Print this Article


පැරැණි බණකතා 03: දේවධර්මය කුමක් ද?

දේවධර්මය කුමක් ද?

බුදුරදුන් සැවත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ එක්තරා බහුභාණ්ඩික භික්ෂුවක් මුල්කොට ගෙන මේ ජාතක කතාව දේශනා කළ සේක.

යටගිය දවස කසී රට බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන සමයේ බෝධි සත්ත්වයෝ බ්‍රහ්මදත්ත රජුගේ අග මෙහෙසියට දාව ඉපදුණි. ඔහුට “මහිංසාසක” යනුවෙන් නම් තැබීය. මේ කුමාරුට “චන්ද්‍ර” නමින් තවත් බාල සොහොයුරෙක් සිටියේය. ටික කලක් ගතවෙද්දී මේ කුමාරවරුන්ගේ මෑණියෝ කලුරිය කළහ.

රජතුමා වෙනත් බිසවක් අගමෙහෙසිය බවට පත්කර ගත්තේ ය. කාලයාගේ ඇවෑමෙන් ඇයට පුත් කුමරෙකු ලැබුණි. ඔහුට සූර්ය යනුවෙන් නම් තැබීය. බ්‍රහ්මදත්ත රජු ඒ පුතණුවන් දැක සතුටට පත්ව අගමෙහෙසිය අමතා

“සොඳුර නුඹගේ පුතණුවන් වෙනුවෙන් කැමති වරයක් ඉල්ලව“ යි කීහ.

”ස්වාමිනි, ඒ වරය මා සුදුසු මොහොතක ඉල්ලන්නෙමි” ඇය කීය.

කාලය ගතවීමත් සමග සූර්ය කුමාරයා වැඩිවියට පත්ව ශිල්ප ශාස්ත්‍ර හදාරා නිම වූ පසු අගමෙහෙසිය රජු වෙත ගොස්

”ස්වාමිනි, ඔබ වහන්සේ විසින් මාගේ පුතුන් උපත ලද දිනයෙහි වරයක් ලබාදෙන ලදී. එබැවින් දැන් මාගේ පුතුට රජකම ලබාදෙනු මැනව” කී ය.

ඇයගේ යෝජනාව ඇසු රජතුමා ඒ කුමරුට වඩා වැඩිමහල් තවත් කුමාරවරු දෙදෙනෙක් සිටිය දී එසේ රජකම දිය නො හැකි බව කී ය. එහෙත් බිසව නැවත නැවතත් රජකම ඉල්ලිීම නිසා අනෙක් කුමාරයන් දෙදෙනාට අනතුරක් සිදුවේය බියෙන් ඔවුන් දෙදෙනා කැඳවා

”දරුවෙනි, සූර්ය කුමාරයාගේ මෑණියෝ සූර්ය කුමරුට රජකම දෙන්නැයි ඉල්ලා සිටියි. ඒ ඉල්ලීමට මම කැමැති නො වෙමි. ස්ත්‍රීහු බොහෝ විට පාපී අදහස් ක්‍රියාත්මක කරති. නුඹලා දැන් ම වනයට නික්ම යනු. මා මියගිය දිනක පැමිණ නුඹ සතු මේ රාජ්‍යය ලබාගනු” කී ය. කුමාරවරු වනයට යන්නට සූදානම් වනු දැක සූර්ය කුමාරයා ද ඔවුන් සමඟ යන්නට එක් විය. තිදෙනා ම හිමාලය බලා පිටත් විය. අතරමගදී වෙහෙස නිවා ගැනීමට ගසක් මුල ඉඳ ගිමන් නිවන්නට පටන් ගත්හ. එහිදී බෝසත් මහිංසාස කුමරු “සූර්ය මලනුවණි, නුඹ අර පෙනෙන විලට ගොස් නා පැන් බී අපටත් පැන් රැගෙන එව“ කී ය. පස් පියුමෙන් යුත් ඒ විලට අරක්ගත් එක් දිය රකුසෙක් විය. මේ රකුසා යම් කෙනෙක් විලට බැස්ස විට අල්ලාගෙන ඔහුගෙන් දේව ධර්ය පිළිබඳව විමසයි. දේව ධර්මය නො දන්නේ නම්, ඔහු ආහාරයට ගනියි. සූර්ය කුමරු ද විලට බැස්ස විගස දිය රකුසා කුමරු අල්ලා ගත්තේ ය.

”තොප දේව ධර්මය දන්නෙහි ද?”

