Print this Article


අටුවා රසකතා- 06: උරමත දී රහත් වූතෙරනමක්

උරමත දී රහත් වූතෙරනමක්

මෙම ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ උපාසකයෙකුගේ කරමත දී රහත් වූ අම්බඛාදක මහාතිස්ස තෙරුන් වහන්සේගේ කතා ප්‍රවෘත්තිය යි. උපසම්පදා භික්ෂුවක විසින් තම ජීවිතයට අනතුරක් වුව ද තම ශික්ෂාවන්ට අනතුරක් නො කරගත යුතු ය, යන්න මේ කතා ප්‍රවෘත්තියෙන් අපට පෙන්වා දෙයි.

බුද්ධඝෝස හිමියන් මෙම කතාව උදාහරණ පහක් ලෙස යොදා ගන්නේ සතර සංවර සීලය විස්තර කිරීමෙන් අනතුරුව ශීලයේ පාරිශුද්ධි පහක් විස්තර කරන අවස්ථාවේ ‘පරියන්ත පාරිශුද්ධි’ යන්න විස්තර කිරීමට ය. ඒ අනුව මෙය වඩාත් පැහැදිලි කරගැනීම සඳහා පළමුව ශීලයෙහි පාරිශුද්ධි පඤ්චකය දැනගැනීම වැදගත් වෙයි.

පඤ්චවිධ ශීල පාරිශූද්ධිය

01. පරියන්ත පාරිශුද්ධිය

02. අපරියන්ත පාරිශුද්ධිය

03. පරිපුණ්ණ පාරිශුද්ධිය

04. අපරාමට්ඨ පාරිශුද්ධිය

05. පටිපස්සද්ධි පාරිශුද්ධිය යනුයි

උපසම්පදා නොවූ භික්ෂූන්ගේ ශීලය මෙතෙකැයි ප්‍රමාණ කළ හැකි බැවින් එම ශීලය පරියන්ත පාරිශුද්ධි ශීලය ලෙස හඳුන්වයි.

උපසම්පදා භික්ෂුවගේ ශීලය මෙතෙකැයි කෙළවරක් නැති බැවින්, හෙවත් සීමා කිරීමට නොහැකි බැවින් අපරියන්ති පාරිශුද්ධි ශීල නම් වෙයි.

කල්‍යාණ පෘථජ්ජන යමෙකුගේ ශීලයක් ඔප දැමූ මිණි රුවනක් මෙන් උපසම්පදාවේ පටන් දිනෙන් දින පිරිසුදු වේ ද, අකුසලයක් කරනුයේ තබා සිතනුයේ වත් නො වේ ද, එය රහත් බවට ම කාරණා වේ ද , එබඳු ශීලය පරිපුණ්ණ පාරිශුද්ධි ශීලය නම් වෙයි.

ශෛක්ෂකයාගේ හෙවත් සෝවාන් මාර්ගයට පෙර අවස්ථාවේ සිටින පුද්ගලයාගේ ශීලය දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කරන බැවින් අපරාමට්ඨ පාරිශුද්ධි ශීල නම් වෙයි.

ශීලය මනාව ආරක්ෂා කරන පුද්ගලයා තම දිවිය පවා කැපකොට ශීලය ආරක්ෂා කරන අයුරු විසුද්ධි මාර්ගයේ මෙසේ සඳහන් වෙයි.

(ශස්තපාදාදි ශරීර අංග ආරක්ෂා කරණු පිණිස ධනය වුව දෙන්නේ ය. ජීවිතය රැකීම පිණිස ශරීර අංග වුව දෙන්නේ ය. ධර්මය හෙවත් ශීලය ආරක්ෂා කිරීම පිණිස තම ශරීරාංග පමණක් නොව ජීවිතය වුව ද දෙන්නේ ය. )

