චුල්ල හත්ථිපදෝපම සූත්‍රය:
ඇත් පියවර උපමාවෙන් දහම් අසා නිවන් මඟට
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
" ජානුස්සෝණි බ්‍රාහ්මණයා සතුටුවෙයි. මෙසේ පවසයි. හරිම සුන්දරයි. හරිම සුන්දරයි.
යටිකුරු වූ දෙයක් උඩුකුරු කළා වගේ, වසා තිබූ දෙයක් ඇර පෙන්නුවා වාගේ. මංමුළා වූ
අයෙකුට මාර්ගය පෙන්නුවා වගේ, අන්ධකාරයේ දැල් වූ තෙල් පහන් ඔසවාගෙන ඇස් ඇති අයට රූප
පෙන්වනවා වාගේ සුන්දරව කියාදුන් බවයි."
ජානුස්සෝණි බ්‍රාහ්මණයා සහ පිලෝතික නම් තවුසා අතර ඇතිවන සංවාදයෙන් භාග්‍යවතුන්
වහන්සේ සහ ඒ උතුම් ධර්මය පිළිබඳ ධර්ම කතාවක් පළමුවෙන් ම මේ සූත්‍ර දේශනාවෙන්
මතුවෙයි. පිළෝතික තවුසා ජානුස්සෝණි බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ කෙරේ පැහැදීම
පිළිබඳව මෙසේ විස්තර කරන්නේ ය.
යම් මනුෂ්‍යයෙකුට මහ වනයේ දී දිගින් පළලින් ලොකු ඇත් පියවර සටහනක් දකින්නට ලැබෙයි.
මේ මහ ඇතෙකුගේ පියවර බවට ඔහු නිශ්චයකට පැමිණෙයි. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ පියවර
සතරක් දැක මම මේ ලෙස නිශ්චයකට පැමිණුනෙමි. එනම් භාග්‍යවතුන් වහන්සේ සම්මා
සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය ස්වාක්ඛාතයි යනුවෙනි. මෙසේ පහදින්ට හේතු
වූ පියවර සටහන් සතර නම් මෙසේයි.
වාදයෙහි ඉතාම දක්ෂ, ප්‍රඥාවෙන් දෘෂ්ඨි බිිඳිනවා වගේ හැසිරෙන ක්ෂත්‍රිය පණ්ඩිතයන්
භාග්‍යවතුන් වහන්සේ වඩින ගමකට හෝ නියම් ගමකට ප්‍රශ්න කරන අදහසින් යති. භාග්‍යවතුන්
වහන්සේ ඔවුන්ට ධර්මය කියා දෙති. ධර්මයෙන් සතුටු කරවති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ
සමඟ වාද නොකරති. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් බවට පත්වෙති. මේ මා දුටු පළවෙනි පියවර
සටහනයි. මෙලෙස දෙවන පියවර සටහන ලෙස වාද කිරීමට සිතූ බ්‍රාහ්මණ පණ්ඩිතයින්
ශ්‍රාවකයන් බවට පත්වීමෙන් ද තුන්වෙනි පියවර ලෙස ගිහි පණ්ඩිතයන් වාදකිරීමට පැමිණ එසේ
නොකොට ධර්මයෙන් සතුටු වී ශ්‍රාවකයින් බවට පත්වීමෙන් ද, සතරවෙනි පියවර ලෙස ශ්‍රමණ
පණ්ඩිතයින් වාදකිරීමට සිතා පැමිණ එසේ නොකොට භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්මය අසා
පැහැදෙති. ශ්‍රමණ පණ්ඩිතයෝ පැවිදි උපසම්පදා ලබති.
ඉන් අනතුරුව, අප්‍රමාදීව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව අනුත්තර බඹසර රැක රහත්ව වාසය
කරති. උන්වහන්සේලා මෙසේ ද පවසති. අපි රහත් නොවී රහත් වගේ පෙනී සිටියෙමු. බ්‍රාහ්මණ
නොවී බ්‍රාහ්මණ වගේ පෙනී සිටියෙමු. දැන් අපි නියම රහතුන් වහන්සේලායි. මේ ලෙසින්
පියවර සටහන් දැක භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ ය. ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක
සංඝරත්නය සුපටිපන්නයි යනුවෙන් නිගමනයට පැමිණියෙමි.
පිලෝතික තවුසා මෙසේ පැවසූ විට ජානුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ කෙරේ
පැහැදී උන්වහන්සේ වැඩ සිටින දෙසට වැඳ නමස්කාර කොට භාග්‍යවතුන් වහන්සේ සොයාගෙන ගියේ
ය. භාග්‍යවතුන් වහන්සේට සිදු වූ සාකච්ඡාව පැවසී ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඇත්
පියවර සටහන් උපමාව මෙසේ විස්තර කරන ලදහ.