”දිය රකුස, දේව ධර්මය නම් චන්ද්‍ර සූර්ය දෙදෙනා යි”

”නුඹ දේව ධර්මය නො දන්නේහිය” පවසා දිය යට තමා වසන ස්ථානයේ සිර කළේ ය. සූර්ය කුමාරයා සෙවීමට චන්ද්‍ර කුමාරයා විල අසලට පැමිණියේ ය. ඔහුට ද පෙර පරිදි ම විය. බෝසතාණන් වහන්සේ සොහොයුරන් සෙවීමට විල අසලට පැමිණියේ ය. කුමාරවරු විලට බසින පා සටහන් තිබුණ නමුත් විලෙන් ගොඩ වූ පා සටහන් නො තිබුණි. එනිසා විලෙහි දිය රකුසෙකු ඇති බව දැන දුනු ඊතළ ගෙන විල අසල සිටියේ ය. කුමරු විලට නො බසින බව දැනගත් දිය රකුසා පුරුෂයෙකුගේ වෙසක් මවාගෙන පැමිණ

”නුඹ ගමන් වෙහෙසට පත්ව ඇති බව පෙනේ. කුමක් නිසා මේ විලට බැස නා පැන් බී සැපසේ නො යන්නේදැයි” ඇසීය. බෝසතාණෝ මේ දිය රකුසා බව දැන, ”රකුස, තොප මාගේ සොහොයුරන් අල්ලා ගත්තා නොවේ ද?”

”මේ විලට බසින්නෝ දේව ධර්මය නො දන්නේ නම් ඔවුන්ට මරණය හිමිවේ”

”මම නුඹට දේව ධර්මය කියන්නෙමි” බෝසතාණෝ කී ය. රකුසා පනවන ලද ආසනයේ බෝසතාණෝ වැඩ හිඳිමින් ”දිය රකුස, මේ ලෝකයෙහි යම් කෙනෙක් බියෙන් හා ලජ්ජාවෙන් අකුසල ධර්මයන් හා නො කළ යුතු අනෙකුත් ලෝක චාරිත්‍ර දැන එයින් වැළකී බියෙන් හා ලජ්ජාවෙන් යුතුව වාසය කරන්නේ ද, කුසල ධර්මයෙහි හැමදා බලවත් කැමැත්තක් ඇත්තේ ද උතුම් වූ සත්පුරුෂ ගුණයන්ගෙන් යුක්ත වන්නේ ද එවැනි සත්ත්වයන්ගේ පැවැත්ම මේ ලෝකයෙහි දේව ධර්මය ලෙස හැඳින්වේ යැයි” කී ය.

” කුමරුනි ඔබ කෙරෙහි ප්‍රසන්න වූ මා එක් මලනු කෙනෙක් දෙමි. කවුරුන් මුදා හරින්න ද?”

”බාල මලණුවන් ගෙන එව“

”නුඹ දේව ධර්මය දන්නා නමුත් ඒ ධර්මයෙහි හැසිරීමක් නැත. කුමක් නිසා වැඩිමහල්ලා සිටිය දී බාලයා ඉල්ලන්නේ ද?

”දිය රකුස, මම දේව ධර්යත් දනිමි. දේව ධර්මය අනුව කටයුතු කරන්නෙක් ද වෙමි. අප මේ වනයට පැමිණියේ බාල මලණුවන් නිසා ය. යම් හෙයකින් ඔහු යක්ෂයෙක් කා දමන ලද්දේයැයි පැවසුවහොත් එය කවුරුන් විශ්වාස කරයි ද?” එය අසා සතුටට පත් දිය රකුසා කුමාරවරු දෙදෙනා ම ගෙනවිත් දුන්නේ ය.

”යක්ෂය, නුඹ පෙර කරන ලද අකුසල කර්මය හේතුවෙන් අනුන්ගේ ලේ, මස් බුදින යක්ෂයෙක් ව උපන්නේ ය. දැන් නැවතත් එලෙස කිරීමෙන් නරකාදි සතර අපායෙන් ගැලවීමක් නැත. එනිසා මෙතැන් සිට අකුසල් අතහැර කුසල් දහම් සිදු කරව“ යි කියා යක්ෂයා දමනය කොට ඒ අසල ම වාසය කළේ ය.

කාලයකට පසු පිය රජු මිය ගියේ ය. බෝසත් මහිංසාසක කුමරු රජු විය.

එකල දිය රකුසා මේ බහුභාණ්ඩික භික්ෂූවය. සූර්ය කුමාරයා ආනන්ද තෙරුන් ය. චන්ද්‍ර කුමරු සැරියුත් තෙරුන් ය. මහිංසාසක කුමාරයා අප බුදුපියාණෝ බව යටගිය දවස බණ කතා පොතෙහි සඳහන්ව ඇත.