Print this Article


වම්මික සූත්‍රය: සසර ගමනේ සුගතිගාමී පුරුදු

වම්මික සූත්‍රය:

සසර ගමනේ සුගතිගාමී පුරුදු

අන්ධ වනය ම ඒකාලෝක කරමින් පැමිණි දේවතාවා රෑ කාලයේ දුම් දමන, දවල් කාලයේ ගිනි ගන්නා තුඹසේ කතාව කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට පැවසී ය. එම තුඹස හාරගෙන යන විට මතු වූ වස්තූන් හා පුද්ගලයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට දේශනා කළ සේක.

වම්මික සූත්‍ර දේශනාවේ අතර මැද විරාමයක් ගෙන අපගේ මතකය අවදිකර ගනිමු. මනුෂ්‍යයන් ලෙස සිල්වත්, ධර්මානුකූල ජීවිතයක් පවත්වා, සමාධිය වඩා, ප්‍රඥාව ඇති කරගත් ඇත්තෝ යම් විටෙක මාර්ගඵලාවබෝධයක් නොලැබූවත් සුගතියක ඉපදී සම්‍යක් දෘෂ්ටික දෙවියන් බවට පත්වෙනවා. ඒ සම්‍යක්දෘෂ්ටික දෙවියන්ට කොතැනක හෝ තවත් දෙවියෙක් විසින් ධර්මය දේශනා කරනු ලබනවා. එසේ නැතිනම් සාකච්ඡා කරනවා. ධර්මය ශ්‍රවණය වූවොත් ඉතාම හොඳින් වැටහෙන්න පටන් ගන්නවා. එය මෙසේ පැහැදිලි කළහැකියි. බෙර හඬක්, සක් හඬක් හොඳින් හුරු පුරුදු අයෙකුට කොතැනක දී හෝ එවැනි බෙර හඬක්, සක් හඬක් ඇසුණොත් එය බෙර හඬකි. ඒක සක් හඬකි, යැයි නිවැරැදිව හඳුනාගන්නට පුළුවන්. අන්න ඒ වගේ දහම් මඟට නිසි ලෙස සිත පුරුදු වුණාම මනුෂ්‍යය ලෝකයේ දී මාත්‍ර පමණින් ඇසෙන විට ඒ දහම් පෙළ හොඳින් වැටහෙනවා. එසේ ම මරණින් මතු ධර්මානුකූලව, සත්පුරුෂව ගත කළ සිල්වත් මනුෂ්‍යයෝ සුගතියක ඉපදුණත් දහම් පෙළ පහසුවෙන් මතුවෙන්නට පටන් ගන්නවා.

යම් දෙවියෙක් ධර්මය දේශනා කරන විට හෝ , සාකච්ඡා කරන විට හෝ තවත් තැනක දේශනා කරනවා ඇසුණොත් මේ දහම් පෙළ මට ඉතාමත් හොඳින් හුරුයි කියා සසරේ පුරුදු කරන ලද දහම් පෙළ මතුවී තමන්ට දැනෙන්නට පටන් ගන්නවා. මේ නිසා සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන මනුෂ්‍යයෝ මේ ජීවිතයේ ම සියලු කෙලෙසුන් නැසුවේ නැති වූව ද, ඔවුන්ගේ සසර ගමනේ දී සුගතිගාමීව ඇති කරගත් පුරුද්ද අනුව සදහම් ගමන වඩාත් ඉක්මන් කරගෙන සියලු කෙලෙසුන් නැසීමේ අවස්ථාව සැලසෙනවා.

එසේ නම් ඔබත් කෙලෙසුන් නැසීමේ අරමුණ සිතෙහි දරාගෙන නිවන ම අරමුණු කරගෙන සීල, සමාධි, ප්‍රඥා ගුණ මඟ ගමන් කළ යුතුයි. වැඩිය යුතුයි. යම් විටෙක මාර්ගඵල අවබෝධයක් ලබා ගන්නට නොහැකි වූයේ නම්, එය මේ ජීවිතයෙන් අවසන් වෙන්නෙ නැහැ. ඉන් අදහස් කළේ පුරුදු කරන ලද දහම් මඟ පටිපදාව සුගතියේදීත් නැවත මතුවෙලා ඒ පුරුද්ද හා සමඟින් ඉදිරියටත් ඒ මඟ වැඩි දියුණු කරගෙන නිවන අරමුණු කර ගන්න පුළුවන්කම ලැබෙනවා කියන අදහසයි.

අප නැවතත් වම්මික සූත්‍ර දේශනාවේ කතාවට යොමුවෙමු. එනම් භාග්‍යවතුන් වහන්සේ එක්තරා දෙවියෙක් විසින් කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට කරන ලද කතාව විස්තර කරන ලද සුන්දර අවස්ථාවයි. භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයට කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ සමඟ ධර්ම සාකච්ඡාවක යෙදෙනවා. ඉන් අදහස් වන්නේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් තුඹසේ කතාව එකින් එක ප්‍රශ්න කරනවා.

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ කතාව පරමාර්ථ ධර්ම කතාවක් ලෙස ම උපමාවන්ගෙන් විග්‍රහ කරනවා. ඒ මේ ආකාරයෙනි. ස්වාමිනී, තුඹස කියන්නේ කුමක් ද? රෑ කාලයේ දුම් දමන්නේ මොනවා ද? දවල් කාලයේ ගිනි ගන්නේ මොනවා ද? බ්‍රාහ්මණයා කියන්නේ කවුද? ඤාණවන්තයා කියන්නේ කවුද? ආයුධය කියන්නේ කුමක් ද? හාරනවා කියන්නේ කුමක් ද? අගුල මොකක් ද? ගෙම්බා කවරෙක් ද? දෙමන් හන්දිය කුමක් ද? හිස් භාජනය කුමක් ද? ඉබ්බා කවුද? කඩුවයි මස් කපන කොටයයි කියන්නේ මොකක් ද? මස් කුට්ටිය කියන්නේ කුමක් ද?

මේ ප්‍රශ්න සියල්ලට ම බුදුරජාණන් වහන්සේ ලබාදෙන පිළිතුර පිළිබඳව අපි සියලුදෙනාම ඉතා හොඳින් සිත යොමු කරමු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත් භික්ෂුව තුඹස කියා කියන්නේ මේ ශරීරයට කියන තවත් නමක්. මවුපියන් නිසා හටගත්තා. බත් මාළු පිනිවලින් හැදෙන, වැඩෙන, නිත්‍ය නොවන, වහා වෙනස්වන, ඉලීම්, පිරිමැදීම් කරමින් අප මොනතරම් පවත්වාගන්නට උත්සාහ කළ ද, නිතැතින් ම බිඳී යන ස්වභාවයට අයිති මේ සිරුරටය තුඹස කියා කියන්නේ.