අල්පේච්ඡ බව
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති
මහරැඹෑවැවේ පාලිත හිමි
අද ලිපියෙන් කියැවෙන්නේ අනුරාධපුර ථූපාරාමවැසි එක් භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳ කතා
ප්‍රවෘත්තිය යි. මහණකමේ උදාර ගුණාංගයක් වූ අල්පේච්ඡතාව හා නිරපේක්ෂාව පිළිබඳ කදිම
නිදසුන් ඇති කතා ප්‍රවෘත්තියකි. උපසම්පදා භික්ෂුවක විසින් තම ජීවිතයට අනතුරක් වුව
ද, තම ශික්ෂාවන්ට අනතුරක් නො කරගත යුතුය යන්න මෙයින් අපට පෙන්වා දෙයි.
බුද්ධඝෝෂ හිමියන් මෙම කතාව උදාහරණ ලෙස යොදා ගන්නේ කර්මස්තාන නිර්දේශයේ එන දස
පළාබෝධයන් අතර එන ආසාව යන පළිබෝධය විස්තර කරන අවස්ථාවට උදාහරණයක් වශයෙනි. දස පළිබෝධ
පිළිබඳ දැනුමක් ලබාගැනීම මෙහි ධර්ම විස්තර දැන ගැනීම සඳහා මහෝපකාරී වෙයි.
දස පළිබෝධ
(ආවාස, කුල, ලාභ, ගණ, නවකම්ම, අද්ධාන, ඤාතී, ආබාධ, ගන්ථ හා ඉද්ධි යන මේවා භාවනාවට
හානි පමුණුවන දස පලිබෝධයි) ආවාස යන්නෙන් එක් කාමරයක හෝ එක් පිරිවෙණක විසීම හා එක්
ආවාසයක බොහෝ කොට බඩු භාණ්ඩ රැස්කොට වසන්නේ නම් එය ආවාස පළිබෝධයි. ඥාතී කුල හෝ
උපස්ථාන කුලයන්හි ඇලී ගැලී වසයි නම් එය කුල පළිබෝධයි. ලාභ පළිබෝධ යන්නෙන් යම්
ප්‍රත්‍ය ලාභයක් හෝ වෙනයම් ලාභයක් අපේක්ෂාවෙන් බණ කීම හෝ දායකයින් සමඟ කටයුතු
කිරීමයි.
සූත්‍රාන්ත හෝ අභිධර්ම දේශනා කිරීමේ දී පිරිස බහුල නම්, එයට බාධා වන්නේ නම්, එය ගණ
නම් වෙයි. වඩු ආදී කම්කරුවන් ලවා නව කර්මාන්ත කරවා ගැනීමේ දී කළයුත්ත හා නො කළයුත්ත
පිළිබඳ නො දැනීනම් එය නව කම්ම පළිබෝධ නම් වෙයි. අරණ්‍ය ගතව ශ්‍රමණ ධර්ම පුරණ කල්හි
දුර අත්‍යවශ්‍ය ප්‍රත්‍ය සඳහා දුර ඈතක යෑමට සිදුවන්නේ නම් එය අද්ධාන පළිබෝධ නම්
වෙයි. විහාරයෙහි ආචාර්ය, උපාධ්‍යාය, සද්ධිවිහාරික, අන්තේවාසික හා ගෘහයෙහි මව්පියන්
සහෝදර සහෝදරීන් ආදීන් ගිලන්වීම, ඤාති පළිබෝධ නම් වෙයි. තමා නිතර නිතර
රෝගාබාධයන්ගෙන් පෙළීම ආබාධ පලිබෝධ නම් වෙයි. පර්යාප්තියේ දී ඒ පිළිබඳ ඇලී ගැලී
කටයුතු කිරීම ගන්ථ පළිබෝධ නම් වෙයි. තම සෘද්ධිය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා කටයුතු
කිරීම ඉද්ධි පලිබෝධ වෙයි.
අනුරාධපුරයෙන් නික්ම කුල දරුවන් දෙදෙනෙක් ථූපාරාමයෙහි පැවිදි වූහ. දෙදෙනාම පස්
වර්ෂයක්ම එකට වාසය කොට එක් භික්ෂුවක් පස්වන වස පවාරණයෙන් අනතුරුව පාචීනඛණ්ඩරාජී නම්
ස්ථානයට ගියහ. අනෙක් භික්ෂුව ථූපාරාමයෙහි ම වැඩ සිටියහ. පාචීනඛණ්ඩරාජී නම් ස්ථානයට
ගිය භික්ෂූන් වහන්සේ එහි වර්ෂ පහක් පමණ වැඩ සිට ස්ථවිර භාවයට පැමිණ මේ ස්ථානය
විවේකීව සිටිමීට වඩාත් අගනේයි සිතා ඒ බව තම මිත්‍ර වූ ථූපාරාම වැසි භික්ෂූන්
වහන්සේට ද දැන්වීමට දිනක් ථූපාරාමයට වැඩියහ.
