සැප ද දුක ද නුවණින් දකින්න
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
බොහෝ දෙනාට වේදනාව ඉවසන්න අපහසු යි. බඩේ වේදනා, හිසේ වේදනා, දතේ වේදනා හැදුනහම කෑකෝ
ගසනවා. විලාප දෙනවා. එවැනි වේදනාවක් ඇතිවුණ විට වේදනාව මෙනෙහි කරන්නැ’යි බුදුන්
වහන්සේ වදාළා. එය සැප දුක , මධ්‍යස්ථ සියල්ලටම පොදුයි.
සැප සහ දුක් වේදනා දෙක ම විදර්ශනාවට නැගීම බොහොම වටියි. එයට සත්ත්වයෙක්, පුද්ගලයෙක්
, ආත්මයක් , ගත යුතු මුකුත්ම නැහැ. ඒ සැප වේදනාවත් අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්මයි
යනුවෙන් හොඳට නුවණින් මෙනෙහි කරන්න. නාමස්ඛන්ධයක් වූ වේදනාව ගැන සිත පිහිටුවා ගෙන
වේදනා ස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි , අනාත්ම යි යනුවෙන් සියවර දහස්වර ම මෙනෙහි
කරන්න. මේ නිසා නුවණ හොඳින් දියුණු වෙයි.
වේදනාව චෛතසික ධර්මයක්. එවිට සිත් අසූනවයම ඇත්තේ වේදනා අසූනවයක්. එය සැප වේදනාවක්,
දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් විය හැකි යි. වේදනාව රූපයක් නෙවෙයි, එය
නාමස්ඛන්ධයක්.
මේවා හොඳට තේරුම් බේරුම් කර ගන්න. වේදනාව යනු චෛතසිකයක්. සිතිවිල්ලක්. වේදනාව
මෙනෙහි කරන්නේ සිත යි. එය විඤ්ඤාණය යි. විඤ්ඤාණය යනු රූපයක් නෙවෙයි. එය නාමයක්
වෙයි. ඒවා හොඳට වටහාගෙන මේ ලොවුතුරු දහමට අනුව කටයුතු කරන්න කවුරුත් වෙහෙස මහන්සි
විය යුතු යි.
සත්ත්වයෙක් උපත ලබන්නේ කර්මයට අනුරූපව යි. මනුලොවට කෙනෙක් පහළ වෙන්නේ පිනක් හේතු කර
ගෙන යි. අපායට වැටෙන්නේ පව මුල් කරගෙන යි. දෙව් ලොවට, බඹලොවට ගියේ පින මුල් කරගෙන
යි. තණ්හාව නැති කරලා නිවනට පත් වුණෙත් පින මුල් කරගෙන යි.
රහත් වූ පසුව කුමන වේදනාවක්වත් තද වශයෙන් ගන්නේ නැහැ. සමාපත්ති සුවයෙන් එය විඳ ගත
හැකි යි. උන් වහන්සේගේ අවසානයත් සමඟම තමන් සියලු ම සංස්කාරයන්ගෙන් අත්මිදී අසංකත
නම් වූ නිර්වාණයට පත් වුණා. ඒ තත්ත්වයට පත්වන තුරුම සත්ත්වයා අප්‍රමාණ දුක්
විඳිනවා. වේදනා විඳිනවා. සැප වේදනා අඩුයි. දුක් වේදනා වැඩියි. ඒවා දැනකියාගෙන
සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන වේදනාව හොඳට මෙනෙහි කරලා වේදනානුපස්සනාව තමන්ට වැටහෙන
ආකාරයට මෙනෙහි කළ යුතු යි. එවිට තමන්ට වේදනාව මෙනෙහි කර යම්කිසි සුවයක් ලැබිය හැකි
යි.
සැප වේදනාවක් හෝ වේවා, දුක් වේදනාවක් හෝ වේවා, මැදහත් වේදනාවක් හෝ වේවා, තමන්ට
දැනුණොත් එය තමන්ට පහසු ආකාරයට වැටහෙන ආකාරයට වේදනාව මෙනෙහි කරගැනීමට බුදුන් වහන්සේ
අපට උපදෙස් දුන්නා. එසේනම් වේදනාවේ තත්ත්වය වටහාගෙන වේදනාවයි, වේදනාවයි, යනුවෙන්
මෙනෙහි කර වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. එවිට
සෝවාන්, සකෘදාගාමී, අනාගාමී , අර්හත් මාර්ග අවස්ථාවන්ට සමීප වෙයි.
