කිළිටි මනස ගෙනෙයි නපුර
කුරුණෑගල මලියදේව
විද්යාරක්ෂක මහ පිරුවන්හි
නියෝජ්‍ය පරිවේණාධිපති
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
වදාවේ ධම්මරතන හිමි
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතෝ නං දුක්ඛමන්වේති
චක්කං ච වහතෝපදං ධම්මපදය 1 ගාථාව)
සිතිවිලි සිත මුල් කොට උපදින්නේ
උතුම්ය සිත ඉන් සැම නිපයෙන්නේ
කිළුටු සිතින් කළ කී දේ දෙන්නේ
දුක්මය රිය සක ලෙස නුව එන්නේ
සිත සියල්ලටම මුල් වෙයි. මනසින් උපදින සිතිවිලිවලට මනස ශ්‍රේෂ්ඨ වෙයි. ඉඳින් කිළිටි
සිතින් යමක් කීවත්, කළත්, සිතුවත් ඒ සියල්ල අකුසල් ය. එයින් ඔහු පසුපස දුක ලුහු
බඳී. කරත්තයෙහි බැඳි ගොනා පිටුපස එන කරත්ත රෝදය මෙනි.
චෛතසික ධර්මයෝ මනස ප්‍රධාන කොට ඇත්තාහ.මනසින් ම උපදින්නේය. චෛතසික හෙවත්
සිතිවිලිවලට මුල් වන්නේ සිතයි. සොරුන්ට සොර නායකයෝම අධිපති වන්නේ ද, ශ්‍රේෂ්ඨ වන්නේ
ද එපරිද්දෙන්ම සිතිවිලිවලට ශ්‍රේෂ්ඨ වන්නේ ද සිතයි. කර්ම තිදොරින්ම රැස් වේ. ලීයෙන්
කළ භාණ්ඩයන්ට දාරුමය නම යොදන්නේ යම් සේ ද එපරිද්දෙන්ම සිතින් කරන ක්‍රියාවලට මනෝමය
යන නම යෙදේ. මනසින් කරන කර්ම මනෝමය කර්ම නම් වේ. “මේ සිත ඉතා ප්‍රභාස්වරයි. නමුත්
එය ආගන්තුකව බාහිරින් පැමිණෙන උපක්ලේෂ නිසා කිළිටිවූයේ වෙයි.” යම් සේ පැහැදිලි ජලය
ආගන්තුකව පැමිණෙන නිල් ආදී වර්ණ නිසා අපැහැදිලි වන්නේ ද එපරිද්දෙන්ම ප්‍රභාස්වරව
පවතින සිතට බාහිරින් පැමිණෙන රාග, දෝෂ, මෝහාදිය නිසා නිතර නිතර කිළිටි වේ. ඒ කිළිටි
වූ මනසින් යමෙක් යම් දෙයක් සිතයි නම්, ඒ අකුසල් සිතිවිලි ය. යම් දෙයක් කියයි නම් ඒ
අකුසල් වදන්ය. යම් දෙයක් කරයි නම් ඒ අකුසල ක්‍රියාවන් ය. ඒ තුන් ආකාර වූ දුෂ්චරිතය
නිසා සතර අපායෙහි හා මනුෂ්‍ය ලෝකයෙහි කායික මානසික දුක් පීඩා ගෙන දෙයි. ඉපදෙන මැරෙන
භවගාමී සත්ත්වයන් තිදොරකින් කර්ම රැස් කරයි. සිත හැම දෙයකට ම ප්‍රධාන වේ. අපි ජීවත්
කරවන්නේත් සිතයි. අද තියෙන වැඩ කටයුතු නිමා කර නින්දට යන්නේ හෙටට නියමිත වැඩ කටයුතු
යොදාගෙන ය. ඒ බව අපිට සංඥා කරනුයේ සිත විසිනි. එහෙනම් දැන් පැහැදිලියි. සිත කොච්චර
වැදගත්ද කියලා. හැබැයි මේ සිත රෝගී වෙනවා. ඒ කියන්නේ කෙලෙස් නිසා පීඩාවට පත් වෙනවා.
