Print this Article


බෝසත් දරුවන්ට: ධරණීතලයේ හැරවුම් ලක්ෂය

 

ධරණීතලයේ හැරවුම් ලක්ෂය

පින්වත් දුවේ, පුතේ, අද පෙසොන් පෝය දවස අපේ රටට, ජාතියට, ආගමට, සංස්කෘතියට , අධ්‍යාපනයට ආදි හැම දෙයක ම ඉතාම වැදගත් දවසක්. මේ සියල්ලේම හැරවුම් ලක්ෂය වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ මේ ධරණීතලයට වැඩම කිරීම යි. බුදු හාමුදුරුවන්ට පමණක් දෙවන වන නිසා උන්වහන්සේ අනුබුදු මිහිඳු හිමි ලෙස ද හඳුන්වනවා.

සීහළ දීපයේ බුද්ධි මට්ටම, නුවණැස මුළු ලෝකයට ම හඳුන්වා දුන් දවස ලෙස පොසොන් පෝය තවත් ලෙසකින් හඳුන්වන්න පුළුවන්. ඒ ඇයි දන්නවා ද? මිහිඳු මා හිමියෝ ලංකාවට වැඩම කරලා, බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මය දේශනා කළා. තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් අය ඉන්නවාද කියලා මිහිඳු මහ රහතන් වහන්සේ ලොකු පරීක්ෂණයක් කළා. අද එවැනි පරීක්ෂණවලට කියන්නේ බුද්ධි පරීක්ෂණ කියල යි. බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගෙන, බුද්ධි පරීක්ෂණය ලොවට හඳුන්වා දුන්නේ මිහිඳු හාමුදුරුවෝ .

ඉතින් දරුවනේ, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ අහම්බයෙන් නොවෙයි. අපේ රටේ දේවානම්පියතිස්ස රජතුමා සහ දඹදිව ආශෝක අධිරාජයා අතර ලොකු මිතු දමක් තිබුණා. දැකලා නැති වුණත් ලිපි හුවමාරු කරගෙන ලොකු යාළුකමක් තිබුණා. රට රටවල් පුරා ධර්ම ප්‍රචාරය කරන වෙලාවේ තමන්ගේ ම ආදරණීය පුතා වූ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාධරණි තලයට වැඩම කොට වදාළේ එහි ප්‍රතිඵලයක් ලෙසට යි.

මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ තවත් පිරිසක් මෙහි පැමිණියා. ඒ පිරිස අතර ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල කියන උපසපන් භික්ෂූන් වහන්සේලා සතර නමක් වැඩියා. ඊළඟට සුමන සාමණේර හිමියනුත් වැඩියා. භණ්ඩුක උපාසකතුමාත් ආවා.

