අත හරින්න පුරුදු වෙන්න
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ
සුධම්ම හිමි
පින්වත් දරුවනේ, අපි අද කතා කරන්නේ අල්ලා ගැනීම්වල ස්වභාවය පිළිබඳව යි. ඊට සරලම
උදාහරණයක් විමසමු.
කෙනෙක් දෝෂාරෝපණය කළොත් සමහර අය ඒ සිදුවීම මාස ගණන් හිතේ තබාගෙන ඉන්නවා. ඇතිවීමක්
නෑ. තරහව, ක්‍රෝධය, පසුතැවීම මිස ලැබෙන ඵලයක් නෑ. මේ නිසා ඇසුණ දේ ඇසුණා පමණයි
කියලා හිතන්නට පුරුදු වෙන්න ඕනෑ. ඒ වගේම දැනුණ දේ දැනුණා පමණයි කියලා හිතන්නට
පුරුදු වෙන්න ඕනෑ.
නාසයට සුවඳක් දැනුණ විට එය අතහරින්න. දිවට රසක් දැනුණ විට ඒ රස අත නොහැරියේ නම්, රස
පසුපස ම දුවනවා. ගෙදර අම්මා මොන දේ උයා පිහා දුන්නත් රස නැතිවෙනවා. ගුණදායක
එළවළුවක්, පලා ටිකක් කන්නේ ම නෑ. ඉතින් කොහොමද මොළය වැඩෙන්නේ. දරුවනේ, තියෙන දේ,
තමන්ට ලැබෙන දේ කාලා බීලා අත්හරින් පුරුදු වෙන්න. අල්ලාගෙන ඉන්නට ගියොත් මේවායෙන්
ඈත්වෙන්න නො හැකියි. ඊළඟට ශරීරයට දැනෙන පහසත් එවැනිම යි. හිතන්න, දුවට පුතාට ලස්සන
ඇඳුමක් ලැබෙනවා. හිතට හරිම සතුටුයි නේද? පරණ ඇඳුමක් ලැබුණොත් මොකද වෙන්නේ. දුකයි
නේද? වාඩිවෙන්නට හොඳ පුටුවක් ලැබුණොත් සිතට හරි සතුටුයි නේද? ඒත් දරුවනේ මේ කිසිවක්
සිතින් අල්ලා ගන්නට එපා. ඒ ගැන මහා බැඳීම් ඇති කරගෙන ඒ පසුපසම යන්නට එපා. පුටුවක
වාඩිවෙන්නටත්, බිම වාඩිවෙන්නටත් ඕනෑම දෙයකට අපි හුරු පුරුදු වෙන්න ඕනෑ. “හොඳයි, සැප
ගෙනදෙයි” යනුවෙන් අල්ලාගෙන සිටියොත් තමයි දුකක් දැනෙන්නේ. අතහැරීමෙන් මොන තරම්
සැනසීමක් ලැබෙනවා ද? එය තේරුම් ගන්නට නම් අතහරින්න පුරුදු වෙන්නම ඕනෑ.
ඊළඟට සිතට එන සිතිවිලි. සිතට බොහෝ දේ සිතෙනාවිට සිතුණා පමණයි කියා අත හරින්න. අපට
මොනතරම් දේ සිතෙනවා ද? අපි මෙහෙම හිතමු. පන්සලට ගියාම යාළුවෝ මුණ ගැසෙනවා. සෙල්ලම්
කරන්න, දුවන්න, පනින්න සිතෙනවා. ඒත් පන්සල ඊට සුදුසු තැනක් නොවෙයි. ඒ සිතිවිලි
ක්‍රියාත්මක කරන්න හොඳ නෑ. එහෙමත් නැතිනම්, කෙනෙකුට බණින්න හිතෙනවා. ගහන්න හිතෙනවා.
ඒ සිතුණ දේ සිතුණා පමණයි කියලා හිතන්නට ඕනෑ. එහෙම කියන්නේ ඇයි? දරුවනේ කිසිම දෙයක
ඇති වීමක් නැති නිසා.
කාමය, එහෙමත් නැතිනම් කැමැත්ත කියන දේ උදාහරණයක් ලෙස කියනවා නම් හරියට ණයට ගත්
දෙයක් වගෙයි. ණයක් ගත්තොත් එය ආපසු දෙන්නම වෙනවා. තරහක් ආවා’යි සිතන්න. එහි විපාක
තමන්ටම විඳින්න වෙනවා.
ඒ වගේම කාමය සම්බන්ධ දේ හරියට ඇටසැකිල්ලක් වගේ. කිසිම හැඩයක් නෑ. වටිනාකමක් නෑ.
ප්‍රයෝජනයක් නෑ. එහෙම සිතනවා නම් අපි කිසිම දෙයක් අල්ලා ගන්නේ නෑ. සුනඛයින් දැක
තිබෙනවා නේද? මස් කටුවක් ලැබුණොත් සුනඛයා මොකද කරන්නේ? අත හරින්නේ ම නෑ. සපාකමින්
ඉන්නවා. ඇති වීමක් නෑ. අන්තිමේ දී ඒ මස් කටුවට ම ඌගේ කට තුවාල වෙනවා. ඉතින් ලේ
ගලනවා. සුනඛයා හිතන්නේ මස් කටුවේ මස් තිබෙනවා කියලයි.
මස් ලේ නැති ඇට බලු ලෙවකන්නේ
කුස් පිරුමක් ඵලයක් නො ලබන්නේ
අන්තිමට සුනඛයාම වෙහෙසට පත්වෙනවා. දුක් විඳිනවා.
කැමැත්ත පිළිබඳ තවත් උදාහරණයක් කියනවා නම් එය හරියට තණ හුලක් වගේ. තණ හුල නො කඩවා
ඇවිලෙන්නට නම් එය නිතර එහාට මෙහාට වනන්නට ඕනෑ. ඉතින් එය ටිකෙන් ටික දැවෙනවා.
අල්ලාගෙනම සිටියොත් තමන්ගේ අත පිච්චෙනවා. හොඳයි සතුටුයි කියලා තිබුණාට විනාශ වන්නේ
අපිම යි.
තවත් උදාහරණයක් කියනවා නම්, කාමය හරියට මස් වැදැල්ලක් වගේ. මස් වැදැල්ලක් ගෙනයන
කපුටෙක් ගැන සිතන්න. අනිත් කපුටොත් ඒ පසුපසම පියාඹමින් එය ඩැහැ ගන්නට බලනවා. ඒ වගේ
තමයි. අප ආසා කරන දෙයට අනෙක් අයත් ආසයි. අපෙන් උදුරා ගන්නට බලනවා. එතකොට දුකක්
දැනෙනවා නේද?
දරුවනේ, මේ ‘කාමෝඝය’ එතරම් භයානකයි. අසුවුණොත් සංසාරයට ගහගෙන යනවාම යි. ඒ කියන්නේ
විවිධ ආත්මයන්හි ඉපදෙමින් අනේක දුක් විඳින්නට වෙනවාම යි. දරුවනේ, අප සසරට ගහගෙන යන
සැඩපහර සතරෙන් කාමෝඝය , කාමය නමැති ඕඝය ගැන ඔබට කියා දුන්නා. එයින් එතෙර වෙන සැටිත්
කියා දුන්නා. එය එක් වරම අපහසු යි. ටිකෙන් ටික පුරුදු පුහුණු වුණොත් දරුවන්ට මුළු
ජීවිතයම සතුටින් ගත කරන්න හැකි වෙයි. පුංචි කාලෙ ඉඳලම ඊට උත්සාහ ගන්නට ඕනෑ.
- රමණී සුබසිංහ |