Print this Article


ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කළ මහින්දාගමනය

ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කළ මහින්දාගමනය

තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය තුළින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ගොඩනැගුණු බව ඉතිහාසය පිරික්සීමේ දී අපට පැහැදිලි කර ගත හැකිවේ. එය සැලසුම් සහගතව සිදු වූවක් වන අතර තම පියරජුගේ ඉල්ලීම පරිදි ලක්දිවට මිහිඳු මහ රහතන් වහන්සේ මුටසීව රජ දවස වැඩම කරවීමට නියමිතව තිබුණත්, එය මාස තුනක තරම් කාල සීමාවකට පසු කරමින් තම මවගේ ගම වූ වේදිසාවෙහි සාංචි ස්ථූපය ඇසුරු කරගනිමින් වැඩසිටියහ. එවක ලක්දිව රජ සිරි ඉසිලූ මුටශිව රජු මහලු වියේ සිටි හෙයින් මෙරට ධර්ම ප්‍රචාරයේ ඇති දුෂ්කරතාව වටහා ගැනීම හා ලක්දිව ජනයාගේ සිතුම් පැතුම් භාෂාව හා සංස්කෘතිය අධ්‍යයනයක යෙදිය යුතුවීම එයට හේතු පාදක විය. ඉතා කෙටි කලකදී ලක්දිව සම්බුදු සසුන පිහිටුවීමට උන්වහන්සේට මෙම අධ්‍යයනය මහත් පිටිවහලක් විය.

මුටශිව රජු ඇවෑමෙන් රජ පැමිණි ඔහු පුත් දෙවනපෑතිස් රජ දවස මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කරවන්නේ පූර්ව අධ්‍යයනයකටය පසුවය. මිස්සක පව්වේ දී අඹ පැන විමසීමෙන් පෙනී යන්නේ තමන් අධ්‍යයනයෙන් සොයාගත් තොරතුරු ප්‍රායෝගිකව පරීක්ෂණයකට ලක්කිරීමක් ලෙසය. උන්වහන්සේ මුල් කාල සීමාව තුළ දේශනා කළ දේශනාවන්ගෙන් පෙනීයන කරුණ වන්නේ ලාංකීයයන් තුළ නිවැරැදි චිත්තන ශක්තියක් ගොඩනැගීමට උත්සාහ ගත් අයුරුය. පේතවත්ථු විමානවත්ථු වැනි දේශනා මේ සඳහා පාදක කරගෙන විවිධ නොමග යාම් මත අසරණව සිටි අය තුළ නිවැරැදි චින්තන ශක්තියක් ගොඩනැගීය.

බුදුරජාණන් වහන්සේ තත්කාලීන භාරතීය දාර්ශනික සංකල්ප මුළුමනින් ම ප්‍රතික්ෂේප කරනු වෙනුවට සිදුකරනු ලැබුවේ ඒ සංකල්ප තුළ වූ නිසරු දේ වෙනුවට නව හා ප්‍රායෝගික වූත් සමාජ හිතකරවූත් අර්ථකථන සැපයීමයි. බ්‍රාහ්මණ, බ්‍රහ්ම, වසල, මංගල වැනි සංකල්ප මනා හරයකින් යුතු සංකල්ප බවට පත්වූයේ මෙම හේතුව නිසාවෙනි. අන්‍ය ආගමික ශාස්තෘන් හුදෙක් බුදුදහම වැළඳ නොගෙන බුදු ඇසුර ප්‍රිය කළේ මෙම අර්ථකථන තුළ වූ සාධාරණ බව නිසා වේ. මිහිඳු මහ රහතන් වහන්සේ ද බුදුරදුන්ගේ මෙම න්‍යාය ලක්වැසි ජනයාගේ හිත සුව පිණිස භාවිත කොට තිබේ. විශේෂයෙන් හරසුන් වූ පුද සිරිත් ඔස්සේ අතරමං වූ ලාංකිකයන් සුමගට ගැනීම උදෙසා මෙය උපකාරී විය.