මේ පිරිසට මිහින්තලාවේ දී දේවානම්පියතිස්ස රජතුමා හමුවුණා. දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ වටිනා ධර්මය මේ ධරණී තලයට දේශනා කරන්න සුදුසු පරිසරයක් තිබෙනවාදැයි මිහිඳු මහරහතන් වහන්සේ කල්පනා කළා. ඒ සඳහා ඇති හොඳම සාධකයයි මිහිඳු මහරහතන් වහන්සේට මුණ ගැසුණේ, ඒ රටේ රජතුමා. එතුමා බුද්ධිමත් වුණෙත් රට වැසියනුත් බුද්ධිමත් වෙතැයි සිතලා රජතුමාගේ බුද්ධිය බලන්නට බුද්ධි පරීක්ෂණයක් පැවැත්වූවා. පරීක්ෂණ දෙකක් තිබුණා. පළමුවැන්න අඹ ප්‍රශ්නය, දෙවැන්න ඥාතීන් ගැන ඇසූ ප්‍රශ්නය. වෙනත් විදියකින් බැලුවොත් එය හරියට ගණිත ගැටලුවක් වගෙයි. ගණිතය ඉගෙන ගන්නා විට කුලක ගැන ඉගෙන ගන්නවානේ. උන්වහන්සේ ඇසුවේත් කුලක ප්‍රශ්නයක්. ඉතින් රජතුමා බුද්ධි පරීක්ෂණ දෙකෙන් ම සමත්වුණා. ලංකාවේ ඉන්නේ බොහොම බුද්ධිමත් පිරිසක් කියලා මිහිඳු මහ රහතන් වහන්සේ තීරණය කළා. උන්වහන්සේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කරලා රජතුමා තෙරුවන් සරණගිය උපාසකයෙක් කළා. මිහිඳු මා හිමියන් වැඩිය ගමනේ පළමු පියවර සම්පූර්ණ වුණා. රජතුමා එතුමාට තිබුණු වටිනාම උයන උන්වහන්සේට පූජා කළා, ලංකාවේ ම වැඩ ඉන්න කියලා. ඒ මහමෙව්නා උයන. රජතුමා එහි විහාරයක් ගොඩ නැඟුවා. ඒ මහා විහාරය. මහා විහාරයේ ගොඩනැඟිලි සැලසුම් සියල්ල කළේ මිහිඳු මහ රහතන් වහන්සේ. හරියට ඉංජිනේරුවෙක් වගේ. දැන් ඉතින් බුද්ධ ශාසනය පිහිටුවීමේ දෙවන පියවරත් සාර්ථක වුණා. මිහිඳු මහරහතන් වහන්සේ සමඟ ස්වාමීන් වහන්සේලා සිව් නමක් වැඩිය බව කීවා දරුවන්ට මතක ද? ඒ සිව්නම උපසම්පදාව ලැබු ස්වාමින් වහන්සේලා.

උන්වහන්සේලා වැඩියේ විනය කර්මයක් කරන්න. විනය කර්මය කියන්නේ භික්ෂූන් වහන්සේලා සිව් නමකට වඩා එකතු වෙලා ශාසනයේ දියුණුව වෙනුවෙන්, පැවැත්ම වෙනුවෙන් ගන්නා සාමූහික තීරණවලට. උන්වහන්සේලා වැඩියේ සුමන සාමණේරයන් උපසම්පදා කරන්න. උපසම්පදා කරනවා කියන්නේ මොකක් ද? පුංචි දරුවෙක් හෝ, වැඩිහිටි කෙනෙක් හෝ මහණ වුණාම කියන්නේ සාමණේරයන් වහන්සේ කියලා. උන්වහන්සේලාට ශික්ෂා පද දහයක් ආරක්ෂා කරන්න ඕනෑ. ඒත් ඒ ශික්ෂා පද දහයම එකින් එකට බැඳිලයි තිබෙන්නේ. හරියට පබළු මාලයක් වගේ. එක ශික්ෂා පදයක් කැඩුණොත් දහයම කැඩෙනවා. මේ සාමණේරයන් වහන්සේ වයස අවුරුදු 20 ක් වුණාට පස්සේ උපසම්පදා කරන්න පුළුවන්. එයට කියන්නේ අධිශීලයේ පිහිටුවනවා කියලයි. ගණනින් නම්, ශික්ෂාපද 227 ක් සමාදන් කරනවා කියන එකයි. ඉතින් ශාසනයේ පිහිටුවීමේ ප්‍රධානම කාර්යය ලංකාධරණී තලයේ සිදුවුණා. ප්‍රථම වතාවට උපසම්පදා කළා. ඉතින් ඔන්න ශාසනය පිහිටුවීමේ ඊළඟ පියවරත් සාර්ථක යි. භණ්ඩුක උපාසකතුමා රැගෙන ආවේ කුල දරුවෙක් පැවිදි කරන ආකාරය පුරුදු කරන්න. භණ්ඩුක උපාසකතුමා සාමණේර හාමුදුරු නමක් ලෙස පැවිදි කළා. ශාසනය පිහිටුවීමේ ඊළඟ පියවරත් සාර්ථක වුණා. මේ විදියටයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ බුද්ධ ශාසනය පිහිටුවූයේ. එපමණක් නොවෙයි. තවත් සුවිශේෂී බොහෝ දේ සිදුවුණා, ඒ ගැන ඊළඟ බුදුසරණ කලාපයෙන් දැන ගනිමු.