Print this Article


සෙංකඩගලපුර සිරි දළදා වරුණ

සෙංකඩගලපුර සිරි දළදා වරුණ

දළදා වහන්සේ වෙනුවෙන් දිනපතා පැවැත්වෙන තේවා කටයුතුත්, සතිපතා පැවැත්වෙන කවිකාර මඩුවත්, නානුමුර මංගල්ලයත් හේතුවෙන් දළදා මාලිගාවේ ඓතිහාසිකත්වය අදට ද ආරක්ෂා වී පවතී.මෙම පූජාවන්ට අමතරව අවුරුදුපතා පැවැත්වෙන ප්‍රධාන උත්සව හතරක් එනම් සතර මංගල්ලයන් පැවැත්වේ.

අලුත් අවුරුදු මංගල්ලය, ඇසළ මංගල්ලය, කාර්තික මංගල්ලය, සහ අලුත් සහල් මංගල්ලයයි. මෙම උත්සව හතරට අමතරව තවත් වැදගත් උත්සවයකි උපසම්පදා මංගල්ලය.ඇසළ මාසයේ දී ලංකාවේ සෑම ප්‍රධාන දේවාලයක ම වාගේ පෙරහරක් පවත්වා එයින් ප්‍රධාන වන්නේ දළදා මාලිගාවේ පැවැත්වෙන ඇසළ පෙරහර ය. ඇසළ මහ යනු ලංකාවේ නියං සමය අවසන් කරන මාසය ලෙස සැලකේ. නියං සමයේ පෑවිල්ල හේතුවෙන් ගස් කොළන්වලටත්, සතා සිවුපාවන්ටත්, කෙත් වතුවලටත් විශාල අලාභහානි සිදු වේ.ඒ නිසා වැස්ස ඉල්ලා දෙවියන්ට කන්නලව් කිරීම අතීතයේ සිට ම සිංහල ජනතාවගේ සිරිතකි. එම අරමුණින් සිදු කළ එක් චාරිත්‍රයකි අලි ඇතුන් සහිත දේවාභරණ වඩම්මවා, දිය කපා, පෙරහරක් පවත්වා දෙවියන්ට පින් දී වැස්ස ප්‍රාර්ථනා කිරීම.

නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි දෙවිවරුන් හතර දේවාලයන් හි අතීතයේ සිට ම පෙරහර පැවැති බව ද කියවේ. දේවාල පෙරහරට දළදා පෙරහර එකතු කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු බව පැවසෙන අතර වර්තමානයේ මහනුවර ඇසළ පෙරහරේ මුලින් ම ගමන් කරන්නේ දළදා මාලිගාවේ පෙරහර වන අතර දේවාල පෙරහර එයට එක් වන්නේ එක්තරා අනුපිළිවෙලකට ය. එනම් පළමුව නාථ දේවාල පෙරහර, දෙවනුව විෂ්ණු දේවාල පෙරහර, තුන්වනුව කතරගම දේවාල පෙරහර සහ අවසානයට පත්තිනි දේවාල පෙරහර ගමන් කරයි.

සෑම වසරක ම ඇසළ මාසයේ දී මාලිගාව හා සිව් මහා දේවාලයන් විසින් සංවිධානය කරන අති විශාල ජාතික වූ ද ආගමික වූ ද, සංස්කෘතිකමය වූ ද මහා පෙරහර මංගල්ලය සතර මහා දේවාලයන් හි කප් සිටුවීමෙන් ආරම්භ වේ.

පළමු දින පහේ දී සිව් මහා දේවාල ඇතුලේ පෙරහර පැවැත්වේ. එනම් ඒ ඒ දේවාලයන්හි වැඩ සිටිනා දෙවිවරුන්ගේ රන් ආයුධ කුඩා පෙරහරකින් දේවාල ගොඩනැගිල්ල වටා ප්‍රදක්ෂණා කිරීමයි. සතර මහා දේවාලයන්හි ම පුරා දින පහක් මේ ඇතුල් පෙරහර පවත්වනු ලබන මුත් ශ්‍රී දළදා මාලිගාවේ එවැනි පෙරහරක් නොපවත්වයි.ඉන් පසු එළඹෙන දින පහේ දී සතර මහා දේවාල පෙරහර දළදා මාලිගාවේ පෙරහරට එක් වී වීථි සංචාරය කරමින් පෙරහර පවත්වයි. ඊට කුඹල් පෙරහර යන නාමය ව්‍යවහාර වේ.ඊළඟ දින පහේ රන්දෝලි පෙරහර පැවැත්වේ. දිනෙන් දින වඩ වඩාත් අලංකාර ලෙස සංවිධානය කරන පෙරහරට අලි ඇතුන් හේවිසිකරුවන් නර්තන කණ්ඩායම් වැඩි වැඩියෙන් එකතු කරනු ලැබේ.

රන්දෝලි පෙරහරේ පස්වන දින පැවැත්වෙන මහ පෙරහරෙන් පසුව මාලිගාවේ හා සිව්මහා දේවාලවල පෙරහර නැවතත් පිටත් ව අස්ගිරි මහා විහාරයේ ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයට පැමිණ චාම් මෙන් ම විසිතුරු පෙරහරකින් පැමිණ පෞරාණික, චාරිත්‍රානුකූලව පෙරහර කරඬුව එහි තැන්පත් කොට ආපසු පැමිණේ.පසුදා දවල් පෙරහරෙන් කරඬුව ආපසු වැඩමවන තුරු එහි තැන්පත් කොට තබනු ලබන්නේ ඉතා දුෂ්කර විපත්තිකර අවස්ථාවල දී අතීතයේ දී දළදා වහන්සේ ආරක්ෂා කරගත් අස්ගිරි මහා විහාරයට ගෞරව කිරීමක් වශයෙනි.

එදින ම දවල් දිය කැපුමෙන් පසු සිව් මහා දේවාල පෙරහර ආදාහන මළුවේ ගෙඩිගේ විහාරය වෙත ගොස් එහි සූදානම්ව ඇති ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර හා එක්ව පැමිණ රජමාලිගා චතුරශ්‍රය වටා තෙවරක් පැදකුණු කොට මාලිගාවේ පෙරහර මාලිගාවටත් සෙසු දේවාලයන්හි පෙරහර ඒ ඒ දේවාලවලටත් ගෙවදී.