අම්බඛාදක මහාතිස්ස මහතෙරුන් වහන්සේ

ලක්දිව චීවරගුම්මක නම් විහාරයෙහි මහාතිස්ස නමින් තෙරනමක් වැඩ වාසය කළහ. දිනක් උන්වහන්සේ දුර්භික්ෂ කාලයක දීර්ඝ මාර්ගයක පිඬු පිණිස වඩින්නේ එක් ගමකට වැඩි සේක. එහෙත් උන්වහන්සේට දුර්භික්ෂය නිසා එම ගමෙන් පිණ්ඩපාතය නො ලැබුණි. වේල් කිහිපයක් භික්ෂාව නො ලැබීමෙන් ක්ලාන්ත වු උන්වහන්සේ ඵලගත් එක් අඹ රුකක් මුල සිහිල් සෙවනේ වැතිර වැඩහුන් සේක. වැටී තිබූ එක් අඹ ගෙඩියක් දැක එය වැළඳීමට සිතුන ද, කෙනෙකු විසින් පිළිනොගැන් වුවක් උපසම්පදා භික්ෂුවකට කැප නො මැති බැවින් එය නො වළඳා සිටියහ. ඒත් සමඟම උන් වහන්සේ ටික වේලාවකින් ක්ලාන්ත විය.

මේ අවස්ථාවේ එම ස්ථානයෙන් ගිය එක් මගියෙක් ක්ලාන්තව වැටී සිටි උන්වහන්සේ දැක අඹ ගෙඩිය ගෙන මිරිකා අඹ යුෂ පෙව්ව ද, උන්වහන්සේට සිහිය පැමිණියේ නැත. ඉන් පසු ඒ මගියා උන්වහන්සේට ප්‍රතිකාර කරනු රිසිව තමාගේ පිට උඩ උන්වහන්සේ නංවාගෙන සිය ගමට යෑමට පිටත් විය. එයින් මද වේලාවකට පසු සිහිය ලැබූ උන්වහන්සේ මේ කිමෙක් දැයි සිහි කරනුයේ කරුණු අවබෝධව තමන් වහන්සේට ම මෙසේ අවවාද කරගත්හ.

‘න පිතා නපි තෙ මාතා, න ඤාති නපි බන්ධවො,
කරොතෙතාදිසං කිච්චං, සීලවන්තස්ස කාරණා.
සංවෙගං ජනයිත්වාන, සම්මසිත්වාන යොනිසො
තස්ස පිට්ඨිගතො සන්තො, අරහත්තං අපාපුණි’ති

(මොහු ඔබගේ පියා ද නොවේ. ඔබගේ මව ද නොවේ. සහ ලේ ඥාති ද නොවේ. සිල්වත් බව හේතුකොට ගෙන මෙසේ උපකාර කරයි. මෙසේ සංවේගය උපදවාගෙන එළඹගත් සිහියෙන් යුක්ත වූයේ උන්වහන්සේ ඔහුගේ කරමත දී ම සව් කෙලෙස් නසා උතුම් රහත් භාවයට පත් වූහ.)

භාවිතය

ශීලය යනු, හදවතට එකඟවම ආරක්ෂා කළ යුතු දෙයකි. තව කෙනෙකුට හොවා පෙන්වීම පිණිස හෝ යම් ප්‍රත්‍යයක් අපේක්ෂාවෙන් නුවණැත්තෝ කෙදිනකවත් සිල් නො රකිති. කිසිදු අපේක්ෂාවකින් තොරව යමෙක් සසර බය දැන හැඳින ගෙන ශීලය ආරක්ෂා කරන්නේ නම් බලාපොරොත්තු නො වුව ද, එහි සාංදෘෂ්ටික වූ කල්‍යාණ ප්‍රතිඵල අනිවාර්ය වේ. එය මෙලොව පරලොව දෙලොව යහපත පිණිස ම හේතු වන්නකි. ඒ නිසා නුවණැත්තා තම දිවිය ද දෙවැනි කොට ජීවිත පරිත්‍යාගයෙන් වුව ශීලය ආරක්ෂා කිරීමට පසුබට නො වන්නේය.