Print this Article


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වැනි උපසම්පදා විනය කර්මය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වැනි උපසම්පදා විනය කර්මය

සමාරම්භක මහෝත්සවය 19 වනදා අම්පාරේ දී

උපසම්පදාව සම්බුදු සසුනේ ජීවයයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යනු මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨ භික්ෂු වංශයකි. අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි මහා ස්වාමින්ද්‍රවර ප්‍රමුඛ නාහිමිපාණන් වහන්සේලා 1864 ගාල්ලේ දී සිදුකරන ලද ප්‍රථම උපසම්පදා විනය කර්මයෙන් මෙම භික්ෂු වංශය පිහිටුවන ලද්දේ සුපිරිසුදු උපසම්පදා ශීලය ආරක්ෂා කරන භික්ෂු පරපුරක් බෞද්ධ ලෝකයාට ප්‍රදානය කිරීමේ පවිත්‍ර චේතනාවෙනි.

සම්බුද්ධ ශාසනයේ පැවැත්මට හා බැබළීමට භික්ෂුවගෙන් සිදුවන මෙහෙය විශිෂ්ටය. භික්ෂුවගේ භික්ෂූත්වය සුරක්ෂිත වන්නේ උපසම්පදාව සුරක්ෂිත වූ තරමටයි. උපසම්පදාව සුරක්ෂිත නොවුනහොත් සුරක්ෂිත වන භික්ෂූත්වයක් නොමැත. සීමා සම්පත්තියෙන් තොරව උපසම්පත්තිය ද සුරක්ෂිත නොවේ. සම්බුද්ධ ශාසනය භික්ෂුව නිසාත්, භික්ෂූත්වය උපසම්පදාව නිසාත්, උපසම්පදාව සීමාව නිසාත් අන්‍යොන්‍ය වශයෙන් ඉමහත් සම්බන්ධයක් පවත්නා බව මෙයින් පෙනේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වැනි උපසම්පදා මහා විනය කර්මය මෙවර ඓතිහාසික දිගාමඩුල්ල පුරවරයේ අම්පාර බුද්ධංගල දහම් මැදුර කේන්ද්‍ර කර ගෙන පැවැත්වේ. අප නිකායේ භික්ෂු පිරිස ඒකරාශි කොටගෙන දෙවර්ෂයකට වරක් සිදුකරනු ලබන මෙම උපසම්පදා මහා විනය කර්මය සඳහා ස්ථවිර හා මහ තෙරුන් වහන්සේලාගේ කැපවීම ප්‍රශස්තයහ. පිරිවෙස් සමාදන්ව සිට වත්මනත් පුරා අබ්භාන විනය කර්මය සිදුකොට පාරිශුද්ධත්වයට පත්ව පුරා සතියකට අධික කාලයක් සිදුකරනු ලබන මෙම උතුම් ශාසනික කර්තව්‍යය සඳහා සම්බන්ධවීම මහත් සේ පැසසුම් කටයුතු සිද්ධියෙක්මය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වියත් සිල්වත් මහා යතිවරයන් වහන්සේලාගෙන් අනූනව සෝභාමත් නිකායකි’යි පොදුජන ප්‍රසාදයට පාත්‍රවීමට තරම් ධර්මධර විනයධර ශබ්ද ශාස්ත්‍රයන්හි නෛපූණ්‍යයට පත් කීර්තිමත් තෙරපාණන් වහන්සේලා රැසක්ම අප නිකායේ වැඩ විසූහ. උන් වහන්සේලාගේ ශ්‍රීනාමයන් බෞද්ධ ඉතිහාසයේ සදානුස්මරණීයව පවතී. එබඳු චරිත පරමාදර්ශී කොට ගනිමින් සිල්වත් බවද සුරකිමින් මහා වියතුන් බවට පත්ව අප නිකායට ආභරණයක් වන සේ නිකායටත් ත්‍රිපිටකධර්මයේ හා ශබ්ද ශාස්ත්‍රයේ චිරස්ථිතිය සඳහාත් කැපව කටයුතු කිරීමට අදිටන් කර ගැනීම නවක භික්ෂූන් වහන්සේලා සතු පරම වගකීමකි.

