වැවයි දාගැබයි ගමයි පන්සලයි
ඌරුගමුවේ
අස්සජී හිමි
නාගරීකරණය තුළ අසල්වැසියාවත් නො හඳුනන ස්වභාවය සාමූහිකත්වයෙන් හා සහජීවනයෙන්
ක්‍රියා කිරීමට ඇවැසි මූලිකම මග අවහිර කරවයි. මිනිසුන් අතර සහජීවනය වර්ධනය කර
ගැනීමට නම් පළමුව අප එකිනෙකා හොඳින් හඳුනාගත යුතු ය. සැපතේ දී මෙන් ම විපතේ දී ද
සැවොම එකාවන්ව ක්‍රියා කිරීමට පෙළඹිය යුතු ය.
“මහරජ, ඔබට මෙන් ම ගුවනේ සැරිසරන පක්ෂීන්ට ද, වන සතුන්ට ද මේ රටේ ඕනෑම තැනෙක
ජීවත්වීමේ හා ඔබ මොබ යාමේ සම අයිතියක් ඇත. පොළොව රටවැසියාට සහ අනෙකුත් සතුන්ට ද
අයිතිවන අතර ඔබ එහි භාරකරු පමණකි.” (මිහින්තලා පර්වතය අසල දී මිහිඳු මහරහතන් වහන්සේ
විසින් දෙවනපෑතිස් රජුට දේශනා කරන ලද්දකි.)
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසියනට බුදුසමය හඳුන්වාදීමත් සමඟම මෙරට ජාතික,
ආගමික, සංස්කෘතික හා සාමාජික නවෝදයකට මංපෙත් විවර කෙරිණ. ඒ තුළින් ඉදිරිපත් කළ ජීවන
දැක්ම ලක්වැසියන්ගේ හදවත තුළ තදින් ම මුල්බැස ගත්තේ ය. එය එදාමෙදාතුර නො සිඳී
නොබිඳී පැවත එයි. ඒ නිසාම ලක්වැසි ජනතාව බුදුසමය සුරකිමින් ඒ ඔස්සේ ක්‍රියා කරනුයේ
අප්‍රමාණ සැදැහැ සිතකින් යුක්තව යි.
සිංහල ජන ජීවිතය තුළ සෑම අතින් ම ප්‍රකට වනුයේ බෞද්ධ සංස්කෘතික ලක්ෂණයි. සිංහල
ඉතිහාසයේ සැලැස්ම බෞද්ධ ඉතිහාසය යි. ජාතියත්, ආගමත් තුළ මෙ තරම් සැබැඳියාවක් එක්කළ
සිදුවීමක් මහින්දාගමනය හැර තවත් ඇතැයි, අපට කිසිසේත් ම කිව නොහැකි ය. බුදුසමයත්
ලංකා සංස්කෘතියත් ඒ තරමට ම එකිනෙකින් වෙන් කළ නො හැකි ලෙස වෙනස්ව හැඳින්විය නොහැකි
ලෙස සම්බන්ධ වී ඇති බව මේ අනුව පැහැදිලි ය.
වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන මනා සංස්කෘතියක සබැඳියාව ලක්දිව ඇතිවූයේ මෙම
පසුබිම තුළ යි. මෙය අනුක්‍රමයෙන් විකාශයට පත්ව ලාංකේය සංස්කෘතික සංකේතයක් බවට
පත්වූයේ මහින්දාගමනයෙන් වූ සංස්කෘතික නවෝදයේ ප්‍රතිඵලයක් ලෙසයි. පුරාණ සිංහල රජවරු
සාගරය පරයන වැව් ඉදිකරවීමෙන් අපේක්ෂා කළේ රටේ ජනතාව ගේ ආර්ථික සමෘද්ධිය යි. ආර්ථික
සශ්‍රීකත්වයේ සංකේතය වැවයි. ශ්‍රී ලාංකේය සිංහල බෞද්ධ සමාජයේ ප්‍රධාන ජීවනෝපාය වූ
කෘෂි කර්මාන්තය රඳා පවත්නේ වැව් දියවර මතයි. ඒ අනුව ස්වයංපෝෂිත කෘෂි ආර්ථික රටාවේ
පදනම වැව යි. වැව රටවැසියන් කිසිවෙකුත් සන්තක පෞද්ගලික දේපොළක් නොවේ. එහෙත් වැව
සියලුදෙනා ගේ ම ජීවිත රැකදෙයි. ආරක්ෂා කරයි. පරාර්ථ චර්යාව පිළිබඳ බුදුදහමේ එන
ඉගැන්වීම හා අදාළ සංකේතයක් ලෙස වැව හැඳින්විය හැකිය. වැව හෑරීමේ දී එහි පතුලෙන්
කැපුණු පසින් තැනූ ගඩොල් උපයෝගී කරගෙන වැව් ඉස්මත්තේ ඉදි කළ අහස් කුස සිපගන්නා
තේජාන්විත සුදෝ සුදු දැගැබ් අධ්‍යාත්මික සමෘද්ධියේ හෙවත් නිර්වාණ මාර්ගයේ සංකේතය
වේ.
