මිහින්තලාවේ
ඓතිහාසික උරුමය
අපේ වංශ කතාව පවසන පරිදි මීට අවුරුදු 2325ට පෙර, එනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවී
වසර 236ක් එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහා
සංඝයා වහන්සේ ගෞතම බුදුරදුන්ගේ දහම් පණිවුඩයගෙන දඹදිව සිට මිස්සක පර්වතයට
පැමිණීමෙන් පසුව සාමාජයීය හා සංස්කෘතික පරිවර්තනයත් සමඟින් මිහින්තලාව ඓතිහාසික
වශයෙන් මෙන් ම පුරාවිද්‍යාත්මක වශයෙන් ද වැදගත් පුදබිමක් බවට පත්විය.එදා මිස්සක
පර්වතය නම් ලත් වර්තමාන මිහින්තලාවේ කඳු මුදුනින් සිංහලයන්ගේ දීර්ඝවූත්,
ප්‍රෞඩවූත්, ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ගමන් මඟ ඇරැඹුණේ ය.වෙහෙර විහාර, ලෙන්, ශිලා ලිපි,
ස්තූප, පොකුණු ඈ බොහෝ දෑ අපට එහි දී දැක බලාගත හැකිය. මේ මිහින්තලාවේ දී ඔබ දැකබලා
ගත යුතු ම සුවිශේෂී ස්ථාන පිළිබඳව කෙටි හැඳින්වීමකි.
මිස්සක පව්ව
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා සිය ගණනකට සිසිල් සෙවන
සැලසූ ද උන්වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට ලක් වූ ද මිහින්තලා භූමිය
අනුරාධපුරයේ සිට නැගෙනහිර දෙසට සැතපුම් 8ක් පමණ ඈතින් වූ කඳු පන්තියේ පිහිටියේ ය.
එදා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී පමණ දේවානම් පියතිස්ස මහ රජ දවස වන සතුන්ගේ
නිවහනක් ව හා රජ ඇමතීන්ගේ දඩයම් බිමක් ව පැවැති කැලෑ රොදක් විය යැයි හැඳින්වෙන,
මිහිඳු මාහිමියන්ගේ වැඩමවීමෙන් මිහින්තලය, මිහින්තලා, ඇත්වෙහෙර, ආනයිකුට්ටි හා
රාජගිරි ලෙන යන සිත්කලු පෙදෙස කඳු සතරකින් සමන්විතය.
රුක් සෙවනේ ගල් පර්වතයෙන් ම සැදුනා වූ මනරම් පරිසරය ගතට සිසිල් සෙවන දෙන නිවහනකට
කදිම තැනක් ය යන හැඟීම ඇතිවන්නේ ය. කඳු මුදුනින් රූරා හැලෙන ජලය නිසා ද, මනුෂ්‍ය
වාසයට හා නිසංසල ජීවිතයට යෝග්‍යවූ හෙයින් තවුස් දිවියක් ගත කළ භික්ෂූන් වහන්සේට මේ
තරම් සුදුසු වූ පහසු වූ ස්ථානයක් නොවීය.
එසේ හෙයින් මිහිඳු මා හිමියන් ස්වකීය වාසස්ථානය ලෙසිනුත් ලක්දිව ප්‍රථම වස්සාන කාලය
ගෙවීම පිණිසත් තෝරා ගත්තේ මිස්සක පබ්බතයයි. මෙය සොළොස්මස්ථානයන්ගෙන් එකකි.
පුරාණ වෙදහල
මිහින්තලා නගරයේ සිට මිහින්තලා කන්ද වෙත යන මාර්ගයේ දකුණුපස අබකොටුව අසල නටබුන්ව
ගිය විශාල භූමිය පුරාණ වෙදහල ලෙස හැඳින්වේ. දහස් ගණනක් වූ භික්ෂූන් වහන්සේ ද සිය
ගණන් සේවක ජනයා ද ඇතුළු විශාල ජනගහනයකට වාසස්ථානයක් වූ මිහින්තලාව එකල ජන ජීවිතයට
අවශ්‍ය සියලු අංගයන්ගෙන් යුත් ජනාවාසයක් වූවාට සැක නැත.