මහින්දාගමනයට පෙර පැවති ඇදහිලි හා විශ්වාසයන් පිළිබඳ බොහෝ තොරතුරු පණ්ඩුකාභය රජ දවස යටතේ මහා වංශය විස්තර කරයි. එවකට පැවැති ඇදහිලි හා විශ්වාස අතර භාරතීය වන්දනා ක්‍රමයන්හි ඇතැම් දේ ලංකාවට ආවේණික වූවකි. ඒ කෙසේ වූවද මෙම ආගම් හා විශ්වාසයන් ඉතා සූක්ෂම ලෙස ධාර්මික සංකල්ප බවට පත්කිරීම මගින් මිහිඳු හිමියන් තුළ පැවැති දක්ෂතාවය ප්‍රශස්ථ ය. ඒ ඉතා දීර්ඝ කාලයක් ජනහිත තුළ පැවති අයහපත් සංකල්ප වෙනස් කිරීම ඉතා කල්පනාකාරීව සිදු කළ යුතු වූ නිසාය. මෙහිලා දුමින්දාගමනය මගින් සිදු වූ මෙහෙය අනල්පය. මහා බෝධි වැඩම වීම සමඟ පැමිණි ශිල්පීය කුල දහඅට එහි කොටස් කරුවන් ය.

යම් දහමක ආගමික නායකයකු නොවන්නේ නම් එහි දර්ශනයක් ද නොමැති බව ප්‍රකට කරුණකි. ලක්වැසියා මං මුලාව පැවතියේ එවැනි ඇදහිලි තුළ ය. යක්ෂ හා ප්‍රේත වන්දනාව ලක්දිව වූ එවැනි ප්‍රචලිත ඇදහීමකි. මේ පිළිබඳ බොහෝ තොරතුරු පණ්ඩුකාභය රජ දවස මතුවේ. ඔවුන් වෙනුවෙන් වෙන් වූ දෙවොල් හා වෘක්ෂයන් ඒ පිළිබඳ සාක්ෂි දරයි. කලක් උපකාරීව සිටි අයෙකු මියගිය පසු පූජනීයත්වයට ආරෝපණය කොට වන්දනාවේ යෙදී ඇති අයුරු චිත්තරාජ හා කාලවේල චරිත තුළින් පෙනී යයි. පේත වත්ථු විමාන වත්ථු දේශනා තුළින් කර්මයේ ප්‍රභලතාවය මතු කරමින් කුසලයට හිත නමමින් වක්‍රාකාරව මිය ගිය අය වැඳීම වෙනුවට මියගිය අය සඳහා පින් අනුමෝදන් කිරීමේ වටිනාකම ලක්වැසියාට මිහිඳු හිමියන් කියාදුනි. මින්නේරි වැව කළ මහසෙන් රජු මිය යාමෙන් පසු මිනිසුන් මහසෙන් දෙවි යැයි දේවත්වයට ආරෝපණය කර අද දක්වා පුදලබන්නේ මහින්දාගමනය තුළින් ඇතිකළා වූ ආගමික ප්‍රබෝධය නිසා ය. එයට හේතුව නම් කුසල කර්ම කිරීම දේවත්වය ලැබීමට තරම් හැකියාවක් පවතින බවට මිනිසා තේරුම්ගත් නිසා ය.

නාග වන්දනාව ද එවැනිම ඇදහීමකි. නාග ගෝත්‍රය හා විශේෂ සම්බන්ධතාවක් මිහින්තලයේ පැවති බවට මහාචාර්යය පී. බී. දිසානායක මහතා අදහස් කරයි. මිහින්තලා පුද බිම තුළ හමුවන කණ්ටක සෑයේ නාග රාජ හා නාග රාජිනී රූප නාග පොකුණේ නාග රුව මළුවේ පෙර පැවතියේ යැයි අනුමාන කරන මිළින්ද නාල් නා දෙවිඳු රුව මනි නාග මන්දිරය නාග මුරගල් කැටයම් ඊට උදාහරණයි. බෞද්ධ සිද්ධස්ථානවල දී මෙවැනි දේ පසුකාලීනව හෝ ඇතුළත් වන්නේ මෙම මාර්ගයෙන් හෝ එම ගෝත්‍රිකයන් ආකර්ශනය කොට නිවැරැදි මගට යොමුකිරීමේ අභිලාශයෙන් විය යුතුය.