වැවේත්, දාගැබේත්, රැකවරණය හා ආශීර්වාදය මත පැවති ජනපදය ගමයි. ගමේ මුදුන් මල්කඩ
විහාරස්ථානය යි. ගම්වාසීන් එදිනෙදා ජීවන රටාව ගෙන යන්නේ භික්ෂූන් වහන්සේලා ගේ නිසි
අවවාද අනුශාසනාවත්, ආශිර්වාදයත්, ඇතිවයි. පන්සල ආගමික ආයතනයක් මෙන් ම අධ්‍යාපන
මධ්‍යස්ථානයක් ද විය. පන්සලත්, ගමත් ගසට පොත්තත්, පොත්තට ගසත් සේ මනා සබැඳියාවකින්
යුක්තව පැවතියේ ය. අද දක්වාමත් එම සබැඳියාව ශක්තිමත්ව පවතියි.
මේ අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කරවීමත්, ජනතාවගේ දිවිමග සදාචාර සම්පන්න ලෙස දැහැමින්
පෝෂණය කරවීමත්, රාජ රාජ මහාමාත්‍යාදීන් ගේ ඒකායන අධිෂ්ඨානය අභිප්‍රාය ද විය. වැව්
ඉදිකිරීම් හා දාගැබ් ඉදි කරවීම් වැනි ක්‍රියාකාරකම්වල රජවරුන් නිරතවූයේ රටේ ජනතාවගේ
ද සාමූහික සහභාගිත්වය ලබා ගනිමිනි. ජනතාව ද මහත් බැතිසිතින් ඒ ඒ කාර්යයන් හි නිරත
වූයේ ලක්වැසියන් වූ ඔවුනට උපතින් ම මෙය උරුමව ඇති කාර්යයක් බව තේරුම් ගෙන ය.
භික්ෂූන් වහන්සේලාගෙන් නිසි අවවාද අනුශාසනා ලබමින් රාජ අනුග්‍රහයන් ඇතිව ජීවත් වූ
ලක්වැසි ජනතාව වැව් අමුණු හරහා කෙත්වතු ආදිය පල බරින් පෝෂණය කරවා කෘෂි ආර්ථික රටාව
තුළින් රට ස්වයංපෝෂිත කළහ. මෙම ක්‍රියාකාකරම් තුළ බෙහෙවින් ම සාමය හා සමගිය තහවුරු
විය. කුඹුරු කර්මාන්ත ආදියෙහි ලක්වැසියා සැමවිටම නිරත වූයේ සාමූහිකව ය.
