විහාරස්ථානයේ දායක දායිකා පිරිසටයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ගත් උත්සාහයද සාර්ථක වූ බවක් පෙනුණේ නැත. ඒ ප්‍රශ්නය විසඳුයේ වියත් මහජනතාව ය. අදටත් මේ තත්ත්වය පොදු ය.

මීළඟ බලවත් වගකීම පැවරෙන්නේ රජයට ය. බුද්ධාගම ආරක්ෂා කිරීමට අතීතයේ සිට අද දක්වා ම රාජ්‍ය පාලකයෝ බැඳී සිටිති. මේ අවස්ථාවේ වගකීම වන්නේ භික්ෂු පරිපාලනයට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබාදීමය. ඒ පිළිබඳ ආදර්ශය අතීත හෙළ රාජ සමයේ මැනවින් පෙනෙන්නට තිබුණි. එය සිදුවූයේ මෙලෙස ය. සංඝ සභා මඟින්, භික්ෂු නායකත්වය මඟින් භික්ෂූන් වහන්සේලා තීන්දු තීරණ ගත්හ. ඒවා රජය මඟින් ක්‍රියාත්මක කරනු ලැබූහ. ඒ අනුව රාජ්‍ය බලය යොදවා ශාසන විලෝපිකයින් සසුනෙන් නෙරපනු ලැබූහ. ථෙරවාද බුදු දහම සියවස් ගණනක් රැකුණේ ඒ විදියට ය.

එහෙත් ටිකෙන් ටික, විවිධ දේශපාලන පරිවර්තනයන් සමඟ සංඝ සංවිධානත්, රජයත් අතර සම්බන්ධය ගිලිහී ගියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස සංඝ පරිපාලනයට අදාළ අධිකාරී බලය අහිමි විය. මේ පිළිබඳව දැඩි අවධානය යොමු විය යුතු කාලය එළඹ තිබේ. භික්ෂු පරිපාලනයට, ධර්මානුකූලව රාජ්‍ය බලය ලබාදීම කළ යුතු වේ. මෙවන් යෝජනාවක් ඉතා ප්‍රසිද්ධියේ දහස් ගණනක් ගිහි පැවිදි පිරිස ඉදිරියේ ඉදිරිපත් කෙරුණු අවස්ථාවක් මතක ය. ඒ 1981 ජූලි මස 10 දා ය. අනුරාධපුර මල්වතු ඔය උදකුක්ඛේප සීමා මාලකයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා උත්සව අවස්ථාව ය. එහිදී අතිපූජ්‍ය හේන්පිට ගෙදර ඤාණසීහ, අති පූජ්‍ය පොත්තේවෙල පඤ්ඤාසාර, අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද යන ස්වාමීන් වහන්සේලා රජයට දන්වා සිටියේ සංඝාධිකරණයට රාජ්‍ය බලය ලබා දෙන ලෙස ය.

එහි දී උන්වහන්සේලා මෙය පැහැදිලිව ඉදිරිපත් කළහ. එය අලුත් ඉල්ලීමක් නොවේ. ශාසනය සතුව තිබූ පැරැණි අයිතියයි. ඒ පැරැණි අයිතියට රජු නීතිමය බලය යෙදුවේ ය. නායක භික්ෂූන් වහන්සේලා තීන්දු තීරණ ගත්හ. රජු විසින් ඒවා ක්‍රියාත්මක කරනු ලැබීය. විනය විරෝධී, ධර්ම විරෝධී භික්ෂූ ප්‍රතිරූපකයන් සසුනින් නෙරපා හැරී ය. භික්ෂු වේශයෙන් පෙනී සිටින ශ්‍රමණ ප්‍රතිරූපකයන් ශාසනයෙන් පිටමං කිරීම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කාලීන අවශ්‍යතාවකි.

මෙම ලිපිය සංවාදයට විවෘත ය. ධර්මය විකෘති කරමින් අත්තනෝමතික අදහස් පළ කිරීම, රහතුන් ලෙස පෙනී සිටීම විනය විරෝධී ය. ශාසන විරෝධීය. එය සම්බුද්ධ ශාසනයේ පරිහානියට හේතු වන්නේ ය. අධර්මය සමාජ ගත කරන්නේ ය. මේ පිළිබඳ මතවාදයක්, සංවාදයක් ඇතිවීම හා නිවැරැදි මාවත බෞද්ධ සමාජය තුළ ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය ය. ඒ සඳහා අදහස් ඉදිරිපත් කිරීමට ධර්මධර, විනයධර, බහුශ්‍රැත භික්ෂූන් වහන්සේට බුදුසරණ ඉඩකඩ වෙන්වේ.