Print this Article


පවෙහි සැහැසි බව පෙන්වන පේත කථා-20: පවිටු ක්‍රියාවෙන් දරුණු විපාක

පවිටු ක්‍රියාවෙන් දරුණු විපාක

" බුදු දහමේ එන අපාය, දුගතිය, ප්‍රේත ලෝක පිළිබඳ ඉගැන්වීම් මගින් පුද්ගලයා සදාචාර සම්පන්න කිරීමට පොළඹවනු ලැබේ. ඒවා සත්‍ය ද, අසත්‍ය ද යන්න සොයනවාට වඩා වැදගත් වන්නේ එමඟින් ඉස්මතු කරන සාදාචාරත්මක ආදර්ශයයි."

භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි කුමාර ප්‍රේතයන් දෙදෙනෙකු අරභයා මෙම පේත කථාව දේශනා කළහ. සැවත්නුවර කොසොල් රජුගේ තරුණ පුත්‍රයන් දෙදෙනා යෞවන මදයෙන් මත්ව පරදාර සේවන අකුශල කර්මය සිදුකළහ. පසු කලෙක ඔවුන් දෙපළ මියගොස් පරදාර අකුශල කර්මයේ විපාක වශයෙන් දිය අගලක් මතු පිට ප්‍රේතයන් ව උපන්නාහ. එම ප්‍රේතයන් දෙපළ රාත්‍රියෙහි ඉතා භයානක ශබ්දයක් ඇතිකරමින් කෑගසීය. එම බිහිසුණු ශබ්දය ඇසූ එහි අවට වාසය කළ මිනිස්සු බියෙන් තැති ගත්තහ.

එම බිහිසුණු ශබ්දය නිසා තමන්ට මහත් නපුරක් වෙතැයි සිතූ ඔවුහු එයින් මිදීම පිණිස පසුදින බුදු පාමොක් මහ සඟනට දන් පිරිනමා ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේට දැන් වූහ. එම බිහිසුණු ශබ්දයෙන් ඔවුන් කිසිවෙකුටත් හානියක් නොවෙන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ සත්‍ය කුමක්ද යන්න පැහැදිලි කරමින් ධර්මය දේශනා කළහ. මෙසේ බුදුරජාණන් වහන්සේ එම පේත කථාව පැහැදිලි කර දීමෙන් පසුව දන් පූජා කළ සැදැහැවත් වූ ප්‍රේතයන්ට පින් අනුමෝදන් කොට ඔවුන් දුකින් මිදවූහ. අනාචාරය දරුණු විපාක ගෙන දෙන පවිටු ක්‍රියාවක් බව මෙම පේත කථාවෙන් පැහැදිලි වේ.

මෙම පේත කථාවේ එන තරුණ කුමාරවරු දෙපළ යෞවන මදයෙන් මත්ව අනාචාරයේ යෙදුණ බව තහවුරු වේ. දුරාචාරය සඳහා පුද්ගලයා මෙහෙයවන ප්‍රධාන මානසික බලවේගයකි යෞවන මදය. ධනය හා බලය ඇති බොහෝ තරුණ තරුණියන් එයින් මත් වී නොයෙකුත් අපචාර ක්‍රියාවලට සම්බන්ධ වන අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. කොසොල් රජුගේ පුත් කුමාරවරු දෙපළ තම පියාගේ බලය හා ධනය උපයෝගීකරගෙන මෙබඳු සදාචාර විරෝධී ක්‍රියාවල නිරත වන්නට ඇතැයි සිතිය හැකි ය.

බුදුසමයට අනුව යෞවන මදය පමණක් නොව තමන් නොමැරෙන අයෙකු ලෙස සිතා ඇතිකරගන්නා ජීවිත මදයත්, ලෙඩ රෝගවලට ගොදුරු නොවේ යැයි සිතා ඇතිකරගන්නා ආරෝග්‍ය මදයත් යන දෙකම පාපය හා අකුශලයට පුද්ගලයා යොමුකරන බලවත් චිත්තවේග වේ. බොහෝ දෙනෙකු මෙම මද තුනෙන් එකකින් හෝ මුලාවට පත්ව පවිටු සැහැසි ක්‍රියාවල නිරතවන බව විවිධ සිදුවීම් හා සම්බන්ධ මානසික පසුබිම ගැඹුරින් විශ්ලේෂණය කළ විට පැහැදිලි වේ. කාමයෙහි වරදවා හැසිරීම පංච දුශ්චරිතයට මෙන්ම දස අකුශලයට ද අයත් පාප ක්‍රියාවකි. කාමය හා සම්බන්ධ චිත්ත වේගය සහජ මිනිස් අවශ්‍යතාවක් වුවද එය පාලනයකින් තොරව නීතිය, සදාචාරය හා යුක්තිය ගැන නොසළකා ක්‍රියාවට නැංවීමෙන් බොහෝ අනතුරු සිදු වේ.

