ධර්ම සංගායනා - 02:
සම්බුදු වදන් සුරක්ෂිත කළ
පළමු ධර්ම සංගායනාව
පොල්ගහවෙල මහමෙව්නා
භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
දෙවෙනි වස්සාන මාසය වන නිකිණි මාසයෙහි පුන් පොහොය පසු වී දෙවෙනි දවසෙහි
රාජානුග්‍රහයෙන් කරන ලද ඒ ඉතා රම්‍ය වූ මණ්ඩපයෙහි රහතන් වහන්සේලා රැස් වුණි.
ඒ රහතන් වහන්සේලා අපගේ ආනන්ද තෙරුන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට ගැළපෙන අයුරින්
ආසනයක් වෙන්කොට තබා තමන් වහන්සේලා පැවිදි උපසම්පදාවෙන් වැඩිමහලු පිළිවෙළට එහි වැඩ
සිටි සේක. ආනන්ද තෙරුන් වහන්සේ තමන් වහන්සේ උතුම් අර්හත්වයට පත් වූ බව ඒ රහතන්
වහන්සේලාට දන්වනු පිණිස උන්වහන්සේලා සමඟ මණ්ඩපයට නො වැඩියේ ය.
“මේ ආසනය වෙන්කොට තිබෙන්නේ කවුරුන් වෙනුවෙන් ද?” එක් තෙරුන් වහන්සේ නමක් විමසූහ.
”මෙය ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සඳහා ය.” පිළිතුරු ලැබුණි.
” අපගේ ආනන්දයෝ කොහි ගියා ද? කියා අසනවාත් සමඟ ම, ආනන්දයන් වහන්සේ පොළොවෙහි කිමිදී
සංගායනා මණ්ඩපයේ තමන් වෙනුවෙන් පනවා ඇති ආසනයෙහි පහළ වුණි. ඇතැම් ආචාර්යයන්
වහන්සේලා පවසන්නේ ආනන්දයන් වහන්සේ අහස් මාර්ගයෙන් වැඩමකොට තමන්ගේ ආසනයෙහි වැඩ සිටි
බව ය.
එක් එක් තනතුරු ලැබූ සියලු රහතන් වහන්සේලා අතරින් විනයධර භික්ෂූන්ගෙන් අගතනතුරු
ලැබූ උපාලි මහරහතන් වහන්සේ විනය උදෙසා ද, ආනන්ද මහරහතන් වහන්සේ අනෙකුත් සියලු
ධර්මයන් උදෙසා ද, ප්‍රධානත්වයට පත්කර ගත්හ. එම සංගායනාව ආරම්භයේ දී අපගේ මහාකස්සප
මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද විනය ශික්ෂාපදත්, ඒවායේ නිදාන
කථාව ආදියත් විමසනු පිණිස ඒ ප්‍රශ්න විමසන භික්ෂුවගේ තනතුර තමන් වහන්සේ විසින්
තමන්ව ම පත්කරගත් සේක. එහිදී උපාලි මහරහතන් වහන්සේ එසේ අසන ලද විනය කරුණු සියල්ල ම
පිළිබඳව පහදා දුන් සේක. අපගේ මහාකස්සපයන් වහන්සේ විනය පිළිබඳව විස්තර විචාළේ එහි
පනවන ලද ථේරාසනයේ වැඩ හිඳගෙන ය. එවිට උපාලි මහරහතන් වහන්සේ ඒ අසන ලද කරුණුවලට
පිළිතුරු ලබා දුන්නේ භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් පනවා වදාළ ධර්මාසනයේ වැඩ හිඳගෙන
ය.
තථාගතයන් වහන්සේ විසින් පනවන ලද විනය පිළිබඳ දන්නා භික්ෂූන් අතරින් අග්‍ර වූ උපාලි
මහරහතන් වහන්සේ විසින් ක්‍රමයෙන් ඒ සියලු විනය කරුණු විසඳූ සේක. ඉන්පසු විනය කරුණු
පිළිබඳ න්‍යායෙහි අතිශ්‍යයින් දක්ෂ වූ සියලුදෙනා වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පනවා
වදාළ විනය ඒ අයුරින් සාමූහික ව සජ්ඣායනා කළහ. අප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි
බහුශ්‍රැත වූ භික්ෂූන් අතරත්, වේගවත් නුවණ ඇති භික්ෂූන් අතරත්, දරා ගැනීමෙහි
හැකියාව ඇති භික්ෂූන් අතරත්, සිහිනුවණ ඇති භික්ෂූන් අතරත්, උපස්ථායක භික්ෂූන්
අතරත්, අග්‍ර යැයි අග තනතුරු ලද ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්දයන් වහන්සේගෙන් අප
භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳව ධර්ම දේශනාත්, ඒවායේ නිධාන කතාත් විචාරනු
පිණිස මහාකස්සප මහරහතන් වහන්සේ විසින් ඒ විචාරක භික්ෂු තනතුරට තමන් ම පත්කරවාගෙන
අපගේ ආනන්දයන් වහන්සේගෙන් ධර්මය විමසා සිටියහ.