තම මිත්‍ර භික්ෂුව එනු දුටු ථූපාරාම වැසි භික්ෂුව පෙර ගමන් කොට පා සිවුරු ආදිය
පිළිගත්හ. ආගන්තුක භික්ෂුව සිතන්නේ මාගේ මිත්‍ර මේ භික්ෂූන් වහන්සේ බොහෝ කලක සිටි
මෙහි වසන්නේ ය. එබැවින් දැන් මා හට ගිතෙල් හෝ පැණි හෝ වෙන යම් පාන වර්ගයක් එවනවා.
ඇතැයි සිතමින් සිටියේ ය. රාත්‍රිය පැමිණිය ද කිසිවක් ආගන්තුක භික්ෂුවට නො ලැබිණි.
උදෑසන සිතන්නේ දැන් මාගේ මිත්‍ර භික්ෂුව විසින් කැඳ හෝ කැවුම් එවතියි” යනුවෙනි.
එහෙත් කිසිත් නො ලැබිණි. මෙහි නො එවූ කල ගමට කියා ඇතැයි සිතා දෙදෙනාම උදෑසන
පිණ්ඩපාතයේ වැඩියහ. එහෙත් ලැබුණේ කැඳ සුගක් පමණි. දෙදෙනාම ශාලාවක වැඩ හිඳ එය වළඳා
වෙහෙරට වැඩියහ. ආගන්තුක භික්ෂුව සිතන්නේ උදේට මෙසේ වුවත් දවල්ට ප්‍රණීත ආහාරය
ලැබෙතැයි යනුවෙනි. එහෙත් දවල් කාලයට ද විශේෂ දෙයක් නො ලැබුණු අතර, ලද දෙය වළඳා
ආගන්තුක භික්ෂුව අනෙක් භික්ෂුවගෙන් හැමදාම මෙසේ දැයි ඇසීය.
වෙහෙරවැසි භික්ෂුව ‘එසේ යැයි’ පිළිතුරු දුන්හ. එවිට ආගන්තුක භික්ෂුව ස්වාමීනි,
පාචීනඛණ්ඩරාජීය මෙයට වඩා පහසු ය. එහෙ වඩිමුයැයි’ කීහ. තෙරුන් වහන්සේ ද එය පිළිගෙන
පාචීනඛණ්ඩරාජීයට යන දෙසට මුහුණලා ගමන් කරන්නට විය. එවිට ආගන්තුක භික්ෂූන් වහන්සේ
පවසනුයේ ‘ස්වාමීනී කොහේ වඩින්නේ’ද එවිට විහාරවාසී භික්ෂූන් වහන්සේ ඔබ දැන් පැවසූ
පාචීනඛණ්ඩරාජීයට යෑම පිණිස ය’. එවිට ආගන්තුක භික්ෂුව ‘ස්වාමීනී මෙතෙක් වැඩවාසය කළ
තැන පිරිකර එහෙම නැතිද’ යනුවෙනි. එවිට විහාරවාසී භික්ෂුව පවසනුයේ ‘ඇවැත්නි ඇඳ පුටු
සාංඝිකය. ඒවා අපි එන විට එහි ම තැන්පත් කළෙමු. අන් කිසිවක් එහි නැත.’ එවිට ආගන්තු
භික්ෂුව ‘ස්වාමීනි, මාගේ සැරයටිය, තෙල්ගුලාව, වහන් උරය ආදිය එහිය’ යනුවෙනි.
‘ඇවැත්නි, කිම එක් දිනක් විසූ තැන ඔබ එතෙක් බඩු තබන ලද්දේ දැයි’ විමසීය. ආගන්තුක
භික්ෂුව එම තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදී වැඳ ‘ස්වාමීනී ඔබ වහන්සේට සුදුසුම තැන මෙහි
ය. ඔබවහන්සේට මෙහි කිසිදු පළිබෝධයක් නැත. ථූපාරාමය, ලෝවාමහාපාය, රුවන්වැලි මහා සෑය
ආදිය සියල්ලම මෙහි ය. ඔබ වහන්සේ ඒවා දැක වැඳ දහම් අසා මෙහිම වාසය කරන්න.’යනුවෙන්
පවසා ආගන්තුක භික්ෂුව නැවතත් පාචීනඛණ්ඩරාජීයට ම වැඩියහ. |