මෙවර පැවැත්වෙන 71 වැනි උපසම්පදා මහා විනය කර්මය සාර්ථක කර ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ශ්‍රීමත් ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍ය තුමන් හා කථානායකතුමන් ප්‍රධාන මැති ඇමතිවරුන්ටත් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායාරක්ෂක සභාවටත් උපසම්පදා උත්සව සංවිධායක කමිටුවටත් අම්පාර ප්‍රාදේශීක සංඝ සභාවටත් පොදු මහ ජනතාවටත් මාගේ පුණ්‍යානුමෝදනාව පිරිනැමේ. සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාය ලැබේවා!


සැමට සුබාශිර්වාද පිරිනැමේ

2018 වර්ෂයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන ජාතික උපසම්පදා මහා විනය කර්මය අම්පාරේ ඓතිහාසික බුද්ධංගල ආරණ්‍ය සේනාසනය හා දහම් මැදුර මහා විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන ගල්ඔය නදී උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කරනු ලැබේ.

මෙවර උපසම්පදා මහා විනය කර්මය සාර්ථක කර ගැනීමෙහිලා අවශ්‍ය මඟ පෙන්වීම් කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත විනය විශාරද නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, විශේෂයෙන් අම්පාර හා ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රාදේශීය සංඝ සභාවල ක්‍රියාකාරි සියලු මහා සංඝරත්නය, දිවයින ආවරණය වන පරිදි පිහිටුවා ඇති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභා කොට්ඨාශ 47 ක්‍රියාකාරි සියලු මහා සංඝරත්නය, මෙම සත්කාර්ය සාර්ථක කර ගැනීමට නන් අයුරින් උදව් උපකාර කළ දිගාමඩුලු පුරවරයේ ස්‍යාමෝපාලි මහා නිකායේ හා සමස්ත අමරපුර මහා සංඝ සභාවේ සියලු මහා සංඝරත්නය, මෙම කාර්යයෙහි ප්‍රධාන සංවිධායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දීඝවාපියේ සුසීම මහාස්ථවිර පාදයන් වහන්සේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිකායාරක්ෂක සභාවේ සභාපති කථානායක දේශබන්ධු කරු ජයසූරිය මැතිතුමා ඇතුලු නිකායාරක්ෂක සභාවේ සමස්ත නිලධාරි මණ්ඩලය, උපසම්පදා සංවිධාන කමිටුවේ සභාපති සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ඇතුළු එම නිලධාරි මණ්ඩලය, අම්පාර මහ දිසාපතිතුමා ඇතුලු සමස්ත රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලීසිය හා සිවිල් ආරක්ෂ බලකායේ සියලු නිලධාරීන්, ඓතිහාසික බුද්ධංගල ආරණ්‍ය සේනාසන හා දහම් මැදුර මහා විහාරයේ දායක පින්වතුන්, නන් අයුරින් උපකාර කළ දිවයිනේ හා විදේශයන්හි සියලු දායක පින්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සංවිධානවල සියලු පින්වතුන් ඇතුලු උපකාර කළ සැමදෙනාටත් මාගේ සුභාශිර්වාද පළ කර සිටිමි.

පර්යාප්ති හා ප්‍රතිපත්ති ශාසනයේ අභිවෘද්ධිය උදෙසා මෙම සත්කාර්ය ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශක්තිය හා ධෛර්ය ලැබේවා යි ඉත සිතින් ආශිර්වාද කරමි.