එක් අතකින් එයින් සමාජයේ යහපැවැත්මට හානිවන අතර ම, සුව කළ නොහැකි දරුණු ආබාධ ඇති වීමට ද හේතුවක් වේ. අනාචාරය නිසා පරලොව දී විඳීමට සිදුවන ආදීනවවලට වඩා වැඩි ආදීනව ප්‍රමාණයක් මෙලොවදී විඳීමට සිදු වේ. දුරාචරය නිසා ලැබෙන පරලොව ආදීනව වලට අමතරව මෙලොවදී තමාම තමාට දොස් පවරා ගැනීම හෙවත් හෘදය සාක්‍ෂිය විසින් ඇතිකෙරෙන බලපෑම් නිසා මානසිකව අසහනයට පත්වීම (අත්තාපි අත්තානං උපවදති), සමාජයේ උසස් මිනිසුන්ගේ ගැරහුමට ලක්වීම ( අනවිච්ච විඤ්ඤූ ගරහන්ති), ස්ත්‍රී දූෂකයෙක්, අපරාධකාරයෙක් ආදි වශයෙන් අපකීර්තියට පත්වීම (පාපකො කිත්ති සද්ධො අබ්භුගච්ඡති) මරණයට පත්වන අවස්ථාවෙහි දැඩි ලෙස මානසිකව අවුල් සහගත තත්ත්වයට පත්වීම (අසම්මූල්හො කාලං කරොති) ආදියට මුහුණ දීමට සිදුවන අතර පරලොවදී දුගතියේ උප්පත්තිය ලැබීම සිදුවේ (අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති).

මේ අනුව අනාචාරයේ ප්‍රතිඵලයක් ලෙස වැඩිම ආදීනව ප්‍රමාණයකට මුහුණ දීමට සිදුවන්නේ මොලොවදීම යන්න පැහැදිලි වේ. දිට්ඨධම්මවේදනීය වශයෙන් විඳීමට සිදුවන අපහසුතා හතරින් එහි බලපෑම කෙසේද යන්න මැනවින් ප්‍රකට වේ. අංගුත්තර නිකායේ පංචවේරභය සූත්‍රයෙහි දැක්වෙන්නේ අනාචාරයේ හැසිරීම හේතුවෙන් පුද්ගලයා මෙලොවදී භය හා වෛරය රැස් කරන බවත් (දිට්ඨ ධම්මිකම්පි භයං වේරං පසවති) පරලොවදී භය හා වෛරය රැස් කරන බවත් එසේම බලවත් චිත්ත පීඩාවට පත්වන බවත්ය (චේතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවේදෙති).

අනාචාරයේ යෙදෙන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම එයින් තාවකාලිකව යම් ආශ්වාදයක් ලැබුවත් බලවත් ලෙස අන් අයගේ වෛරයට පාත්‍ර වේ. වෛරයට භාජනය වීම නිසා ජීවිතයෙන් ද වන්දි ගෙවීමට සිදුවිය හැකි ය. එසේම තමා කළ වරද හෙළි වේ යැයි යන බිය ද ඔවුන්ගේ සිත් තුළ නිතර නිතර පිළිරැව් දෙයි. මේ අනුව අනාචාරයේ නිරත තැනැත්තාට කිසිදු මානසික අස්වැසිල්ලක් ලද නොහැකි ය. පංච ශීලයේ එන තුන්වන ශික්ෂාවෙන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් මැනවින් සුරක්‍ෂිත කොට ඇති බව එම ශික්ෂා පදය නිර්වචනය කරන සූත්‍ර දේශනා මගින් පැහැදිලි වේ.

