Print this Article


බුදුපිළිමයේ උපත - 106: සිරි දළදා වහන්සේගේ පූජනීයත්වය හා රාජකීයත්වය

බුදුපිළිමයේ උපත - 106:

සිරි දළදා වහන්සේගේ පූජනීයත්වය හා රාජකීයත්වය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

හේමමාලා සහ දන්තකුමරු අපමණ දුෂ්කරතාවලට මුහුණ දෙමින් ලංකා පට්ටනයට ගොඩබැස්ස පුවත මූලාශ්‍රවල සඳහන් වේ. ලංකා පට්ටනයේ දී අනුරාධපුරයට යන මගතොට අසා දැනගත් රාජකීය යුවළ අනුරාධපුර මේඝගිරි විහාරයට පැමිණ දළදා පුවත සැල කර සිටියහ.

දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීමට හේතුව මෙම දළදා වහන්සේ පිළිබඳ වංශ කතාව දැක්වීම සඳහා පොළොන්නරුවේ රජ කළ ලීලාවති රැජන දවස හෝ ඊට නුදුරු සමයක විසූ රාජගුරු ධර්මකීර්ති නම් තෙරුන් වහන්සේ නමක විසින් දාඨාවසය නම් පාලි පද්‍ය ග්‍රන්ථය රචනා කොට ඇත. එහි සඳහන් විස්තරයට අනුව බුද්ධ ශ්‍රී දේහය ආදාහනය කළ චිතකයෙන් ඛේම නම් රහතන්වහන්සේ විසින් ගන්නා ලද වම් දළදා වහන්සේ කලිඟු රට දන්ත පුරයෙහි බඹදත් නම් රජුට බාර කරන ලදී.ඔහුගේ පරපුරට අයත් රජවරුන් විසින් ගරු බුහුමන් පවත්වමින් දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගන්නා ලදී. කල්යාමේ දී ගුහාසිව නම් රජ දවස ලාභ සත්කාරයෙන් පිරිහුණු මිථ්‍යාදෘෂ්ටින්ගේ කේළාම් බස් නිසා පාඨලීපුත්‍ර නගරයෙහි රජ කළ පණ්ඩු නම් රජු කෝපයට පත්ව සිය සාමන්තයෙකුට ගුහාසිව රජු දළදා වහන්සේ සමඟ පාටලීපුත්‍රයට අල්වාගෙන එන ලෙසට නියම කෙළේ ය. එහි දී තොරතුරු විමසා බැලීමේ දී හෙතෙම දළදා වහන්සේ කෙරෙහි පැහැද පුද සත්කාර කොට නැවත කාලිංගයට පිටත්කර හැරියේ ය. එහිදී ඛීරධාර නම් රජුගේ බෑණා වූ කුමරුවෙක් දළදා වහන්සේ ලබා ගැනීම සඳහා ගුහාසිව රජු සමඟ යුද්ධයට පිවිසියේ ය. එහි සටනින් තමා පරාජයට පත් වුවහොත් බමුණු වෙස් ගෙන දළදා වහන්සේ රැගෙන සිංහල දේශයට යන ලෙසට ගුහාසිව රජ සිය බෑණනුවන් වූ දන්ත කුමරුට හා දුවණිය වූ හේමමාලා කුමරියට නියම කළේ ය. ඒ අනුව ගුහාසිව රජුගේ පරාජය දුටු දන්ත කුමරු හා හේමමාලා කුමරිය යන දෙදෙනා දළදා වහන්සේ රැගෙන සිරිමේඝවර්ණ රජුගේ නවවැනි වර්ෂයේ දී ලංකාවට පැමිණියහ. මුළු මහත් දාඨාවංස ප්‍රවෘත්තියෙහිම එන ඓතිහාසික සාරය නම් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස දළදා වහන්සේ ලංකාවට වැඩම වූ බවය. මේ යුගයන්හි ලංකාවත්, කාලිංගයත් අතර පැවති, සම්බන්ධතා මීට හේතු වන්නට ඇත. දාඨාවංසයේ විශ්වසනීයත්වය තහවුරු කිරීම පිණිස ඉතිහාසඥයන් විසිනුදු මේ සාධක උපුටා දක්වා ඇත. (මහාචාර්ය අමරදාස ලියනගම මහතා ලියූ ඉහත සඳහන් ඉංගී‍්‍රසි ග්‍රන්ථය පි. 23-25)