සහයෝගය ලබාදෙන සැමට ආශීර්වාද පළ කරමි

ජූලි මස 19 දින සිට 25 වැනි දින දක්වා අම්පාර දහම් මැදුර මධ්‍යස්ථානය කොට පැවැත්වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන උපසම්පදා විනය කර්මයට හා ජාතික උපසම්පදා මහෝත්සවයට නිකායේ විනය අංශය භාරව සිටින සඤ්ඤා ලේඛකාධිකාරීන් වහන්සේ වශයෙන් ආශීර්වාද කිරිමට ලැබීම අතිශය සතුටට කරුණකි.

400 කට ආසන්න උපසම්පදාපේක්ෂකයන් වහන්සේලා සංඛ්‍යාවක් මෙවරද උපසම්පදා භූමියට පත්කිරීමට නියමිතය. යෝග්‍යතාවලින් සපිරි උපසම්පදාපේක්ෂකවරුන් (වත්ථු සම්පත්තිය) විනයානුකූලව නිවැරැදිව ඤත්තිය හා කර්ම වාක්‍ය ඇස්සවීම (ඤාත්ති හා අනුසාවත සම්පත්ති) විනයානුකූලව සම්මත කළ සීමාව (අපේ නිකායට අනූන උදකුක්ඛේප සීමාව) (සීමා සම්පත්ති) වත්මානත් හා අණභාන යන විනයකම් සිදුකරගත් උපාධ්‍යාය හා කර්මවාගාචාර්ය හා ගණපූරක පාරිශුද්ධ භික්ෂූන් (පරි සම්පත්ති) යන උපසම්පදාවක් සම්පූර්ණවීමට අවශ්‍ය සාධක පංචකය බුද්ධ ප්‍රඥප්තිය අකුරකුදු නොඉක්මවා සම්පූර්ණ කර ගැනීම අපේ අරමුණයි. මෙවැනි පිරිසුදු උපසම්පදා විනයකර්මයකින් බිහිවන උපසම්පන්න භික්ෂුව බුද්ධ විනය ආරක්ෂා කරයි. බුද්ධ විනය රැකුනොත් බුද්ධ ශාසනය සුරැකේ.

දින 7 ක් තිස්සේ මහත් උත්සවාකාරයෙන් පැවැත්වෙන මෙම උත්තරීතර පුණ්‍යකර්මයට මහත් කැපවීමකින් සහයෝගය ආධාරෝපකාරය ලබාදෙන අම්පාර ප්‍රාදේශික සංඝසභාව, ප්‍රදේශයේ අන්‍ය නිකායික භික්ෂූන්, නිකායික ප්‍රාදේශික සංඝ සභා, අතිපූජ්‍ය මහානායක මා හිමි, නිකායේ මහා ලේඛකාධිකාරීන්වහන්සේ ඇතුළු නිකායාරක්ෂක සභාව, අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජය, සැදැහැවත් දායක දායිකාවන් හා කයින්, වචනයෙන් හා සිතින් සහයෝගය ලබාදෙන සැමට අපේ ආශිර්වාදය පළකරමු.


බෞද්ධ ජනතාවගේ චිත්ත ප්‍රසාදයට හේතුවන්නක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන ද්විවාර්ෂික උපසම්පදා මහෝත්සවය මෙවර අම්පාර, සදහම් මැදුර විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ගල්ඔය නදී උදකුක්ඛේප සීමාවේ දී සිදුකරන්නට යෙදීම ශාසන මාමක සමස්ත ශ්‍රී ලංකාවාසී බොදුනු ජනතාවගේ සිත්සතන් අමන්දානන්දයට පත්කරන මංගල කාර්යයක් වන්නේ ය. ශාසනික සම්ප්‍රදාය පිළිබඳව සැලකීමේ දී උපසම්පදාව යනු අධිශීල මාර්ගයට ප්‍රවේශ වීම ය. එහෙයින්ම එය නිර්වාණගාමී ප්‍රතිපදාවට යොමු වීමකි. එහෙයින් ලාංකේය බෞද්ධ ජනතාවගේ හිත සුව පිණිස අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ ද නිර්වාණ මාර්ගයට යොමුකරන්නා වූ ද උතුම් භික්ෂු පරපුරක පරිපූර්ණ ආගමනයක් ද ඒ තුළ අර්ථ ගැන්වෙයි. ඒ අනුව සැලකීමේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන ද්විවාර්ෂික උපසම්පදා මහෝත්සවය බොදුනු ජනතාවගේ චිත්තපී‍්‍රතියට හේතුවන උත්තම කාරණයකි.

ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන වංශ කතාවේ ස්වර්ණමය යුගයක් සනිටුහන් කරමින් 1863 වසරේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාරම්භය ද සිදු ව ඇත්තේ උපසම්පදා මහෝත්සවයක් සමඟ ය. ඒ දක්ෂිණ ලංකාවේ ඤෙය්‍යධම්ම මුනිවර සංඝරාජ මංගල සීමාව නම් උදකුක්ඛේප සීමාවේ දී සාමණේර භික්ෂූන් වහන්සේලා සිවු නමකට උපසම්පදාව ලබාදෙමිනි. ඒ අනුව සැලකීමේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායට තම කීර්තිමත් ඉතිහාසයේ අනුස්මරණය උදෙසා ද ඉවහල් වන වැදගත් අවස්ථාවක් ලෙස මේ උපසම්පදා මහෝත්සවය සැලකිය හැකි ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන ද්විවාර්ෂික උපසම්පදා මහෝත්සවයේ ප්‍රධානත්වය හොබවන අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ වෙත ද අනුනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු නායක මාහිමිපාණන් වහන්සේලා වෙත ද මාගේ නමස්කාරය පුදකරන අතර, මේ උතුම් කටයුත්තට දායක වන සියලු සුධීමතුන් වෙත සුබපතමි.


සම්බුදු සසුනේ වැදගත්ම විනය කර්මය ලෙස සැලකේ

බුද්ධ ශ්‍රාවක භික්ෂු දිවියේ උත්තරීතර අවස්ථාවක් වන උපසම්පදාව භික්ෂූත්වයේ ශ්‍රේෂ්ඨත්වය වෙත පැමිණීම අර්ථවත් කරයි. එය සම්බුදු සසුනේ වැදගත්ම විනය කර්මය ලෙස සැලකේ. උපසම්පත්තිය ලැබූ භික්ෂූන් වහන්සේලා වෙතින් ශාසනයේ දියුණුවටත්, සමස්ත සමාජයේ උන්නතියටත් ලැබෙන දායකත්වය අති මහත් ය.

බුදුන් වහන්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගය ද, පෙර සඟ සිරිත ද සුරකිනු වස් නිරන්තරයෙන් කැප වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ කාරක, පාලක සංඝ සභා විසින් උතුම් වූ උපසම්පදා පුණ්‍ය කර්මය 71 වෙනි වරටත් පවත්වනු ලැබීම සතුටට කරුණකි.

මෙවර අම්පාර සදහම් මැදුර විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ගල්ඔය නදී උදකුක්ඛේප සීමාවේ දී පැවැත්වෙන උපසම්පදා විනය කර්මය සහ පුණ්‍යෙීත්සවය සුපේශල, ශික්ෂාකාමී භික්ෂු පරපුරක් දැයට තිළිණ කරනු ඇත. මෙහිදී උපසම්පදාව ලබන භික්ෂූන් වහන්සේලා අධ්‍යාත්මිකව දියුණු වූ සදාචාරසම්පන්න දේශයක් ගොඩනැංවීමට කැප වී කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි මෙත් සිත් පෙරදැරිව සුභාශිංසන ගෙනෙමි.