ඇත් වනයේ වාසය කරන මනුෂ්‍යයෙක් සිටියි. දිග පළල ඇත් පියවර සටහනක් දැක, හොඳින් විමසා
බලා ‘වාමනිකා’ නම් ඇතින්නියන්ගේ පියවර බව නිශ්චයට පැමිණෙයි. තවදුරටත් සොයා බලද්දී
ලොකු ඇත් පා සටහන් වගේ ම ගස්වල උසට පිට ඇතිල්ලූ තැන් දැක ‘උච්චා කාළාරිකා’ නම් ලොකු
පියවර සටහන් ඇති ඇතින්නයෝ බව නිගමනයට පැමිණෙයි. තවදුරටත් සොයා බලද්දී ලොකු ඇත්
පියවර සටහන් වගේ ම ගස්වල උඩට පිට ඇතිල්ලූ සහ දළ දෙකෙන් අනින ලද තැන් දකියි. මේ
“උච්චා කණේරුකා’ ඇතින්නියන්ගේ පා සටහන් බවට නිශ්චයට පැමිණෙයි. තවදුරටත් සොයා බලද්දි
ලොකු ඇත් පියවර දකියි. ගස්වල උසට පිට ඇතිල්ලූ, දළ දෙකෙන් ඇන, අතුරිකිලි කඩා දැමූ,
ගසක් යට හෝ එළිමහනේ සිටින ඇතා දකියි. මේ ‘මහා ඇත් රජා’ යනුවෙන් නිගමනයකට පැමිණෙයි.
මේ ආකාරයට විමසා බලන ප්‍රඥාවන්තයෙක්, තථාගතයන් වහන්සේ අර්හත්ය, සම්මා සම්බුද්ධය,
විජ්ජාචරණ සම්පන්නය..... ආදී වශයෙන් දකියි. උන්වහන්සේ දෙවියන් බඹුන් මරුන් සහිත
ශ්‍රමණ බ්‍රාහ්මණ, දෙව් මිනිස් ප්‍රජාව ගැන ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මුල, මැද, අග,
සුන්දර, අර්ථ සහිත මුළුමනින් ම පාරිශුද්ධ පරිපුර්ණ නිවන් මග දේශනා කරති. මේ උතුම්
ධර්මය අසා යම් කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරේ අවබෝධයෙන් ගුණ දැන පැහැදී මේ ලෙස කල්පනා
කරයි. ගිහි ජීවිතය සම්බාධ සහිතයි. කෙලෙස් සහිත මාර්ගයකි. පැවිද්ද ආකාසය වාගෙයි. මේ
නිසා බඹසර හැසිරීමට ගිහි ජීවිතේ අත්හැර පැවිදිවෙයි. වස්තුව, ඥාතීන් මේ සියල්ල
අත්හරියි.
මෙසේ පැවිද්ද ලබා භික්ෂුවක් ලෙස ශික්ෂා පද අවබෝධයෙන් රකියි. ප්‍රාණඝාතයෙන් වැළකී
දඬුමුගුරු අවි ආයුධ නොදරා ලජ්ජීව සියලු සතුන් කෙරේ දයාවන්ත වෙයි. හිතානුකම්පී වෙයි.
සොරකමින් වැළකෙයි. මෛථුනය නම් වූ කාමසේවනයෙන් වැළකී බ්‍රහ්මචාරී වෙයි. බොරුකීමෙන්,
කේළාම්කීමෙන්, පරුෂ වචන කීමෙන් වළකියි. දොස්රහිත, කනටමිහිරි, සෙනෙහෙබර, හෘදයාංගම
යහපත් වචන කියයි. කාලයට සුදුසු, අර්ථවත් ධර්මය ම, විනය, මෙනෙහි කළ හැකි දේ කතා
කරයි. ගහකොළ වැනසීමෙන් වළකියි. විකාල භෝජනයෙන් වළකියි. නැටුම්, ගැයුම්, වැයුම්
විකාර දර්ශනයෙන් සුවඳ විළවුන් මල් ආදිය පරිහරණයෙන් වළකියි. සැප පහසු ආසන පරිහරණයෙන්
වළකියි. රන්රිදී කහවණු පිළිගැනීමෙන් වළකියි. අමු ධාන්‍ය, අමු මස්, ස්ත්‍රීන්,
කුමරියන්, දැසි දස්සන් ආදී නුසුදුසු දෑ පිළිගැනීමෙන් වළකියි. ගිහි අයගේ පණිවිඩ
ගෙනයාමෙන්, වෙළෙඳ ගනුදෙනුවලින් වළකියි.