ලෝභ, දෝස, මෝහ මද, මාන්න ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, පළිගැනීම් ආදී කෙලෙස්වලින්. ඒ නිසා
අප මේ සිත නිරෝගීව පවත්වා ගත යුතුයි. අපේ සිතට කෙනෙක් පිළිබඳව ද්වේෂය එහෙමත්
නැත්නම් තරහව ආව කියල හිතමු. ඒ වේලාවට අපේ සිතිවිලි කොහොමද? ඒ කෙනා කරපු නපුර ගැන
හිත හිතා සිත තුළ තරහ සිතිවිලි ගලාගෙන එනවා. පළිගැනීම් සිතිවිලි ගලාගෙන එනවා.
කොහොමද බනින්නේ? කොහොමද ගහන්නේ? කියා සිත තුළම සැලසුම් හදනවා. ඒ කෙනා දකිද්දීත්, ඒ
කෙනා කථා කරද්දීත්, අපේ සිත තුළ තරහක් ඇති වෙනවා. සිත තරහෙන් පෙළෙනවා. අපේ සිත
ඉක්මනින්ම ලෙඩ වෙනවා.
ඊළඟට බලන්න තරහ සිතට ආ වෙලාවට අපේ වචනය මොනතරම් නින්දිතද? කැතද? කෙනෙකුට අහගෙන ඉන්න
බැරි පරුෂ වචන, කෙනෙක්ගේ හිත තැලෙන වචන, ඒ කෙනා නිසා උපන් තරහව නිසාම ඒ කෙනා නොකළ
දේ නොකියපු දේ වුණත් කළා. කිව්වා කියලා බොරු කියනවා. බලන්න, මේ සිත මොන තරම්
ප්‍රබලද කියලා. සිතට තරහ ආපු හින්දයි මේ. ඒ වගේම ඒ වෙලාවේ අපේ කය කොච්චර රෞද්‍රද?
දත් මිට කනවා, දහඩිය දමනවා. මිට මෙළවෙනවා. වෙව්ළනවා, දත් විළිස්සෙනවා. මූණ රතු
වෙනවා. පොළවේ පය හප්පනවා. මේ පුංචි සිතක උපන් පුංචි සිතිවිල්ලක් ගිය දුරක්. ඔය වගේම
තමයි රාගය සිතට ආවොත්. මෝහයක් සිතට ආවොත්, මාන්නයක් සිතට ආවොත්. අනෙකුත් කෙලෙස්
සියල්ලම සිතට ආවොත්.
එහෙනම් දැන් පැහැදිලි ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ. සිත තමයි හැම දේකටම
ප්‍රධාන වෙන්නේ. සිතින් තමයි සිතිවිලි උපදින්නේ. ඉඳින් මේ සිත තුළ අකුසලයක්
ඉපදුණොත් ඒ සිතින් උපදින සිතිවිලිත් අයහපත්ය. අකුසලය දූෂිතය. ඒ සිතිවිලි නිසා කරන
ක්‍රියා අයහපත්ය. අකුසලය, දූෂිතය. ඒ නිසා කියන වචන අයහපත්ය. අකුසලය. දූෂිතය, එහෙනම්
ලෝකයා සිතින්, වචනයෙන්, කයින් පවුකම් කරන්නේ මේ සිත දූෂිත වීම නිසා ය. වචනයෙන් කරන
අකුසල පේනවා. කයින් කරන අකුසල් පේනවා. එතකොට සිතින් කරන අකුසල? ඒත් පේනවා. කයින්
වචනයෙන් අකුසල් කරන්නේ සිතින් අකුසල් සිදුවුණාම. මෝහය නිසා කෙනෙක් අස්ථිර දේ ස්ථීර
හැටියට දැක කටයුතු කරනවා. අසුබ දේ සුබ හැටියට දකිනවා. අනාත්ම දේ ආත්ම හැටියට
දකිනවා. ලෝභයත් එහෙමයි. එහෙනම් අප සැම දෙනාම සිතට අකුසල් එන එක වළක්වා ගත්තොත්
සිතින් කයින් වචනයෙන් සිදුවන අකුසල්වලින් වැළකෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන්
ධර්මය දේශනා කළේ සැවැත් නුවර ජේතවනාරාමයේදි ඇස් අන්ධ වීමත් රහත් භාවයත් එකටම
සිදුවුණු චක්ඛුපාල තෙරුන් වහන්සේ අරඹයා ය.