ක්‍රි.ව. 5 වැනි සියවස වන විට සෑගිරියේ පමණක් භික්ෂූන් වහන්සේලා දෙදහසක් වැඩ සිටි
බව පාහියන් භික්ෂුව වාර්තා කරයි. දෙවන සේන රජතුමන් ක්‍රි.ව. 853 – 887 අතර කාලයේ
සෑගිරියේ වෙදහලක් කළ බව චූලවංශය සඳහන් කරයි. මෙම වෙදහලේ ඇති ‘බෙහෙත් ඔරුව’ සුවිශේෂී
ලක්ෂණයකි. එකල වෙදහලක බෙහෙත් ඔරුව විශේෂ විය. මෙම වෙදහලේ තිබී හමු වූ බෙහෙත් මංජුසා
02 ක් මිහින්තලයේ කෞතුකාගාරයේ තබා ඇත.
කණ්ඨක චෛත්‍ය
අතීතයේ ‘කිරි බඩ පවු දාගැබ් ලෙසින් හඳුන්වා ඇතත් වර්ෂ 1934 දී පාදා ගැනීමට පෙර මහ
ගස්වලින් පිරිගත් කඳු ගැටයේ ම කොටසක් වශයෙන් සලකන ලදී.
මෙහි නියම නාමය හඳුනා ගැනීමට උදව්වන සෙල් ලිපියක් මෙම දාගැබේ බටහිර වාහල්කඩට
නුදුරුව ගලක කොටා තිබී සොයා ගන්නා ලදී. ඒ අනුව මෙය චෛත්‍යයේ නියම නාමයෙන් එනම්
කණ්ඨක චෛත්‍යය ලෙස හඳුනා ගැනීමට හැකිවිය.
සතර දිශාවට මුහුණලා සාදා ඇති වාහල්කඩ සතරක් දක්නට හැකිවීම කණ්ඨක චෛත්‍යයේ වැදගත්
ලක්ෂණ්‍යකි. සමස්තයක් වශයෙන් සැලකීමෙන් මෙම වාහල්කඩ පුරාණ සිංහල මූර්ති හා කැටයම්
විශිෂ්ඨත්වය පෙන්වන ආදිතම නිදසුනක් වශයෙන් සැලකිය හැකිය. මෙම වාහල්කඩෙහි ඉතා මනරම්
කැටයම් නෙලා ඇති අතර, දේව රූප, සත්ත්ව රූප, වාමන රූප හා නාග රූප ආදිය දැකිය හැකි
වේ.
අටසැට ලෙන්
කණ්ඨක චෛත්‍ය අසල නැගෙනහිර කඳු බෑවුමේ ඇති ලෙන් සෑගිරියේ වාසය සඳහා වැඩම කළ මිහිඳු
මා හිමියන් ප්‍රධාන භික්ෂු සංඝයාගේ පරිහරණය සඳහා දේවානම් පියතිස්ස රජු විසින් අට
සැට ලෙන් එනම් හැට අටක් වූ ගල්ලෙන් පිළියෙල කරන ලදී.
සතර දිගින් පැමිණි, නොපැමිණි භික්ෂු සංඝයා වහන්සේගේ පරිහරණය සඳහා දේවානම් පියතිස්ස
මහරජු, ඔහුගේ භාර්යාව, සොහොයුරු උත්තිය රජු හා රජ පවුලේ සාමාජිකයන් මෙන් ම
සැදැහැවතුන් විසින් පූජා කළ බව කටාරම් ඉහළින් කොටා ඇති බ්‍රාහ්මී ලිපිවලින්
පැහැදිළි වේ.