මෙසේ හික්මෙන භික්ෂූව ලද දෙයින් සතුටු වෙයි. පාත්‍රය, සිවුරු පමණක් ඇතිව පියාපත්
පමණක් බර ඇති පක්ෂියෙක් සේ හැසිරෙයි. ශ්‍රේෂ්ඨ සීලයෙන් නිවැරැදි ජීවිතයෙන් සතුටු
වෙයි. සතියෙන් යුතුව ඇස රකියි. ඉන්ද්‍රියයන්හි සංවරයට පැමිණෙයි. මේ ලෙස ශ්‍රේෂ්ඨ
ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව තමා කෙරේ පීඩා රහිත මහත් වූ සැපයක් විඳියි.
සියලු අවස්ථාවල මනා සිහිනුවණින් වාසය කරයි. වැසිකිළි කැසිකිළි පරිහරණය කරන විටද,
ගමන් කරන විට, සිටින විට, හිඳින විට නිදන විට, අවදියෙන් සිටින විට, කතා කරන විට
නිශ්ශබ්දව සිටින විටත් මනා සිහිනුවණ පවත්වයි. මේ ලෙස වනයන්හි, කැලෑවල, රුක් සෙවනේ,
පර්වතවල, දියඇලි අසල, ගිරිගුහා, සොහොන්, වනගොමු, නිදහස් තැන්, පිදුරු ගෙවල්,
සෙනසුන් ආරාම ලෙස පරිහරණය කරයි. උදෑසන පිණ්ඩපාතයෙන් අනතුරුව ආරම්මණයන්හි සිහිය
පවත්වයි. ලෝකයේ ඇල්ම දුරුකොට ආශාවෙන් තොරව, තරහවෙන් තොරව, සියලු සතුන් කෙරේ
හිතානුකම්පී වෙයි. සිතේ මළානික බව, නිදිමත බව නම් ථීන මිද්ධය බැහැර කරයි. ආලෝක
සංඥාව ඇති කර ගනියි. සිතේ නොසන්සුන්කම, පසුතැවීම බැහැර කරගනියි. දහම් ගැන සැක
දුරුකරගෙන වාසය කරයි. මේ භික්ෂුව මේ ලෙස නීවරණ බැහැර කොට, ප්‍රඥාව දුර්වල කරන සිතේ
උප ක්ලේෂ බැහැර කරයි. කාමයෙන් තොරව, අකුසල්වලින් තොරව, විතර්ක විචාර සහිත ප්‍රීතිය
සැපය ඇති පළමු ධ්‍යානය ලබා වාසය කරයි.
මේ තථාගතයන් වහන්සේගේ පියවර සටහනයි. එහෙත් ආර්ය ශ්‍රාවකයා තවදුරටත් මාර්ගය අනුගමනය
කරයි. තවදුරටත් මග අනුගමනය කරමින්, විතක්ක විචාර සංසිඳුවාගෙන තමා කෙරේ ප්‍රසන්න බව
ඇතිකරගෙන, සිතේ එකඟබවින් යුතුව, විතක්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය
ඇති දෙවෙනි ධ්‍යානය ලබයි. මේ තථාගතයන් වහන්සේගේ පියවර සටහනයි. තවදුරටත් මාර්ගයේ
ගමන් කරයි.
මේ භික්ෂුව, ප්‍රිතියට නොඇලී, උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන් යුතුව කයින් සැප විඳියි.
උපේක්ෂාවෙන් ද සිහියෙන් ද යුතුව සැපෙන් වාසය කරන්නේයි ආර්යන් වහන්සේලා පවසති.
තථාගතයන් වහන්සේගේ පියවර සටහන ලෙස මෙය හඳුන්වයි. තවදුරටත් මාර්ගයේ ගමන් කරයි. මේ
භික්ෂුව සැප දුක් නැතිකොට දුක් සැප නැති උපේක්ෂාවෙන් සිහියත් ඇති සතරවෙනි ධ්‍යානය
ලබාගෙන වාසය කරයි. මේ තථාගතයන් වහන්සේගේ පියවර සටහනයි. නුවණ නමැති දළින් අතු බිඳපු
තැනයි. තවමත් නිශ්චයට ම නොපැමිණ මෙසේ මාර්ගයේ ගමන් කරයි. මෙසේ සමාධිගත සිත් ලබා සිත
පිරිසුදු කොට උප ක්ලේෂ බැහැර කොට අකම්පිතව තමා පෙර ගත කළ ජීවිත ගැන දැකීමේ නුවණ ලබා
ගන්නට සිත මෙහෙයවයි. අතීත ජීවිත එක දෙක ආදී ලෙසින් ජීවිත ලක්ෂ ගණනින්, කල්ප ගණනින්
සිහිකරයි.