ශාසනික අභිවෘද්ධියට හේතුවන්නක්

ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසන වංශ කථාවේ ප්‍රකටව පෙනෙන කරුණක් වනුයේ මිහිඳු මා හිමියන් බිහිකළ සංඝ සමාජය විසින් සිදුකරනු ලද්දාවූ අප්‍රමාණ කැප කිරීම් අප රට සම්බුදු සසුනේ ප්‍රගමණයට මූලික වූ සාධකය බවය. බැමිණිටියාසාය වැනි දුර්භාග්‍යයන්හි පණ සේ රකිමින් වළගම්බා රජ සමය දක්වා මුඛ පරම්පරාවෙන් ආරක්ෂා කළ ත්‍රිපිටක සද්ධර්මය උන්වහන්සේලා මාතලේ අළුවිහාරයට රැස්ව සිදු කළ සංගායනාවෙන් පසු ග්‍රන්ථාරූඪ කිරීමට පියවර ගැන්ම ත්‍රිපිටක ධර්මය අප රට අගනාම වස්තුව බවට පත්කිරීම පමණක් නොව ලොව පුරා නොකිලිටිව පැතිර යාමට හේතුවිය.

පරසතුරු උවදුරුවලින් වරින් වර හානියට පත් වුවද හෙළ බොදු සංස්කෘතිය අභින්නව රැකගත් සංඝරත්නය බෙලහීන වු අවධියක් වූයේ මහනුවර යුගයයි. අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමියන්ගේ පුරෝගාමි මෙහෙවරෙන් ස්‍යාමෝපාලි උපසම්පදාවෙන් පුනර්ජීවය ලද සඟ පරපුර අතු ඉති ලා මහා වෘක්ෂයක් සේ වැඩෙද්දී භික්ෂූන් වහන්සේ නිසි සසුන් පිළිවෙත් පුරමින් ආදර්ශමත් ජීවිතයක් ගත කළහ. බොහෝ නවකයන් සඟරජ හිමියන්ගේ ආදර්ශය හා අනුශාසකත්වයද අනුගමනය කළ බවත් ප්‍රකට වන්නට විය. ඇතැම් භික්ෂූන් ගණින් වහන්සේලා මෙන් ජීවත් වුයෙන් කෙනෙක් ඒ නොඉවසූහ. එය උන්වහන්සේලා වනගතව සිල්වත් ජීවිත ගත කිරීමෙහි පෙළඹවූ කරුණක් විය. මෙසේ ප්‍රතිපත්ති පිරූ උන්වහන්සේලාට පිරිසුදු මහණ උපසම්පදාවක අවශ්‍යතාව කෙමෙන් ඉස්මතුව පෙනෙන්නට විය. අඹගහපිටියේ ඤාණවිමලතිස්ස හිමියන් බුරුම රට වැඩම කොට ගෙනවුත් ක්‍රි.ව. 1803 දී අමරපුර නිකාය ආරම්භ කළ අතර, විටින් විට එසේ උපසම්පදාව ලැබ පැමිණි භික්ෂූන් වහන්සේලා වෙන් වෙන් කොටස් බවට පත්වීමෙන් එම නිකායෙහි ශාඛාවන් වැඩි වන්නට විය. අද උත්තරීතර නායක පදවියකින් එම නිකායන් ඒකඡත්‍ර කොට තිබේ.