ගල්ලෙන් වර්ෂා ජලයෙන් නොතෙමෙන්නට ඇතුළත ආරක්ෂා වෙනු පිණිස ගල උඩින් කටාරම් කොටා ඇත.
සිංහ පොකුණ
සිංහ පොකුණ යැයි ව්‍යවහාර වූව ද මෙය පොකුණක් ම නොව පසු පාද දෙකින් සිටගෙන සිටින
අයුරින් ගලින් නෙලන ලද ජීවමාන ප්‍රමාණයේ සිංහයකුගේ මුවින් ජලය පිටවන දිය පිහිල්ලකි.
මෙතැනට ජලය ලබාගෙන ඇත්තේ ඉහළින් ඇති නාග පොකුණේ සිට යොදා ගත් මැටියෙන් කළ නළ
මගිනි.මෙය කණ්ඨක චෛත්‍ය හා සන්නිපාත ශාලාව අසබඩ ජීවත් වූ භික්ෂූන් වහන්සේලාගේ පැන්
පහසුව පිණිස යොදා ගත්තා යැයි සිතිය හැකි ය.
දාන ශාලාව
මිහින්තලා මැද මළුවට පිවිසෙන ප්‍රධාන දොරටුව අසලින් වම්පසින් දාන ශාලාව පිහිටා ඇත.
දිගින් අඩි 114ක් හා පළලින් අඩි 77ක් ද වන මැද මිදුලක් සහිත ගොඩනැගිල්ලකි. මැද
මිදුල දිග අඩි 62කින් හා පළල අඩි 25කින් යුක්තය. භික්ෂූන් වහන්සේ දහස් ගණනකට එකම
වේලාවක දානය වළදන්නට ඉඩකඩ ඇත.
ගොඩනැගිල්ලේ දකුණු කෙළවර මුල්තැන්ගේ ය. බටහිර කොටස ගබඩාව විය හැකිය. නැගෙනහිර
දිශාවේ ගල්ඔරු දෙකකි. එයින් කුඩා ඔරුව කැඳ ඔරුව වශයෙන් සැලකේ.
දාන ශාලාව සඳහා ජලය සපයා ඇත්තේ ඉහළින් පිහිටි නාග පොකුණෙන් බව තහවුරු වේ.
සන්නිපාත ශාලාව
නූතන යුගයේ රැස්වීම් ශාලාවක ස්වරූපය ගත් මෙහි පුරාණ ලංකාවේ භික්ෂූන් වහන්සේලා ජීවත්
වූ ආරාමවල හා භික්ෂු ජීවිතයට අදාළ මෙන් ම වෙනත් පොදු කරුණු ද සාකච්ඡා කිරීම පිණිස
සංඝයා වහන්සේලා එක්තැන් වූ ස්ථානය මේ නමින් හැඳින්වේ.සමචතුරශ්‍රාකාර එම ගොඩනැගිල්ල
එක් පැත්තක් අඩි 63 පමණ වේ. ගලින් කරන ලද විවෘත එම ගොඩනැගිල්ල ගල් කණු 64කින් පමණ
දරා සිටි වහලයකින් සමන්විතය. සිව් දිසාවට දොරටු සතරකි. ශාලාව මැද ආසනයකි. එය මුලසුන
හෙබවූ ආරාමාධිපති වහන්සේගේ ආසනයයි. මෙය ධර්ම දේශනා වැනි කටයුතු සඳහා විවිධ අවස්ථාවල
දී භාවිතයට ගන්නට ඇතැයි සිතිය හැකි ය.
ධාතු මන්දිරය හා මිහිඳු රජුගේ
පුවරු ලිපි
සතරවන මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපිය පිහිටා ඇත්තේ, ධාතු මන්දිරයට ඇතුල්වන
දොරටුවේ දෙපස ය. ධාතු මන්දිරය චතුරශ්‍රාකාර ගෙඩනැගිල්ලකි. මෙම මන්දිරය සමහරවිටක ඉහළ
මාලයකින් ද සමන්විත වූවා විය හැක. එහෙත් දෙවන මහල කාලයාගේ ඇවෑමෙන් විනාශ වී යන්නට
ඇත. පහත මාලය පිළිම ගෙයක් වශයෙන් සකස් වන්නට ඇතැයි ද සිතිය හැකිය.
