Print this Article


බාලපණ්ඩිත සූත්‍රය: බාලයාට හිමි තැන භයානකය

බාලපණ්ඩිත සූත්‍රය:

බාලයාට හිමි තැන භයානකය

" ඉතින් පින්වත් මහණෙනි, ඔය විදියට බාලයා කයෙන් වචනයෙන් මනසින් දුසිරිතේ යෙදිලා කය බිඳිලා මියගියාට පස්සේ අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයේ උපදිනවා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් යම් දෙයක් මුල් කරගෙන හරියට කියනව නම් ඒකාන්තයෙන්ම අනිස්ට, ඒකාන්තයෙන්ම අකාන්ත, ඒකාන්තයෙන්ම අමනාප තැනක් තියෙනවා කියලා. ඒ කියන්නේ නිරය ගැන."

අප තිලෝගුරු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය රැගෙන ක්‍රිස්තු පූර්ව 3 වන ශත වර්ෂයේ දී මිහිඳු මහරහතන් වහන්සේ අප ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කර අපට උතුම්ම දායාදය වන සද්ධර්ම දායාදය ලබා දුන්හ. ඒ උදාරතර පොහොය දිනය සමරමින් අප ඒ උතුම් වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලාංකිකයන්ට ප්‍රධාන වශයෙන් දේශනාකොට වදාළ තවත් දේශනාවක් වන මජ්ක්‍ධිම නිකායේ 3 වන වර්ගයේ (ශුඤ්ඤත වර්ගයේ) 9 වැනි සූත්‍රය වන බාල පණ්ඩිත සූත්‍රය කියල දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මෙම සූත්‍රයෙන් කියවෙන්නේ බාලයා සහ පණ්ඩිතයා ගැනයි.

උන්වහන්සේ මේ දේශනාව කළේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී යි.මුලින්ම දේශනාව ආරම්භ කරමින් භාග්‍යවතුන් වහන්සේ අසත්පුරුෂයා, බාලයා පිළිබඳව දේශනා කළා. ඔහු ළඟ ඒ අසත්පුරුෂ බාල බව පෙන්වන ලක්ෂණ, නිමිති, චර්යාවන් හුඟක් තිබෙන බව දේශනා කළා. ඒ අසත්පුරුෂ බාලයා සිතන්නේ දුෂ්ට සිතිවිලිමයි. කියන්නේ දුෂ්ට දේවල්මයි. කරන්නේ දුෂ්ට වැඩමයි. යම් විදියකින් ඒ අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතිවිලි සිතන්නේ නැත්නම් හිස් වචන කියන්නේ නැතිනම් දුෂ්ට වැඩ කරන්නේ නැතිනම් සත්පුරුෂ පණ්ඩිතයෙකුට මොහු අසත්පුරුෂ බාලයෙක් කියල හඳුනාගන්න විදියක් නැහැ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ අසත්පුරුෂ බාලයා තුන් ආකාරයකින් මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිනවා. ඔහු පිරිසක් මැද වාඩි වෙලා ඉන්නකොට, වීදියක වාඩිවෙලා ඉන්නකොට, හතරමං හන්දියක වාඩිවෙලා ඉන්නකොට, ජනතාව ඔහුගේ බාල ක්‍රියාවට ගැළපෙන දේ කියනවා. අහන්න ලැබෙනවා. මේ අසත්පුරුෂ බාලයා සත්තු මරනවා නම්, සොරකම් කරනවා නම්, වැරැදි කාම සේවනයේ යෙදෙනවා නම්, බොරු කියනවානම්, මත්වතුර මත් ද්‍රව්‍ය පානය කරනවා නම් ඒ බාලයාට මෙහෙම හිතෙනවා.