ඒ අනුව කිසියම් ස්ත්‍රියක්, කාන්තාවක් දැරියක් මවගේ ආරක්ෂාව යටතේ වෙසේ ද, පියාගේ ආරක්ෂාව යටතේ වෙසේ ද, මව් පිය දෙදෙනාගේ ම ආරක්ෂාව යටතේ වෙසේ ද, ඤාතීන්ගේ ආරක්ෂාව යටතේ වෙසේ ද, ග්‍රෝත්‍රය විසින් ආරක්ෂා කරනු ලැබේ ද, ධර්මය හා නීතිය මගින් ආරක්ෂා කරනු ලැබේද සිරගතව දඬුවම් විදිනු ලැබේ ද, විවාහක ද, අවම වශයෙන් විවාහ ගිවිසගෙන සිටී ද එවැනි කාන්තාවකගේ, දැරියන්ගේ ආත්මගරුත්වය කෙලෙසීම, ඔවුන් දුෂණය කිරීම කිසිසේත් ම නොකළ යුතු ය.

වර්තමානයේ කාන්තා අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමෙහිලා දරන ප්‍රයත්නයේ දී මෙම ඉගැන්වීම්වල ඇති උපයෝගීතාමය අගය කොතෙකැයි ද යන්න නිශ්චය කළ නොහැකි ය. වසර දෙදහස් පන්සිය ගණනකට පෙර පංචශීල සාදාචාරය යටතේ එය අවධාරණය කර ඇති බෞද්ධ ඉගැන්වීම් වර්තමානයට ද එකසේ අදාළවීමෙන් බුදුදහමේ සර්වකාලීන අගය වටහා ගත හැකිය. නවීන තාක්ෂණය විසින් හඳුන්වාදෙන ලද ඇතැම් මෙවලම් අවිචාරවත් ලෙස පරිහරණය කිරීම ද අනාචාර ක්‍රියා වැඩි වීමට එක් හේතුවක් වී තිබේ.

මෙහි වරද ඇත්තේ එම තාක්ෂණික මෙවලම්වල නොවේ. එය භාවිත කරන්නාගේ අනුවණ බව ඒ කෙරෙහි හේතු වී තිබේ. තාක්ෂණික උපකරණවලට සාදාචරය හෝ දුරාචාරය යනුවෙන් කිසිම නිර්ණායකයක් නැත. එවැනි නිර්ණායක තිබෙන්නේ එම උපකරණ භාවිත කරන, ඒවා පාලනය කරන පුද්ගලයාටය. ලජ්ජා භය යන ලෝක පාලක ධර්ම දෙක අදාළ වන්නේ මිනිසාටය. තිරිසන් සතුන්ට එය කිසිසේත්ම අදාළ නැත. තිරිසනකු මෙන් ලජ්ජා බිය දෙක නොසලකා කටයුතු කිරීමෙන් මිනිසා ද තිරිසනකුගේ තත්ත්වයට පත් වේ.

ධර්මය හා සදාචාරය මිනිසා හා තිරිසනා අතර වෙනස පෙන්වන එකම නිර්ණායකය වේ. ධර්මයට හා සදාචාරයට අනුව කටයුතු කිරීමෙන් මිනිසා උසස් අයෙකු බවට පත්වේ. එය නොසලකා ක්‍රියා කරන්නා තිරිසනෙකු ලෙස හැඳීන්වීමේ කිසිදු වරදක් දැකිය නොහැකි ය. සහජ මිනිස් අවශ්‍යතාවක් වන ලිංගික කාමය සදාචාරාත්මක සීමාවන් තුළ ක්‍රියාවට නැංවීමෙන් පුද්ගලයාට මෙන්ම සමාජයටත් සිදුවන යහපත ඉමහත් ය.

බුදු දහමේ එන අපාය, දුගතිය, ප්‍රේත ලෝක පිළිබඳ ඉගැන්වීම් මගින් පුද්ගලයා සදාචාර සම්පන්න කිරීමට පොළඹවනු ලැබේ. ඒවා සත්‍ය ද, අසත්‍ය ද යන්න සොයනවාට වඩා වැදගත් වන්නේ එමඟින් ඉස්මතු කරන සාදාචාරත්මක ආදර්ශයයි. එම ආදර්ශය පිළිගෙන අනාචාරයෙන් වැළකීමෙන් ප්‍රීතිමත් යුග ජීවිතයක් මෙන්ම සැපවත් ගිහි ජීවිතයක් ද උරුමකරගත හැකි වේ.