Print this Article


චිත්තානුපස්සනාව: සිතේ සංවරයට...

චිත්තානුපස්සනාව:

සිතේ සංවරයට...

පසුගිය ලිපි මඟින් සතර සතිපට්ඨාන භාවනාවෙන් කායානුපස්සනාව සහ වේදනානුපස්සනාව ගැන සඳහන් කළෙමු. දැන් සඳහන් කරන්නේ චිත්තානුපස්සනාව යි.

චිත්තානුපස්සනාව යනු සිත අනුව බැලීම යි. සිත ක්‍රම වශයෙන් එකක් වුවද සිත බෙදා දැක්වීමේ ක්‍රම හැටියට අසූනවයක් තිබෙනවා. කාමාවචර සිත් පනස් හතර යි. රූපාවචර සිත් පහළොව යි. අරූපාවචර සිත් දොළහ යි. ලෝකෝත්තර සිත් අට යි. චිත්තානුපස්සනාව පිළිබඳ බුදුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයෙන් ක්‍රම දාසයක් වදාළා. මේ දාසයෙන් සිතේ ස්වභාවය පිළිබඳ දැක්වෙයි. සිතේ හටගන්නා පින් පව් පිළිබඳව දීර්ඝ විස්තරයක් චිත්තානුපස්සනාවෙන් බුදුන් වහන්සේ වදාළා. වික්ෂිප්ත මනසක් තිබුණත් සිත අනුව බැලුවොත් පසුව සංවර වෙයි. මෙය අසංවර වූ සිත සංවර කරනා හොඳ ක්‍රමයක්. මේ පිළිබඳ හොඳට දැනීමක් ඇතිකරගෙන මෙම භාවනාව කළ යුතු යි.

බුදුන් වහන්සේ වදාළේ සිතම ආරක්ෂා කරගත යුතු බව යි. දවසක් සිටු මාළිගාවක් අසලින් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වැඩම කළා. මේ සංවර දසුන දුටු සිටු මාළිගාවේ දරුවෙක් තමා කෙතරම් අසංවර දැ’යි සිතුවා. වටපිට බලනවා, උඩ බිම බලනවා, කෑකෝ ගසනවා , නමුත් මේ එකක්වත් ස්වාමීන් වහන්සේ ළඟ නැහැ. අපි අසංවර යි. මේ ස්වාමීන් වහන්සේ සංවර යි. මේ දරුවා එක්තරා දිනෙක ස්වාමීන් වහන්සේගෙන් සංවරකම කෙසේ කළ යුතු දැ’යි විමසා බැලුවා. එහිදී ස්වාමීන් වහන්සේ ගැඹුරු දෙයක් දේශනා කළේ නැහැ. දරුව, ඔබ අද පටන් තණ්හාව, තරහව නැතිව සිතේ සතුටෙන් කෙනෙකුට යමක් දෙන්න. ඉවත නොදමන පිරිසුදු යමක් දෙන්න පුරුදු වන්න. එවිට මේ දරුවා ප්‍රථමයෙන් කෙනෙකුට යමක් දෙන්න පුරුදු පුහුණු කළා. මේ නිසා මොහුගේ සිතේ තිබුණු දැඩි ගතිය අඩු වුණා. මේ නිසා කරුණාව, අනුකම්පාව ආදී දියුණු සිතක් හැදුණා. සිතට බොහෝ ප්‍රිය මනාප ගතියක් දැනුණා. ඉන්පසුව තවත් දිනෙක ස්වාමීන් වහන්සේගෙන් තවත් දෙයක් අසා දැන ගත්තා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි යනුවෙන් තෙරුවන් සරණ යන්නැ’යි ස්වාමීන් වහන්සේ වදාළා. දැන් මේ දරුවා උදේ, දවල් , රාත්‍රියේ නිබඳවම තුනුරුවන් සරණ යනවා. ඒ නිසා බොහොම සංවරකමක්, ශ්‍රද්ධාවක් මතු වුණා. සිතේ පිරිසුදු කම මතු වුණා. තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති වුණා. ඒ නිසා මේ දරුවා තවත් යමක් ස්වාමීන් වහන්සේගෙන් විමසුවා. එසේනම්, පන්සිල් රකින්නැ’යි වදාළා. දැන් මේ දරුවාන්ගෙන් හොඳින් පන්සිල් රැකුණා. ඉන්පසුව අටසිල් , දස සිල් ආදිය මේ දරුවා ප්‍රගුණ කළා. ඉන්පසුව තවත් යමක් ඇත්දැ’යි මේ දරුවා ස්වාමීන් වහන්සේගෙන් විමසුවා. එවිට මහණ වෙන්නැ’යි වදාළා. මේ දරුවා මහණ වී උපසම්පදා වුණා. එවිට කෝටි ගණනක් ශික්ෂාපද රකින්න අපහසු බව පැවසුවා. නිවසටවිත් පන්සිල්, අටසිල් රැකගෙන ඉන්නා බව ස්වාමීන් වහන්සේට පැවසුවා. ඉන්පසු ස්වාමීන් වහන්සේ මහණ වූ ස්වාමීන් වහන්සේ සමඟ බුදුරදුන් හමුවට පැමිණියා. මේ ස්වාමීන් වහන්සේ ගිහිව හොඳින් සිල් රැක , දැන් ශික්ෂා පද වැඩි නිසා උපසම්පදාව සිතට අපහසු බැවින් නිවසට යා යුතු බව පවසනවා. එහිදී බුදුන් වහන්සේ මහණ, ඔබට එකක් රැකිය හැකි දැ’යි විමසුවා. එහිදී කැමැත්තෙන්ම එකක් රැකීමට පුළුවන් බව පැවසුවා. එසේනම්, මහණ ඔබ අද පටන් සිත නමැති ශික්ෂාපදය රැක ගන්නැ’යි වදාළා. එනම් චිත්තානුපස්සනාව බැලීම යි.