උපාලි මහරහතන් වහන්සේ විනය විස්තර කළ පරිද්දෙන් ආනන්දයන් වහන්සේත් පිළිතුරු දීම
පිණිස තමන්ව ම පත්කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් පනවන ලද ධර්මාසනයෙහි
වැඩහිඳගෙන ඒ සියලු ධර්මයන් ගැන විස්තර කළහ. වේදේහමුනි වූ ආනන්දයන් වහන්සේ විසින්
ක්‍රමයෙන් විසඳන ලද ඒ සියලු ධර්මය, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි අර්ථයන් පිළිබඳව
අතිශයින් ම දක්ෂ වූ එහි වැඩහුන් සියලු දෙනා වහන්සේලා ධර්මය ඒ අයුරින් සාමූහික ව
සජ්ඣායනා කළහ. මේ ආකාරයෙන් සියලු ලෝකය කෙරෙහි හිතසුව කැමැති රහතන් වහන්සේලා විසින්
සත් මාසයකින් සියලු ලෝ වැසියාගේ හිතසුව පිණිස ඒ ප්‍රථම ධර්ම සංගායනාව නිමාවට පත් කළ
සේක.
ධර්ම විනය සුරක්ෂිත කොට අනාගතයට දායාද කිරීම. -
මෙසේ ධර්ම විනය සුරක්ෂිත කිරීම පිණිස පළමු ධර්ම සංගායනාව සිදුකළ මහා කාශ්‍යප
මහරහතන් ප්‍රමුඛ උතුම් මහ රහතන් වහන්සේලා එම ධර්ම විනය කටපාඩමින් දරාගෙන අනාගතයට
දායාද කරලීම පිණිස මැනවින් කටයුතු සම්පාදනය කළේ මෙලෙසිනි.
විනය පිටකය කටපාඩමින් දරා ගනිමින් අනාගතය සුරක්ෂිත කරලීම උපාලි මහරහතන් වහන්සේ
ප්‍රමුඛ ශිෂ්‍ය පිරිසට ද, භාග්‍යවතුන් වහන්සේ වදාළ දීර්ඝ සූත්‍ර දේශනා ඇතුළත් දීඝ
නිකාය, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහරතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට ද,
මජ්ක්‍ධිම නිකාය ධාරණය කර ගැනීමට අග්‍ර ශ්‍රාවක ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන්
වහන්සේගේ ශිෂ්‍ය පරපුරට ද,
දිවැස්ලාභීන් අතර අග්‍ර වූ අනුරුද්ධ මහ රහතන් වහන්සේ ප්‍රමුඛව සිසු පරපුරට අංගුත්තර
නිකාය වනපොත් කිරීමට ද පවරා දෙන ලදී. සදහම් ග්‍රන්ථ පහළොවකින් සමන්විත සද්ධර්ම
මංජුසාවක් බඳු ඛුද්දක නිකාය සියලු දෙනා පොදුවේ කටපාඩමින් දරාගත් අතර, එමගින් ජාතක,
භාණක, ධම්මපද ආදී භාණක පරම්පරාවක් බිහි විය.
අභිධර්ම පිටකය භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේදී ම ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත
මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයන් විසින් දරා කටපාඬමින් දරා ගන්නා ලදී. අපගේ මහාකස්සප
මහරහතන් වහන්සේ විසින් මෙසේ සංගායනා කොට ධර්මය ගොනු කරනු ලැබුවේ මේ ශ්‍රී සුගත
සම්බුද්ධ ශාසනය අවුරුදු පන්දහසක් පවත්වාලන්නට සමර්ථ ආකාරයට ය. ඒ ප්‍රථම ධර්ම
සංගායනාව සංගායනා කොට අවසන් වෙනවාත් සමගම සාගරය සීමා කොට ඇති මේ මහා පොළොව මහත්
පී‍්‍රතියක් හට ගත්තාක් මෙන් සය වරක් කම්පාවට පත් වුණි. ඒ අවස්ථාවෙහි ලෝකයෙහි
නොයෙක් ආකාරයෙන් නොයෙක් ආශ්චර්යවත් දේ සිදුවුණි. අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක
වූ පන්සීයයක් ස්ථවිර භික්ෂූන් වහන්සේලා එක්ව මේ සංගායනාව කොට වදාළ නිසාවෙන් එම
සංගායනාවට ස්ථවිර පරම්පරාව යනුවෙන් ද හඳුන්වනු ලැබුවේ ය.
මෙසේ ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ලෝක සත්ත්වයාට බොහෝ හිත සුව පිණිස කටයුතු කළ ඒ
සියලුම රහතන් වහන්සේලා තම තමන්ගේ ආයු ඇති පරිදි වැඩහිඳ පිරිනිවන් පා වදාළ සේක.
මොහඳුර නසා අරහත් ඵලය නමැති ප්‍රඥා ප්‍රදීපය දල්වාගෙන වැඩසිටි එබඳු මහෝත්තම රහතන්
වහන්සේලා පවා ලෝක සත්ත්වයාගේ අවිදු අඳුර නසන මහා ප්‍රදීපයන් බඳු ව වැඩසිට මරණය
නමැති දරුණු සැඩ සුළඟින් පහර වැදී නිවී ගිය සේක.
ඒ නිසාවෙන් නුවණැති පුද්ගලයා එම කාරණය තේරුම් ගෙන තමන් නො මැරී ජීවත්ව සිටීම ගැන
ඇති උඩඟුකම දුරුකර ගත යුත්තේ ය. තෙරුවන කෙරෙහි සිත පහදවාගත යුත්තේ ය.
(මහාවංශයේ තුන්වෙනි පරිච්ඡේදය සහ චුල්ලවග්ගපාලි සංගීතික්ඛන්ධකය ඇසුරිනි)
- නයනා නිල්මිණී |