“මේ දුෂ්චරිත පිළිබඳව කතා බස් කරනවා. මේ දුෂ්චරිත මා තුළ තියෙනවා. මාත් ඒ දුෂ්චරිත තුළනෙ ඉන්නෙ කියලා” බාලයා මෙලොවදී දුක් දොම්නස් විඳින පළවෙනි කාරණය තමයි මේක.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි තව දෙයක් කියනවා නම් රජවරු අපරාධ කාරයෙක්, හොරෙක් අල්ලගෙන ඔහුට විවිධාකාර දඬුවම් දෙන හැටි බාලයාට දකින්නට ලැබෙනවා. ඒ ද¾ඩුවම් තමයි කසයෙන් තලනවා. වේවැලෙන් තලනවා, දඬු මුගුරුවලින් තලනවා, අත් කපල දානවා, කකුල් කපල දානවා, අත් කකුල් කපල දානවා, කන කපනවා, නාසය කපනවා, කන් නාසා කපනවා, හිස් කබලේ ඇටේ මතුවෙනකම් බොරලු දාලා හූරනවා, යකඩ අඬුවකින් කට පළල් කරලා ගිනි පන්දම් ඔබනවා. ඇඟේ තෙල් පාන්කඩ ඔතා ගිනි තියනවා, අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. බෙල්ලේ ඉඳන් පහළට හම ගලවල ඇදගෙන යනවා, බෙල්ලේ ඉඳන් පහළටයි කකුලේ ඉඳන් උඩටයි. හම ගලවල එකට ගැටගහනවා. දණිස් දෙකෙයි වැලමිටි දෙකෙයි යකඩ උල් ගහල පොළවට හයි කරල ගින්නෙන් රත්කරනවා. කොකුවලින් මස්, ලේ විසුරුවනවා.මුළු ඇඟේම මස් කුඩා කෑලිවලට ඉරා දානවා. ඇඟේ තැනින් තැන හිල් කර ලෝදිය දානවා. පැත්තට ඇල කර බිම දමා කනේ උලක් ගහල ඒ උලෙන් හිටවල කකුල් දෙකෙන් වටේට කරකවනවා. ගල්වලින් තලා ඇඟ ඇතුළෙ ඇට කුඩු කරල දානවා. ගින්නෙන් කකාරා ගත්තු තෙල්වලින් නාවනවා. බල්ලන්ට කන්න දානවා. පණ පිටින් උලේ ඉන්දවනවා, කඩුවෙන් හිස ගසා දානවා.

බාලයාට හිතෙනවා මේ විදිහෙ දඬුවම් අපරාධ කාරයන්ට දෙනවා කියලා. මේ ජීවිතයේදීම හේ දුක් දොම්නස් විඳිනවා මේ විදියට. ඒ ගැන හිතලා විඳිනවා. දැකලා විඳිනවා. එයා දැක්කට පස්සෙ දුක් දොම්නස් විඳිනවා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව දෙයක් තියෙනවා. බාලයා පුටුවක වාඩිවෙලා ඉන්න වෙලාවක හෝ ඇඳක හාන්සිවෙලා ඉන්න වෙලාවක හෝ බිම දිගාවෙලා ඉන්න වෙලාවක හෝ තමන් ඉස්සර කළ පව් ඒ කියන්නේ කයින් කළ දුසිරිත් වචනයෙන් කළ දුසිරිත් මනසින් කළ දුසිරිත් තමන්ට මැවිල පේන්න පටන් ගන්නවා. ඒවා තම සිතට මතු වෙවී එනවා. ඒවා තම සිත වැළඳ ගන්නවා. ඒක මෙන්න මේ වගේ දෙයක් කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ලොකු පර්වතයක හෙවනැල්ල හවස් වෙනකොට පොළවේ වැතිරෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා. එතකොට බාලයාට මෙහෙම හිතෙනවා. “අයියෝ මම යහපත් දෙයක් කරගත්තේ නැහැ. කුසලයක් කරගත්තේ නැහැ. බය නැති වෙන දෙයක් කරගත්තේ නැහැ. මම පව් කළා. දරුණු දේවල් කළා. දුෂ්ට දේවල් කළා.

ඉතින් ඒ හින්දා මට මරණින් පස්සේ උපදින්න වෙන්නේ ඒ වගේ වැරැදි කළ අය උපදින තැනක තමයි කියලා. එතකොට බාලයා සෝක කරනවා. ක්ලාන්ත වෙනවා. වැළපෙනවා. පපුවේ අත් ගසාගෙන අඬනවා. සිහිමුලා වෙනවා. ඔය විදියට තමයි බාලයා මෙලොවදීම තුන්වැනි ආකාරයට දුක් දොම්නස් විඳින්නේ.

ඉතින් පින්වත් මහණෙනි, ඔය විදියට බාලයා කයෙන් වචනයෙන් මනසින් දුසිරිතේ යෙදිලා කය බිඳිලා මියගියාට පස්සේ අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයේ උපදිනවා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් යම් දෙයක් මුල් කරගෙන හරියට කියනව නම් ඒකාන්තයෙන්ම අනිස්ට, ඒකාන්තයෙන්ම අකාන්ත, ඒකාන්තයෙන්ම අමනාප තැනක් තියෙනවා කියලා. ඒ කියන්නේ නිරය ගැන. නිරයේ තියෙන භයානක දුක් කොච්චර ද කියනවා නම්, උදාහරණයක් කියන එකත් අමාරුයි කියනවා. එවිට එක් භික්ෂුවක් කියනවා. “ස්වාමීනි, නිරයේ දුක් ගැන උපමාවක් කියන්න බැරිද කියලා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.” ඒක මේ වගේ දෙයක්. දරුණු අපරාධ කළ හොරෙක් අල්ලාගෙන ගිහිල්ලා රජතුමාට පෙන්වනවා. දේවයන්වහන්ස, මෙන්න ඉන්නවා ඒ දරුණු අපරාධ කළ දරුණු හොරා. මොහුට දෙන දඬුවමක් දෙන්න කියලා. එවිට රජු අණ කරනවා මොහු අරගෙන ගිහින් උදේ වරුවෙ උල්පාර සියයක් අනින්න කියනවා. එවිට රාජ පුරුෂයො අරන් ගිහිල්ලා උල්පාර සියයක් අනිනවා. දවල් කාලයේ රජතුමා රාජපුරුෂයන්ට කතා කරල අහනවා කොහොමද අර හොරාට කියලා. එතකොට කියනවා ‘දේවයන් වහන්ස, තවම ජීවත් වෙනවා කියලා’ එහෙනම් තවත් උල්පාර සියයක් අනින්න. කියනවා. එවිට රාජ පුරුෂයො තවත් උල්පාර සියයක් අර හොරාට අනිනවා. ඊට පස්සේ රජතුමා සවස් කාලයේ අහනවා ‘කොහොමද හොරාට’ කියලා. එතකොට කියනවා ‘තවම ජීවත්වෙනවා රජතුමනි’ කියලා එවිට කියනවා ‘තවත් උල්පාර සියයක් අනින්න කියලා. එවිට රාජ පුරුෂයෝ තවත් උල්පාර සියයක් අනිනවා. එවිට බුදුරජාණන් වහන්සේ අහනවා ‘මහණෙනි ඔය හොරා උල්පාර තුන්සියයකින් ඇනුම් කනකොට ඒ හින්දා දුක් දොම්නස් විඳිනව නේද” කියලා. එවිට උත්තර දෙනවා ‘ඒ පුද්ගලයා එක උල් පිහියකින් ඇනුම් කද්දි ඒ හේතුවෙන් දුක් දොම්නස් විඳිනවාමයි. එහෙම නම් උල්පාර තුන්සියයක් ඇනුම් කද්දි විඳින දුක් දොම්නස් ගැන කවර කතාද?” කියලා.