මෙම ධාතු මන්දිරය දහවැනි සියවස වන විට හිමිව තිබූ බව මිහිඳු රජුගේ පුවරු ලිපියෙන්
පැහැදිලි වෙයි. මිහින්තලේ ඉතිහාසය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රාශියක් හෙළි කරන
මිහිඳු පුවරු ලිපි හතරවන මිහිඳු රජු ක්‍රි.ව. 950 – 972 අතර කාලයේ කරවා ඇත. කොටස්
දෙකකින් යුතු පුවරු ලිපිය ලක්දිව ශාසන වංශ කතාවේ වැදගත් තොරතුරු හෙළි කරන ලිපියක්
සේ සැලකේ. මෙම පුවරු ලිපි දෙක දිගින් හා පළලින් එක සමාන ය.
ආරාධනා ගල
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රථමයෙන් දේවානම්පියතිස්ස මහ රජතුමාට ‘තිස්ස’ යන
නාමයෙන් ආමන්ත්‍රණය කළේ මෙම ගල් පර්වතයේ සිට බවට සැදැහැවත් ජනයාගේ විශ්වාසය වේ.
මිහිඳු මහ රහතන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව සුමන සාමණේරයන් වහන්සේ විසින් දෙවියන්ට
ධර්මය ශ්‍රවණය සඳහා මේ පර්වතයේ සිට ආරාධනා කරනු ලැබූ හෙයින් එය ‘ආරාධනා ගල’ යනුවෙන්
ද තවත් විශ්වාසයකි.
අම්බස්ථල දාගැබ
මහාදාඨික මහා නාග රජු විසින් පළමුවෙනි සියවසේ දී කරවන ලද සෑය අම්බස්ථල මහා සෑයයි.
මහාවංශය පවසන පරිදි කණිට්ඨ තිස්ස රජු ක්‍රි.ව. 167 – 186 අතර කාලයේ දී ඒ වටා
චේතියඝරයක් හෙවත් වටදා ගෙයක් ඉදිකර ඇත. ක්‍රි. පූ. 249 – 262 අතර කාලයේ ගෝඨාභය රජු
විසින් මෙම චේතියඝරය ප්‍රතිසංස්කරණය කර ඇති බවත් මහා වංශයේ ම සඳහන්ව ඇත.
මිහිඳු ගුහාව
ශිලා චේතිය අසලින් නැගෙනහිර දෙසට බෑවුමේ යාර 300ක් පමණ පියමන් කළ තැන හමුවන්නේ
මිහිඳු මහ රහතන් වහන්සේ භාවනාවේ යෙදුනා යැයි සැලකෙන ගලකින් ආවරණය වූ ගල් තලාවකි.
මිහිඳු ගුහාව අභ්‍යන්තරයෙහි ගලේ ම කොටා ඔප මට්ටම් කළ ඉතා සිනිඳු ඇතිරිල්ලක් බඳු
ආසනයක් ඇත. එය ස්වභාවයෙන් ම නිර්මාණය වී තිබෙන්නකි.
මිහින්තලා කන්දේ බෑවුමක පිහිටා ඇති හෙයින් අවට පරිසරය ඉතා සිත් ගන්නා සුළු ය.
මිහිඳු හිමියන් වස් විසීම සඳහා තේරා ගෙන ඇත්තේ ද මෙම මිහිඳු ගුහාවයි.
මිහින්තලා මහ සෑය
ක්‍රි. ව. 7 -19 සියවස් අතර කාලයක රජකළ මහාදාඨික මහා නාග රජු විසින් කරවන ලද
මිහින්තලා මහා සෑය මිස්සක පව්වේ පිහිටි විශාලතම දාගැබ් වහන්සේ ලෙස සැලකේ.
බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ නිදන් කොට ලදැයි පවසන මෙම මහ සෑය
පූජාවලියේ හා සතරවන මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ ද හැඳින්වෙන්නේ අම්බුළු
දාගැබ ලෙසිනි.
දාගැබ් පාදයේ විශ්කම්භය අඩි 136ක් වන අරත උස අඩි 45ක් හා පේසා වළලු තුනකින් සමන්විත
මිහින්තලා කඳු මුදුනේ සුදෝ සුදට බැබළෙන මහ සෑය අනුරාධපුර පූජා නගරයට පවා මනාව
දිස්වන හෙයින් මිහින්තලාව හඳුනාගත හැකි සංකේතයක් ලෙස හැඳින්විය හැකිය.
මිහිඳු සෑය
මහා වංශය පවසන පරිදි මිහිඳු මා හිමියන්ගේ පිරිනිවන්පෑමෙන් පසු උන්වහන්සේගේ ධාතූන්
වහන්සේගෙන් කොටසක් නිදන් කොට, දේවානම් පියතිස්ස මහ රජුගේ බාල සොහොයුරු උත්තිය මහරජු
විසින් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී කරවන ලද්දකි. එය පුරාණ ලංකාවේ මුල්ම දාගැබ්
අතරින් එකකි.
පසු කාලයක දී ප්‍රතිසංස්කරණයට භාජනය වූ බවට ඇති සාධක නිසාවෙන් අද අප දකින්නේ ඒ
මුල්ම දාගැබ නොවේ.
නාග පොකුණ
දිග මීටර් 12 පමණ හා පළලින් මීටර් 05ක් පමණ වන නාග පොකුණ ගල් බැමි බැඳ නයි පෙන
පහකින් අලංකාර කොට ඉහළ කඳු මතින් ගලා එන දිය පාර එක් රැස් කළ මෙම පොකුණ නාග පොකුණ
නමිනි. පළමුවැනි අග්ගබෝධි ක්‍රි. ව. 575 - 608 කාලයේ සෑගිරියේ ස්ථිර දිය ඇති මෙම
පොකුණ කළ බව චූලවංශයේ දැක්වේ.
මිහිඳු මාහිමියන් අනුරාධපුරයේ සිට වස් වැසීම පිණිස සෑගිරියට පැමිණි අවස්ථාවේ මෙම
පොකුණෙන් පැන් සනහා ගත් බව මහාවංශය පවසයි.
නාග පොකුණ හා සම්බන්ධ ජල මාර්ග පද්ධතිය නිසා සෑගිරි විහාරයේ භික්ෂු සංඝයාගේ දෛනික
කටයුතුවලට එය මහත් පහසුවක් විය.
ඇත්වෙහෙර
නාග පොකුණේ සිට පිය ගැට හයසීයයක් පමණ ඉහළට නැගීමෙන් පසු විශ්කම්භයෙන් මීටර් 27ක්
පමණ වන කුඩා ප්‍රමාණයේ ඇත්වෙහෙර ස්තූපය හමුවේ.
මිහින්තලා කඳු පන්තියේ උසම කඳුයායේ උසම කන්ද ලෙසින් සැලකෙන්නේ ඇත් වෙහෙර කන්දයි.
මෙම ස්තූපයට මහාදාඨික මහානාග රජු විසින් කරන ලද පූජාවක් පිළිබඳව ද සෙල්ලිපියක සඳහන්
වේ. ඇතුළු විහාරය යන නම ඇසුරෙන් මෙම දාගැබ ඇත් වෙහෙර නමින් හාඳින්වේ.
ක්‍රි. පූ. යුගයේ ඉදිවූ දාගැබක් බව පැහැදිලි නමුත් මෙය කවරෙකු විසින් කුමන අරමුණක්
සඳහා නිර්මාණය කළාදැයි ස්ථිර වශයෙන් කිව නොහැක.