දළදා වහන්සේ ලක්දිව වැඩම වූ දවසේ පටන් එය රජවරුන්ගේ පූජනීය වස්තුවක් බවට පත්වූයේය. රජ මැදුර අසලම දළදා මාලිගා ඉදිකරවා ගෙන දවසට තෙවරක් පුද පුජා පවත්වා දළදා ආශිර්වාදය ලබා ගැනීමට හැම පාලකයෙකුම ක්‍රියා කළ ආකාරය ඉතිහාසගත තොරතුරුවලින් අනාවරණය වන්නේය.අනුරාධපුර රාජධානි සමය මුළුල්ලේ ම රාජ්‍ය වගකීමක් ලෙස දළදා ප්‍රදර්ශනය පැවැත්වීමත් පෙරහර පැවැත්වීමත් අඛණ්ඩව පවත්වා ගෙන යෑමට විධිවිධාන සළසා පැවතියේ ය. රජුට හා රජමැදුරට යම් ආරක්ෂාවක් පැවතියේද එයට නොදෙවෙනි ආරක්ෂාවක් දළදා වහන්සේ සහ දළදා මාලිගය විෂයෙහි ද යොදවා පැවතියේ ය. රාජ්‍යය මෙන්ම පොදු ජනතාවද දළදා වහන්සේ විෂයයෙහි ගෞරව දැක්වූයේ ඒ කෙරෙහි රාජකීයත්වයක් පැවරීමෙන් ය. දළදා වහන්සේගේ පූජනීයත්වය හා රාජකීයත්වය වඩ වඩාත් තහවුරු වීමට පටන් ගත්තේ පොළොන්නරු රාජධානිය ඇරඹීමත් සමඟය (ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ශාස්ත්‍රීය ග්‍රන්ථය පූජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් ලියූ ලිපිය. පි. 72- (2012) රජයේ මෙන්ම මහජනතාවගේත් අතිශය ගෞරවයට හා පූජනීයත්වයට පත් පූජනීය වස්තු අතරින් අනුරාධපුරයෙන් පොළොන්නරු රාජධානියට ගෙන යා හැකි එකම පූජනීය වස්තුව වූයේ දළදා වහන්සේය. මේ තත්ත්වය නිසා දළදා වහන්සේගේ පූජණීයත්වය මෙන්ම රාජකීයත්වයත් වඩ වඩා බලවත් වූයේ එයට සම කළ හැකි කිසිදු පූජනීය වස්තුවක් පොළොන්නරු රාජධානිය තුළ නොතිබීම නිසා ය. එහෙයින් දළදා වහන්සේ රාජ්‍ය සංකේතය බවට නිතැතින්ම පත් වූයේය. රාජ්‍ය උරුමය ලබාගත හැකි වූයේද දළදා වහන්සේගේ උරුමය ලබාගත් පාලකයෙකුට පමණි.