දඹදිව සැවැත්නුවර ඉසුරුමත් කුලයක පාලිත කියලා පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් හිටියා
. නිතරම තම ගෙදර ළඟින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ජේතවනාරාමයට රස බොජුන්, මල්
සුවඳ ද්‍රව්‍යයන් අරගෙන යන උපාසක උපාසිකාවන් දැක ඔවුන් සමඟම බුදුරජාණන් වහන්සේ වැඩ
සිටිය දෙව්රම් විහාරයට ගිහින් බණ අහල සසර දුක පිළිබඳව කළකිරී තෙරුවන් කෙරෙහි
පැහැදිලා මහණ වෙන්න හිතුණා. චුල්ලපාල නම් තම මල්ලිගෙන් අවසර ඉල්ලාගෙන සියලු සැප
සම්පත් ඔහුට පවරා දී ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිදි වුණා.
කල් වයස් ගත වී පැවිදි වුණ හින්දා මේ හාමුදුරුවෝ බණ පොත් බැලීම, බණ කීම, ඉගැන්වීම
ආදී ග්‍රන්ථධූරය හැරදමා භාවනා කිරීමට සමථ– විදර්ශනා දියුණු කිරීමට ධූරය තෝරා ගත්තා.
මහණකමෙන් ප්‍රයෝජන ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන තවත් භික්ෂූන්
වහන්සේලා පිරිසකුත් සමඟම ඈත වන සෙනසුනකට ගිහින් වයස්ගත නිසා මරණයට පත්වීමට ප්‍රථම
කෙසේ හෝ මාර්ග ඵල ලාභයක් ලබා ගැනීම පිණිස දිවා රෑ නොබලා, නොනිදා භාවනා කරන්නට පටන්
ගත්තා. නිදි වරමින් භාවනා කළ නිසා කලක් යන විට මේ හාමුදුරුවන්ට ඇස් රෝගයක් හටගත්තා.
රෝගය බලවත් වුණා. පසුව ඇස් දෙක ගැනවත් හිතන්නේ නැතුව තව තවත් නිදි නොලබාම භාවනා
කරා. ඒ හින්දාම උන්වහන්සේ උතුම් රහත් භාවයට පත් වුණා. හැබැයි රහත් වීමත් සමඟම
උන්වහන්සේගේ ඇස් දෙකත් අන්ධ වුණා. ඒ නිසා උන්වහන්සේ චක්ඛුපාල කියන නමින් ප්‍රසිද්ධ
වුණා. ඊට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩම කරලා ඉඳිද්දී රෑ කුටියෙන්
එළියට ඇවිත් සක්මන් මළුවේ සක්මන් කරමින් ඉන්න කොට කලින් දා වැස්ස නිසා උඩට මතු වී
සිටි පණුවෝ පෑගිලා මැරිලා හිටියා. උදෑසනම ඒ බව දැකපු භික්ෂූන් වහන්සේලා චෝදනා
මුඛයෙන් ඒ ගැන බුදුරජාණන් වහන්සේට සැල කර සිටියා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ
විමසනවා පින්වත් මහණෙනි, චක්ඛුපාල රහතන් වහන්සේ පණුවෝ මරනවා දැක්කද? නෑ ස්වාමීනි
අපිත් දැක්කේ සක්මන් මළුවේ පණුවෝ මැරිලා ඉන්නවා විතරයි. එහෙනම් පින්වත් මහණෙනි,
ඔබලා ඒ දැක්කෙ නෑ වගේ චක්ඛුපාල රහතන් වහන්සේත් පණුවෝ මැරෙනවා කියලා දැක්කේ නෑ.
රහතන් වහන්සේලා අතින් දැන දැන පවු සිද්ධ වෙන්නේ නෑ. උන්වහන්සේ අන්ධයි.ඒ නිසා ඒ
පණුවෝ පෑගෙන්න ඇති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අවස්ථාවේදී ඒ භික්ෂූන්
වහන්සේලාගේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේ චක්ඛුපාල රහතන් වහන්සේගේ රහත් වීමත්
සමඟම ඇස් අන්ධ වීමට හේතු වුණු අතීත කථාව දේශනා කර වදාළ සේක. |