පූජ්‍ය අඹගහවත්තේ සරණංකර නාහිමියන් බුරුම දේශයට වැඩම කොට එහිදී උපසම්පදාව ලැබ ධර්ම විනයද නිසි පරිදි හදාරා “ශාසන වංශ කවිධජ සිරි සද්ධම්මාචාරිය යති සංඝපති, ඉන්ද්‍රසභවරඤාණ සාමි” යන ගෞරව නාම සම්මුතියද ලැබ ලක්දිවට වැඩමවීමෙන් පැහැදිලි වන්නේ උන්වහන්සේගේ ධර්ම විනය ඤාණය හා අවශේෂ ගුණාංගයන් පිළිබඳ බුරුම රට රාමඤ්ඤ දේශයේ භික්ෂූන් වහන්සේ අතිශය ප්‍රසාදයට පත්ව සිටි බවය. පෙරලා දිවයිනට වැඩම කොට මෙරට පිරිසුදු මහණ උපසම්පදාව පිහිටුවීමේ කාර්ය ශාසනික පුනරුත්ථාපනය පිණිස ඉටු කිරීම උන්වහන්සේගේ පරමාධ්‍යාසය විය. එම අරමුණෙහිම පිහිටා ක්‍රියාකළ පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද , වරාපිටියේ සුමිත්ත යන මහා ස්වාමීන්වහන්සේලාද මූලිකත්වයෙහි තබා උසම්පදා කටයුතු ආරම්භ කළ අතර ආරණ්‍යවාසීව සිටි බොහෝ ස්වාමීන් වහන්සේලාද ඊට එක්වූහ. ‘රාමඤ්ඤ නිකාය” නමින් සංවිධානාත්මක භික්ෂු වංශයක් බිහිවූයේ මෙසේය.

1863 ජූලි මස 13 දින ගාල්ලේ මහමෝදර උදකුක්ඛේප සීමා මාලකයේදි සිදුකරන ලද ප්‍රථම උපසම්පදාවෙන් ආරම්භ වු “ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය’ ගත වූ වසර එකසිය පනහක් තුළ සිදු කොට ඇති ශාසනික මෙහෙවර විෂයානික්‍රාන්තය. දැනට නිකායේ උපසම්පදා විනය කර්මය දෙවසරකට වරක් බැගින් උත්සවාකාරයෙන් තෝරාගත් දිස්ත්‍රික් මූලස්ථානයක පැවැත්වීම සිරිතක් කොට පවතී. දිගාමඩුල්ලේ අති උත්සවාකාරයෙන් මෙවර පැවැත්වෙන මහා පුණ්‍ය කර්මය ශාසනික අභිවෘද්ධිය හා ජනතා ප්‍රසාදය දනවන්නා වූ ජාතික උළෙලක් වනු ඇත.


අමිල ශාසනික මෙහෙවරක්

වසර දෙදහස් පන්සීයයකට අධික කාලයක් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන අසූහාර දහසක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයේ චිර පැවැත්ම තීරණය වනුයේ සුපේෂල ශික්ෂාකාමි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපසිකා යන මේ සිව්වනක් පිරිසගේ දායකත්වයෙනි. එයිනුදු ධර්මධර, විනයධර භික්ෂු පරම්පරාවන්ගේ කැපවීම, දායකත්වය අතිමහත් ය. අතීත වර්තමාන, අනාගත යන තෛ‍්‍රකාලීන සම්බුදු සසුනේ ගලායෑමත්, ථේරවාදී සම්ප්‍රදායේ පෝෂණයත්, සුරක්ෂිතතාවයත් වෙනුවෙන් සිදුකරනු ලබන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන උපසම්පදා මහෝත්සවය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම සම්බන්ධයෙන් මම අතිශය සතුටට පත්වෙමි.

අම්පාර ගල්ඔය නදී උදකුක්ඛේප සීමාවේ දී සාමණේරයන් වහන්සේලා 400 නමක් පමණ අති උතුම් උපසම්පදා ශීලය ලැබීම බුද්ධශාසනයේ චිරපැවැත්ම වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් සිදුවන අමිල ශාසනික මෙහෙවරක් ලෙස පෙන්වාදිය හැකි ය.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ මාහැඟි පණිවුඩය ගෙන යාමටත් අර්ථයෙන්, ධර්මයෙන් ශාසනික මෙහෙවර ඉටුකිරීමටත්, අභිනවයෙන් උපසම්පත්තිය ලබන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සාමණේර ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට හැකි වේවායි හෘදයාංගවම ප්‍රාර්ථනය කරමි.