මේ තථාගතයන් වහන්සේගේ පියවර සටහනයි. තවදුරටත් සුපරිශුද්ධ මග යමින් සත්වයන්ගේ චුති
උපත් දැකීමේ නුවණ ලබන්නට සිත මෙහෙයවයි. එවිට සාමාන්‍ය මිනිසුන්ගේ දැකීමේ සීමාව
ඉක්මවා පිරිසුදු දිවැසින් සත්ත්වයන්ගේ චුති උපත් දකියි. සත්ත්වයන් කර්මානුරූපව,
සුචරිතයේ හැසිරී සුගතියේ උපදින හැටිත් දුසිරිතෙහි හැසිරී දුගතිවල ඉපදී දුක්විඳින
අයුරුත් දකියි. සම්මා දිට්ඨියෙහි යහපත් වූ විපාක දකියි. මේ තථාගයන් වහන්සේගේ පියවර
සටහනයි.
මේ සුපසන් භික්ෂුව තවදුරටත් මග අනුගමනය කරමින් සියලු ආශ්‍රව නැති කළ බවට අවබෝධය
ලැබීමේ නුවණ ලබන්නට සිත මෙහෙයවයි. එවිට මේ දුක, දුකෙහි හටගැනීම, දුක නැතිවීම, දුක්
නැතිකිරීමේ මාර්ගය යනුවෙන් යථාර්ථය අවබෝධ කරගනියි. මේ ආශ්‍රවයි. මේ ආශ්‍රවයන්ගේ
හටගැනීම, මේ ආශ්‍රව නැතිවීම, මේ ආශ්‍රව නිරුද්ධවීමේ මාර්ගය යනුවෙන් යථාර්ථය අවබෝධ
කරගනියි. මේ යථාර්ථය අවබෝධ කර ගන්නා විට කාම ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙයි. භව
ආශ්‍රවයන්ගෙන් ද අවිජ්ජා ආශ්‍රවයන්ගෙන් ද සිත නිදහස් වෙයි. එවිට සියලු දුකින් තමා
නිදහස් වූ විට අවබෝධය ඇති වෙයි. ‘ඉපදීම නැතිවිය. බඹසර වාසය සම්පූර්ණ කළේ ය. කළ යුතු
දේ කරන ලද්දේ ය. නැවත සසරට නොපැමිණෙන්නේ ය, යනුවෙන් දැනගනියි. මේ තථාගතයන් වහන්සේගේ
පියවර සටහනයි. පිට අතිල්ලූ තැනයි. නුවණ නමැති දළින් අතු බිඳ දැමූ තැනයි. මෙවිට ආර්ය
ශ්‍රාවකයා මෙසේ නිගමනයට පැමිණෙයි. එනම් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා
සුපටිපන්නයි යනුවෙනි. මේ ආකාරයෙන් ඇත් පියවර සටහනේ උපමාව විස්තර ලෙස අංග සම්පූර්ණ
වෙයි.
ජානුස්සෝණි බ්‍රාහ්මණයා සතුටුවෙයි. මෙසේ පවසයි. හරිම සුන්දරයි. හරිම සුන්දරයි.
යටිකුරු වූ දෙයක් උඩුකුරු කළා වගේ, වසා තිබූ දෙයක් ඇර පෙන්නුවා වාගේ. මංමුළා වූ
අයෙකුට මාර්ගය පෙන්නුවා වගේ, අන්ධකාරයේ දැල් වූ තෙල් පහන් ඔසවාගෙන ඇස් ඇති අයට රූප
පෙන්වනවා වාගේ සුන්දරව කියාදුන් බවයි. මම ගෞතමයන් වහන්සේ සරණ යමි. ශ්‍රී සද්ධර්මය
සරණ යමි. භික්ෂු සංඝයා සරණ යමි. ගෞතමයන් වහන්සේ අද පටන් දිවි තිබෙන තුරා තෙරුවන්
සරණ ගිය උපාසකයෙක් ලෙස මා පිළිගන්නා සේක්වා.
ඇත් පියවර සටහන් උපමා කොට දේශනා කරන ලද මෙම දෙසුම ඔබටත් මටත් එකසේ ය.
-
දීපා පෙරේරා |