මේ නිසා දන් වළදන්න, සිවුරු පොරොවන්න, ගිලන්පස ගන්න, සේනාසන පරිහරණය, යාම් ඊම්, සියල්ල කළේ සිහිකල්පනාවෙන්. ලෝභ , ද්වේශ, මෝහ පව් සංසිඳුවාගෙන අලෝභ, අදෝශ, අමෝහ සිතිවිලි පිරිපුන්ව උදා පත් වුණා. ගුණ නුවණ හොඳට දියුණු තියුණු වුණා. බෝධිපාක්ෂික ධර්ම හොඳින් වැඩුණා. ශ්‍රද්ධා දී ගුණත් හොඳින් වැඩී ස්වාමීන් වහන්සේ නොබෝ දිනකින් රහත් බව ලැබුවා.

එසේනම් චිත්තානුපස්සනාව කෙතරම් වටිනවා ද? සිත අනුව පමණයි බැලුවේ. සිත අනුවම බලා ඒ ස්වාමීන් වහන්සේ සිතම රැකගෙන රහත් බව ලැබුවා. එසේනම්, ඕනෑම කෙනෙකුට තමන්ගේ සිත අනුව බලමින් වාසය කරන්න පුළුවන්. පංච නීවරණ ආදී පව් හටගන්නේත්, ලෝභ ද්වේශ මෝහ ආදී කෙලෙස් අකුසල මූල හට ගන්නෙත් මේ සිත තුළම යි. විවේකීව වාඩිවෙලා සිතට එන අරමුණු සියල්ල දෙස බැලිය යුතු යි. සිතට එන, දැනෙන සියලු අප්‍රමාණ අරමුණු නුවණින් බැලීම චිත්තානුපස්සනාව යි. සිත සහ සිතිවිලි එකට එකතුවෙන් සිත් උත්පාදනය වෙයි. මේ දෙකේ එකතුවෙන් සිත ක්‍රියාත්මක වෙයි. එසේනම්, කුසල් , අකුසල්, විපාක, ක්‍රියා යනුවෙන් ඒ සියලුම සිත් කොටස් වලට බෙදා දැක්විය යුතු යි. සහේතුක, අහේතුක වශයෙන් මේවා කොටස් කරනවා. අහේතුක, ඒකහේතුක, ද්විහේතුක, ත්‍රිහේතුක ඒ සියලුම සිත් එකිනෙක කොටස් වලට බෙදනවා. මෙසේ සිත පිළිබඳ දැනීමෙන් චිත්තානුපස්සනාව ඉදිරියටම දියුණු කළ හැකි යි.