Print this Article


අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහර

අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහර

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන්කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස පවත්වනු ලබන ශ්‍රී දකුණු දළදා ඇසළ පෙරහර ජූලි 25, 26, 27 දිනයන්හි පැවැත්වීමට සෝමවතී රජමහා විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය හා වැඩබලන ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත. දේව පෙරහරත් මෙම දකුණු දළදා පෙරහරට සමගාමීව පැවැත්වේ.

මෙම ජූලි 19 වනදින සතිපිරිත් දේශනාව අරඹා 25 වන දින දොරකඩ අස්න අනුශාසනාව සහිත මහා සාංඝික දානයත්, 26 වන දින දළදා පෙරහර චෛත්‍ය රාජයා වටා පැවැත්වීමටත්, 27 දින මහ මළුව වටා පෙරහර ගමන්කොට දළදා වහන්සේට පුද පූජා පවත්වමින් තුනුරුවන්ගේ හා දළදා වහන්සේගේ මෙන්ම දෙවියන්ගේ ද ආශීර්වාදය අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු සකල ජනතාවටම ලබාදීමට එකී දිනයන්හි පස්වරු 05.00 ට එම පෙරහර පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, බුද්ධශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මැතිතුමා, හිටපු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමා, පොළොන්නරු මහදිසාපතිතුමා, ලංකාපුර ප්‍රාදේශීය මහලේකම්, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, ලේකම්තුමන් ඇතුළු ලංකාපුර හා නැදලගමුව ප්‍රදේශයන්හි සැදැහැවතුන්ගේ සහ සම්බන්ධතාවයෙන් සිදු කෙරේ.