මහින්දාගමනයට පෙර වෘක්ෂ හා පර්වත වන්දනාව ද ලක්දිව පැවත තිබේ. දේව කූටය නමින් මිස්සක පව්ව පෙර කල වන්දනාවට පාත්‍ර වී තිබිණ. කොහොඹ නා නුග ඇසටු තල් ආදී වෘක්ෂ දෙවියන් විසින් අරක්ගෙන ඇතැයි යන අදහසින් පුදනු ලැබීය. මේ චාරිත්‍ර වැරැදි දෙයැකි ප්‍රකාශ නොකොට ඒ වෙනුවට ආදේශක ලෙස බෝධි හා චෛත්‍ය වන්දනාව පෙන්වා දෙන්නේ ඒ හා ගැබ් වූ දාර්ශනික සංකල්පයන් ද මතු කරමින් ය.ත්‍රිපිටක දහම තේරුම් ගැනීම සඳහා සිංහල අටුවා සම්පාදනය අවශ්‍ය වූ අතර ලක්දිව පැවති එවක බස ඒ සඳහා ප්‍රමාණවත් නොවූ හෙයින් සිංහල බස පෝෂණය කර හෙළටුවා සම්පාදනය කරවීය. කියවා තේරුම්ගත හැකි භාෂාවක් නිමවීම ද ඒ සඳහා හුරු කරවීම ද ලාංකිය අනන්‍යතාව තහවුරු කිරීමකි. භාරතීය කලා ශිල්ප ඒ ආකාරයෙන් ම සමාජ ගත කිරීමක් මිහිඳු හිමියන් සිදු නොකළ අතර ලක්දිවට ආවේණික ලක්ෂණයන්ගෙන් පරිපූර්ණත්වයට පත් කළේය.

පොසොන් යන්න සෑදී ඇත්තේ ප්‍රශූර්ණ යන්නෙනි. එහි තේරුම මල් යන්නයි. මල් මාසය නැකත් කෙළි වෙනුවෙන් පෙර භාවිත විය. පාලකයා පවා විනෝදය පිණිස සතුන් දඩයම වැනි පාපක්‍රියා සිදුකර ඇති බව තිස්ස රජු චරිතය පෙන්වාදෙයි. විනෝදය ධාර්මිකව කෙසේ ගතකරන්නේ දැයි මිහිඳු මහ රහතන් වහන්සේ පෙන්වා දී ඇත. ගෘහ නිර්මාණ ශිල්පය මූර්ති කැටයම් චිත්‍ර හා සාහිත්‍යය දැහැමි සංකල්ප සංවර්ධනය පිණිසත් ධාර්මිකව කාලය ගතකිරීමටත් උපකාරී විය. බෞද්ධ උත්සව පෙරහර ධාර්මික විනෝදය සඳහා විය.

‘තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා ඔබ වෙත අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි ආවෙමු’. මෙමගින් ප්‍රකාශවන අර්ථය නම් බුදු දහමින් ඔප් නැංවුනු ඔබගේ ධාර්මිකත්වය තුළින් අන්ධකාරයේ නිමග්නව සිටි ලක්වැසියා යහපත් සංකල්පවලින් පෝෂණය කර අනන්‍යතාවයකින් හෙබි විචාරශීලි පුරවැසියන් බවට පත්කිරීමට මෙහි පැමිණියෙමු යන්න නොවේ ද?