එක් එක් ගොවියෙකු ගේ කුඹුරෙහි ගොයම් කැපීම් ආදී කටයුතුවලට ගමේ ගැහැනු පිරිමි
සියලුදෙනාම වාගේ පැමිණියහ. කෙත් යායෙහි ම ගොයම් කැපී අවසන් වනතුරු ගමේ ජනතාව
සාමූහිකව එකාවන්ව වැඩ කළහ. ගොයම් කැපීම් ආදිය සිදු කරන කුඹුරු කොටස හිමි ගොවි මහතා
එහි කාර්ය සහායට පැමිණි සියලු දෙනාටම අවශ්‍ය ආහාර පානාදියෙන් සංග්‍රහ කළේ ය. මෙසේ ඒ
ඒ කුඹුරු කොටස්වලට අදාළ කෘෂි කාර්මික කාර්යයන් නිමාවන්නේ සාමූහික ක්‍රියාකාරකමක
ප්‍රතිඵලයක් ලෙසයි. ඒ තුළින් ගමේ සියලු දෙනාගේ ම සුහදත්වය වර්ධනය වූවාක් සේ ම,
ඔවුනොවුන් ගේ ආර්ථික ශක්තිය ද යහපත් විය. මෙම වාපි සංස්කෘතියෙන් පෝෂණය ලැබූ අප රටේ
ජනතාව අවි ආයුධ වෙළෙඳාම, වස විස වෙළඳාම, සත්ත්ව වෙළෙඳාම වැනි අධාර්මික රැකියාවන් හි
නිරතවෙමින් තමා ගේ මෙන්ම අන්‍යයන්ගේ ද දිවිමග අඳුරු කරගැනීමට ක්‍රියා නො කළහ. ඔවුන්
තුළින් මැනවින් මූර්තිමත් වූයේ දැහැමි දිවි පැවැත්ම යි. සමගිය හා සහජීවනය යි.
වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි මුල්කරගත් සංස්කෘතිය නිසා හුදෙක් ම ලාංකික ජනතාවගේ
සාරධර්ම මැනවින් ආරක්ෂා විය. මෙරට වැසියන් සොරකම බොරුකීම කිසිසේත් ම පි‍්‍රය නොකළ
අවංක සාධාරණ පිරිසක් ලෙස සමස්ත ලෝකයා ගේ ම ගෞරවාදරයට පත් පිරිසක් විය. සියලුම දෙනා
එක මවක ගේ දරුවන් මෙන් අන්‍යෝන්‍ය සුහදත්වය ප්‍රකට කරමින් සහජීවනයෙන් දිවි පැවැත්ම
ගෙන ගියහ. ඔවුහු සැබෑ අවිහිංසාවාදියෝ වූහ. සැපතේ දී මෙන් ම විපතේ දී ද සැවොම
අන්‍යෝන්‍ය උපකාරය ඇතිව එකාවන්ව ක්‍රියා කළහ. ආත්මාර්ථය ඉක්මවා ගිය පරමාර්ථ
හැඟීමෙන් යුතුව මෙරට ජනයා ක්‍රියා කළ අයුරු මෙමඟින් පැහැදිලි ය. සමාජ ජීවිතයේ දී
අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන් තුළ පැවති මෙම අත්‍යන්ත සබැඳියාව එකට කැටි වී ඒ තුළින්
සහජීවනය මනාව මූර්තිමත් විය. මානව දයාව හා කරුණාව තුළින් ගොඩනගා ගත් මෙම සහජීවනයට
වැවයි, දාගැබයි, කේන්ද්‍රකොටගත් සංස්කෘතිය බෙහෙවින් ම බලපෑවේ ය.
ලොව අන් එක ද ජාතියකටවත් නොමැති ශ්‍රී ලාංකිකයනට ම ආවේණික වූ මෙම සංස්කෘතිය වත්මන්
සමාජයට ලබාදෙන ආදර්ශය ඉතා වැදගත් ය. නාගරීකරණය තුළ අසල්වැසියාවත් නො හඳුනන ස්වභාවය
සාමූහිකත්වයෙන් හා සහජීවනයෙන් ක්‍රියා කිරීමට ඇවැසි මූලිකම මග අවහිර කරවයි.
මිනිසුන් අතර සහජීවනය වර්ධනය කර ගැනීමට නම් පළමුව අප එකිනෙකා හොඳින් හඳුනාගත යුතු
ය. සැපතේ දී මෙන් ම විපතේ දී ද සැවොම එකාවන්ව ක්‍රියා කිරීමට පෙළඹිය යුතු ය.
සාමකාමී ජන සමාජයක් ගොඩනඟා ගතහැකි වන්නේ එසේ සුහදශීලීව ක්‍රියා කිරීම තුළිනි. මෙම
තත්ත්වය, බුදු දහමේ ආභාෂය නිසා ශ්‍රී ලාංකේය ජන සමාජය හඳුනාගත් සමාජ සංස්කෘතික
හරයන් ගේ ප්‍රතිමූර්තියකි. |