ඉදිකටු සෑය
සතරැස් ගල් වේදිකාවක් මත පිහිටා ඇත. එක් පැත්තක් අඩි 40 පමණ වන වේදිකාව පොළව මට්ටමේ
සිට අඩි 5 1/2ක් උසට බැඳ ඇත. නැගීමට පිය ගැට පෙළක් ඇත. පියගැට පෙළ දෙපස කොරවක් ගල්
හා සඳකඩ පහණක් ද ඇත. චෛත්‍යයේ විශ්කම්භය අඩි 20 පමණ වේ. මෙම නිර්මාණය ද මහායාන
සම්ප්‍රදාය වේ.
මෙය මහනුවර යුගයේ දී ප්‍රතිසංස්කරණයට ලක්වී ඇති අතර එය ලක්දිව විසූ මහායානිකයන්
විසින් 08 හෝ 09 වැනි සියවසේ දී ඉදිකරන ලද ආරාමයක් සහිත චෛත්‍යයක් බව එහි දී ලද
තොරතුරු අනුව හෙළි වේ.
රාජගිරි ලෙන් කන්ද
මෙම කුඩා කඳු ගැටයේ විශාල ප්‍රමාණයේ ගල්ලෙන් කිහිපයක් ද පොකුණක් ද දක්නට ඇත.
භික්ෂූන් වහන්සේලාට භාවනානුයෝගීව වැඩ සිටීමට තනවා පූජා කරන ලද ගල් ලෙන් ඉතා විශාල
ප්‍රමාණයක් රාජගිරි ලෙන කන්දේ දැකිය හැකිය.
ඒවා සංඝයා වහන්සේ උදෙසා පූජා කළ අයගේ නම්, කවුරුන් හට පින් පිණිස පූජා කළේ ද යන වග
ආදී විස්තර ඇතුළත් බ්‍රාහ්මී සෙල්ලිපි ද මෙහි දී දැක ගත හැකි ය.
කළුදිය පොකුණ
පධන් වීර්ය වඩන භික්ෂූන් වහන්සේලාට ආරණ්‍ය සේනාසනයක් වූ ද වෘක්ෂලතාවන්ගෙන් සෙවන ලැබ
ශාන්ත, නිසසල පරිසරයක පිහිටියා වූ ද කළුදිය පොකුණට එම නාමය ලැබුණේ දියෙහි පතිත වූ
අඳුරු පැහැති ගස්වැල්වල ඡායාව නිසා ද විය හැක. දිගින් අඩි 200ක් පමණ ද, පළලින් අඩි
70ක් පමණ වූ මෙම දැකුම්කළු පොකුණ හතරවන කාශ්‍යප රජු විසින් ඉදිකර ඇති බව පුරා
විද්‍යාඥයන් ගේ විශ්වාසයයි. කළුදිය පොකුණ ආසන්නයේ ගල්ලෙන් , ස්නානගාර, දානශාලා,
භාවනා ශාලා, දාගැබ් හා පිරිවෙන් රාශියක් ම දක්නට ලැබේ.
චන්ද්‍රකාන්ත පාෂාණය
මිහිඳු මාහිමියන් මිහින්තලාවේ දී දේවානම්පියතිස්ස රජු සමඟ සංවාදයේ යෙදුණු අවස්ථාවේ
රජු සිටගෙන සිටි ස්ථානය ලෙස සැලැකෙන, මිහින්තලේ උඩමළුවේ අම්බස්ථල දාගැබට දකුණු
පසින් මෙම චන්ද්‍රකාන්ත පාෂාණය පිහිට ඇත. රන් ආලේපිත වැටකින් ආවරණය කර ඇති
චන්ද්‍රකාන්ත පාෂාණයට පුද සත්කාර කිරීමෙන් තම ප්‍රශ්නවලට පිළියම් ලැබෙන බව රජරට
ජනතාව අතර දැඩි විශ්වාසයක් පවතී.
දීපා පෙරේරා |