මෙලෙස අනුරාධපුරයෙන් පොළොන්නරුවට වැඩමවූ දළදා වහන්සේ යුගයෙන් යුගය, රාජධානියෙන් රාජධානියට වැඩමවමින් ලක්දිව රජ පැමිණි විවිධ රජවරුන් විවිධ තැන්වල දළදා මැදුරු ඉදිකරවා දළදා පුද පූජා පවත්වා ඇති අයුරු වංසකතා හා ඓතිහාසික ලේඛන මගින් සනාථ වෙයි. ලක්දිව පරසතුරු උවදුරු සමයන්හි ඉමහත් වෙහෙසක් දරා රැකගත් දළදා වහන්සේ වරින්වර විවිධ ස්ථානයන්හි සඟවා තබා රැකගෙන ඇත. වසර 30 පමණ දෙල්ගමු විහාරයෙහි කුරහන් ගලක සඟවා තිබූ දළදා වහන්සේ මහනුවර රජ පැමිණි පළමුවන විමලධර්මසූරිය රජ සෙංකඩගල සිය රාජධානියට වැඩමවා දෙමහල් දළදා මැදුරක් කරවා දළදා වහන්සේ එහි වඩා හිඳවීය. දළදා පුද පූජා පෙරහර චාරිත්‍ර විධි කඩ නොකොට පැවැත්වීමට කටයුතු යෙදිණ. දළදා මැදුරෙහි වැඩ නිමවන තුරු අස්ගිරි ගෙඩිගේ විහාරයේ දළදා වහන්සේට ආරක්ෂාව සැලසිණි. මෙසේ මහනුවර දළදා මාලිගාවෙහි වැඩ සිටින දළදා වහන්සේ අප රටේ අතිපූජනීය ඓතිහාසික ලක්දිව රාජ්‍ය උරුමයේ ප්‍රධාන සංකේතය බවට දළදා වහන්සේ පත්වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සංවිධිත පූජෝපහාර විධි සමූහයක් ගොඩනැගෙන්නට පටන් ගත්තේය. ඒ නිසා භාරතයේ දි දක්නට නොලැබෙන පුද පුජා සිරිත් විරිත් රාශියක් ලක්දිවදී එකතු විය. ධර්මයත් රාජ්‍යයත් දෙකම නිරූපණය කරමින් දළදා වහන්සේ රජු සමීපයේ වැඩසිටියහ. බුදුමැදුරක වතාවන් පමණක් නොව රජමැදුරක ඉටු කෙරෙන වතාවත් හා විධිවිධාන ද දළදා වහන්සේ විෂයයෙහි බලපාන්නට ඇත්තේ මේ නිසා ය. වර්තමාන දළදා පූජාවෙහිලා දක්නට ලැබෙන්නේ කාලාන්තරයක් තිස්සේ සංවර්ධනය වෙමින් එක් රැස් වු පූජා චාරිත්‍ර විධි සමූහයක් බව අපට වටහා ගත හැකි ය. (ශ්‍රී දළදා වහන්සේ සහ පුද පූජා – පූජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි ලියු ලිපිය – පි. 73)

කාලීනව රජයත්, දළදා වහන්සේත් අතර ඇතිවු සමීපතාවය නිසා රජ මැඳුර ආසන්නයේ ම දළදා මැඳුරක් විය. දෙකම මාලිගා යන නමින් ම හැඳින්විණ..

ලක්දිව උඩරට පාලන බලය ඉංගී‍්‍රසින්ට නතුවීමෙන් පසු දළදා වහන්සේගේ භාරකරත්වය ද ඉංගී‍්‍රසින්ට පැවැරිණි,ඉංගී‍්‍රසි ආණ්ඩුව විසින් දළදා වහන්සේ විෂයයෙහි පැවතුණු චාරිත්‍ර වාරිත්‍ර විධි නොකඩවා පවත්වාගෙන යන ලදී. කල්යාමේ දී දළදා වහන්සේ වෙනුවෙන් පුද පෙරහර පැවැත්වීම ඉංගී‍්‍රසි ආණ්ඩුවට ප්‍රශ්නයක් විය. ඒ නිසා ඉංගී‍්‍රසින් දළදා වහන්සේගේ භාරකාරත්වය සිංහලයන්ට පවරා ඇත. ( මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි පාණන් විසින් ලියන ලද ඉහත සඳහන් ග්‍රන්ථයෙනි. පි. 75 සංස්කරණය සිරිසමන් විජේතුංග , ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අල්වත්තගේ 2012)


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 105: සිරි දළදා පුරාණය