යම්කිසිවෙක් භාවනාවෙන් ධර්මාවබෝධයක් බලාපොරොත්තු වන්නේ නම්, ඒ තැනැත්තාට ඍතු
සප්ප්‍රාය එනම්, සුදුසු දේශගුණයක් තිබිය යුතු යි. ඍතුව හොඳ විය යුතු යි. තද උෂ්ණ
නම්, තද සීතල නම් භාවනා කරගෙන ඉදිරියට යන්නට අපහසු යි. පුද්ගල සප්‍රාය තිබිය යුතු
යි. ඇසුරට සුදුසු පුද්ගලයන් වාසය කළ යුතු යි. භෝජන සප්‍රාය තිබිය යුතු යි. සුදුසු
ආහාර ලැබිය යුතු යි. කර්කශ ආහාර, වියළි ආහාර රැගෙන භාවනා කටයුතු කරන්න අපහසු යි.
ධම්ම සවණ සප්‍රාය එනම් ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කළ ධර්මය ශ්‍රවණය කළ යුතු යි. ඒ
ධර්මය තේරුම් ගැනීමෙන් යායුතු මඟ, නොයා යුතු මඟ තේරුම් බේරුම් කරගත හැකි යි. මේ
සප්‍රායෙන් යුක්තව ඕනෑම කෙනෙක් ආසනයක වාඩිවෙලා, මේ කියන විදර්ශනා භාවනාව එනම්
වේදනානුපස්සනාව මෙනෙහි කරන්නට පටන් ගත්තොත් රහත් බව ලැබිය හැකි බව තථාගත ධර්මයේ
සඳහන් වෙයි.
එසේනම්, වේදනා කර්මස්ථානය වේදනානුපස්සනාව කෙරෙහි සිත පිහිටුවාගෙන සම්මා
සම්බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් පැහැදිලි කළ සේක් නම්, ඒ ධර්මයට අනුව කවුරුත්
කටයුතු කළ යුතු යි. මුලින් ම නිශ්ශබ්ද පරිසරය සිට වාඩිවී නමස්කාරය කියා, ඉතිපිසෝ ,
ස්වාක්ඛාත, සුපටිපන්න ගුණ සජ්ඣායනා කර, නමස්කාරකව ජීවිත පූජා කරලා, දෑස් පියාගෙන ,
වම් අත යටවෙන සේ දකුණත තබාගෙන කය ඍජුව තබාගෙන වේදනාව කෙරෙහි සිත පිහිටුවාගෙන වේදනාව
මෙනෙහි කළ යුතු යි. ඒ මඟින් චිත්ත සමාධියක් ලැබිය හැකියි. එය සත්ත්වයෙක් නොවේ,
පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ, යනුවෙන් මෙනෙහි කරද්දී වේදනාව අනිත්‍ය, දුක්ඛ,
අනාත්ම වශයෙන් මෙනෙහි කරද්දී වේදනාව විදර්ශනාවට වැටෙයි.
විදර්ශනාව යනු විශේෂයෙන් දැකීම යි. ඇසින් දකින්නා සේ එහි යථාව නුවණින් දැකිය යුතු
යි. සාමිස වේදනාවක් හෝ නිරාමිස වේදනාවක් හෝ සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ
ලැබුණොත් ඒ අවස්ථාවලදී ඒ අරමුණේ සිත පිහිටුවාගෙන අකම්පිතව වේදනාව අනුව ම බැලිය යුතු
යි. එසේම තමන්ගේ වේදනාව මෙන්ම අනුන්ටත් හටගන්නා වේදනාව දෙස නුවණින් බලන්න.
කම්මැළි , අලස පුද්ගලයාට වේදනාව මෙනෙහි කරන්න පුළුවන්කමක් නැහැ. උත්සාහවන්තයා පමණක්
වේදනානුපස්සනාවට අනුකූලව සිත තබාගෙන මෙනෙහි කරයි. නුවණැත්තා පමණක් අනිත්‍යය, දුක්ඛ,
අනාත්ම වශයෙන් සලකයි. උත්සාහය යි නුවණයි නැතිනම්, වේදනාව කෙරෙහි සිත පිහිටුවන්න
පුළුවන්කමක් නැහැ.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |