Print this Article


සුගති ගමන -23: ධර්ම විනය ගුරුතන්හි පිහිටුවා ගැනීම

සුගති ගමන -23:

ධර්ම විනය ගුරුතන්හි පිහිටුවා ගැනීම

අපේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහොය දිනෙක ලොවුතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා බෝධිමූලයේ සතියක් විමුක්ති සුවයෙන් වැඩ සිටියදී, උන්වහන්සේ විමසා බැලුවා ගුරුවරයෙක් නැතිව වාසය කිරීම සුදුසු නැහැ. ඒ නිසා බුදු වුණත් උන්වහන්සේට ගුරුවරයෙක් ඉන්නට ඕනේ. මේ වෙලාවේ විමසලා බැලුවා උන්වහන්සේට වඩා දෙවියන් අතර, බ්‍රහ්මයන් අතර, ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර ශීලයෙන් උසස් කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. දස දහසක් ලෝක ධාතුවේ කොහේවත් ඉන්නවාද කියා. දෙව්ලොව , බඹලොව බුදු ඇසින් බැලුවා. කොහේවත් නැහැ. ඊළඟට සමාධිය පැත්තෙන්, ප්‍රඥාව පැත්තෙන්, විමුක්තිය , විමුක්ති ඥාන දර්ශන මේ කිසිවකින් උන්වහන්සේට එහා ශීල, සමාධි, ප්‍රඥා , විමුක්ති, විමුක්ති ඥාන දර්ශන ඇතිකරගත් කෙනෙක් මේ ලෝක ධාතුවේ ම, දස දහසක් ලෝකධාතුවේ ම කොහේවත් උන්වහන්සේ බුදු ඇසින් දකින්නේ නැහැ.

අවසානයේ උන්වහන්සේ විමසා බැලුවා පෙර බුදුවරු ගුරු තනතුරේ පිහිටුවා ගත්තේ කුමක්ද? උන්වහන්සේට වැටහුණා පෙර බුදුරජාණන් වහන්සේ ශාස්තෘ තනතුරේ පිහිටුවා ගත්තේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්ම, විනය ගුරු තනතුරේ පිහිටුවා ගන්නවා. මේ නිසා බෝධි මූලයේ ම උන්වහන්සේ අවබෝධකරගත් ධර්ම විනය ම ශාස්තෘත්වයට පත් කළා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරගත් ධර්මය අවුරුදු හතළිස්පහක් පුරාවට දේශනා කර සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පාන දවසේ මල්ලව රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් මංචකයේ වැඩ සිටියදී උන්වහන්සේ විමසා බැලුවා අනාගතයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පසුව උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකාවන් ශාස්තෘන් වහන්සේ හැටියට ධර්ම විනය පිහිටුවන්නට ඕන.

ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා, ආනන්ද, ඔබට සිතෙන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පසුව, අනේ! අද අපේ ශාස්තෘන්වහන්සේ පිරිනිවන් පානවා. අපට ශාස්තෘවරයෙක් නැති වෙනවා. අපට දැන් ඉතිරි වෙන්නේ අතීතයට ගිය ශාස්තෘවරයෙකුගේ ධර්ම විනයක් නේද? ආනන්ද, එහෙම සිතන්න එපා කිව්වා. අද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවාත් සමඟ ම නුඹලාගේ ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්නේ මේ ධර්මය යි, විනය යි, කියලා ධර්ම විනය ශාස්තෘත්වයෙන් පත්කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා.

ශ්‍රී දේහය දින හතක් මහජන ප්‍රදර්ශනයට තැබුවා. දින හතකට පසුව කපු පුළුන් පටල පන්සියයකින් , සිවුරු පන්සියයකින් ඔතලා රන් දෙණක තැන්පත් කරලා සඳුන් චිතකයක් තුළ ශ්‍රී දේහය ආදාහනය කරන්නේ. එදා චිතකයට ගිනි දල්වන කොට මේ පිරිස අතරට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් වැඩම කළා.

ඔබ අසා ඇති. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩම කරන තෙක් මල්ල රජදරුවන්ට චිතකයට ගිනි දල්වන්න බැරි වුණා. අවසානයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සඟ පිරිස පිරිවරාගෙන වැඩම කර, චිතකය වටා ප්‍රදක්ෂිණා කර, බුදුරජාණන් වහන්සේගේ සිරි පතුල් පිහිටි තැන නළලත තබා අධිෂ්ඨාන කරනවිට හරිම ආශ්චර්යයක් සිදු වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් චිතකයෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ නළලත පිහිටනවා. උන්වහන්සේ සිරි පතුල් නළලත තබාගෙන පිරිමදිමින් වන්දනා මාන කර සිරිපතුල් මතින් හිස ඉවතට ගෙන නැඟිටිනවාත් සමඟම පෙර තිබ ූ පරිදිම සිරිපතුල් සකස් වුණා. දේවානුභාවයෙන් චිතකයට ගිනි ඇවිළුණා යැ’යි සඳහන් වෙනවා.

මෙලෙස චිතකය දැල්වෙන විට රහතන් වහන්සේලා අනිත්‍ය ස්වභාවය සිහි කර ගත්තා. ඒ අතර බොහෝ කෙලෙස් සහිත අය හඬා වැළපෙන්න පටන් ගත්තා. මෙලෙස හඬා වැළපෙන පිරිස අතරින් සිවුරක් දරාසිටි සුභද්‍ර භික්ෂුව බුදුරජාණන් වහන්සේ ගැන බොහොම කේන්තියෙන් සිටියේ. ඒකට හේතුව සුභද්‍ර භික්ෂුවගේ වැරැදි ජීවන රටාව, ආජීවයේ අපිරිසුදුකමට බුදුන් වහන්සේ අවවාද කරමින් දවසක් සුභද්‍රට දහම් දෙසුවා. සුභද්‍ර ගිහිකල කරණවෑමියෙක්. දවසක් බුද්ධප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් දානයක් සකස් කරන්න ඕනේ කියලා, ගිහි කාලේ වගේ කරණවෑමි රැකියාව කර පැවිදිව ලබාගත් මුදලින් කැඳ දානයක් සකස් කර බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජාකරන්න සුභද්‍ර සූදානම් වෙනවා. එහිදී බුදුන් වහන්සේ වදාළේ මෙය අපිරිසුදු බවයි. භික්ෂූන් වහන්සේ නමකට මේ ක්‍රමය සුදුසු නැති බව වදාළා. ඒ නිසා මේ කැඳ වළඳන්න එපා කියා, කැඳ ටික ඔහොම ම ඉවතට දමන්නැ’යි භික්ෂූ පිරිසට වදාළා. එදා මේ හේතුවෙන් බුදුන් වහන්සේ කෙරෙහි වෛර බැන්ද සුභද්‍ර ශ්‍රී දේහය ආදාහනය වන මොහොතේ පිරිස අතරට පැමිණ ‘මොකට ද? නුඹලා අඬන්නේ? සතුටු වෙයල්ලා’ කියනවා. ඒ මහා ශ්‍රමණයාගෙන් අප මිදුණා. දැන් අපට මේක කැපයි, මේක අකැපයි කියා නීති දාන්න කෙනෙක් නැහැ. අපට ඕන විදිහට ඉන්න පුළුවන් කියනවා.

මේ ප්‍රකාශය තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ කන වැටුණේ. උන්වහන්සේ ඒ මොහොතේ ම සංඝයා රැස්කරලා භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශයක් කරනවා, ‘ආයුෂ්මතුනි, අධර්මය බබළන්න පෙර, අධර්මවාදීන් බලවත් වෙන්න පෙර, ධර්මය යටපත් වෙලා ධර්ම වාදීන් යටපත් වෙන්න පෙර, ඉක්මනට ධර්ම විනය සංඝායනා කළ යුතු යි. විනය වාදීන් බලවත් වෙලා, අවිනියවාදීන් බලවත් වෙන්න පුළුවන්. ඊට පෙර ධර්ම විනය සංගායනා කළ යුතු යි. මේ ප්‍රකාශය මත මහ රහතන් වහන්සේ පන්සිය නමක් එකතුකරගෙන සංගායනාවකට කටයුතු සූදානම් කළා. හරියටම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා මාස තුනක් යන තැන අජාසත්ත රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. මහ රහතන් වහන්සේලා පන්සියයකින් තමයි ධර්ම කටයුතු සිදුකරන්න සූදානම් කළේ.

හරියටම සංගායනාවට පෙර දවසේ උතුම් අරහත්වයට පත් ආනන්ද මහ රහතන් වහන්සේත් එදා සංගායනා සභාවේ වැඩ සිටියා. මහරහතන් වහන්සේ පන්සිය නම සම්පූර්ණ වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචන , අවුරුදු හතළිස් පහක් පුරාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලුම වචන එකතු කරලා, මෙන්න ධර්මය, මෙන්න විනය, මෙන්න බුද්ධ ශාසනය කියලා මාස හතක කාලයක් තිස්සේ ධර්ම සංගායනා පවත්වමින් වෙන වෙනම කොටස්වලට පිටක වලට සංගායනා කරමින් ධර්ම සංගායනා කර ධර්ම විනය ස්ථාපිත කළා.

ආනන්ද මහ රහතන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ උන්වහන්සේගේ ථෙර ගාථාවේ සඳහන් වෙනවා, ආනන්ද හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක යි. ආනන්ද හාමුදුරුවෝ තමයි ‘සතිමන්ථානං’ සිහි නුවණ තිබෙන භික්ෂූන් අතර අග්‍රම උත්තමයා. යමක් ක්ෂණයෙන් වටහා ගන්නා භික්ෂූන් වහන්සේ අතර අග්‍රම උත්තමයා. මතක ශක්තියෙන් අග්‍රම උත්තමයා. ආනන්ද හාමුදුරුවෝ ඒ වෙනුවෙන් ම පෙරුම් පුරාගෙන ආවේ බුදුරජාණන් වහන්සේගෙන් උපස්ථායක තනතුරු ලබන වේලාවේ, ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීම් කිහිපයක් ඉල්ලනවා. ‘බුදුරජාණන් වහන්සේ මා නැති තැන යම් ධර්මයක් දේශනා කළා ද ඒ දේශනාව ඒ විදිහටම නැවත මට කියා දෙන්න, එයට හේතුව ආනන්ද හාමුදුරුවෝ පෙරුම් පුරාගෙන ආවේ, ධර්මයම කටපාඩමෙන් අනාගතයට අරගෙන යන්න යි. බුදුරජාණන් වහන්සේගේ සියලුම දේශනා කටපාඩමෙන් දරාගෙන මහ රහතන් වහන්සේලාගේ දේශනා ධාරණය කරගෙන සිටියේ ආනන්ද හාමුදුරුවො යි. ආනන්ද මහ රහතන් වහනසේගේ ථෙර ගාථාවේ සඳහන් වෙනවා, මා බුදුරජාණන් වහන්සේගෙන් අසාගත් ධර්මස්ඛන්ධය අසූ දෙදහසක් ධාරණය කරගත්තා. මහ රහතන් වහන්සේලාගේ ධර්මය දෙදහසක් මා ධාරණය කරගත්තා. මා දරාගෙන සිටිය සම්පූර්ණ ධර්මස්ඛන්ධය අසූ හාරදහසයි කියනවා. එසේනම්, ආනන්ද හාමුදුරුවෝ අසූහාරදහසක් ධර්මස්ඛන්ධය දරාගෙන සිටිය බව ආනන්ද මහ රහතන් වහන්සේගේ ථෙර ගාථාවේ සඳහන් වෙනවා. පළවන ධර්ම සංගායනාව තුළ ඒ අසූ හාරදහසේම ධර්මස්ඛන්ධය සඳහන් වෙනවා.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, මේ සංගායනාවේ මූලිකත්වය දැරුවා. විනය ධර භික්ෂූන් වහන්සේ අතර අග්‍ර උපාලි මහ රහතන් වහන්සේ විනය පිටකය සංගායනා කරමින් වෙන වෙනම කොටස් වලට බෙදුවා. අනෙක් බුද්ධ දේශනා ආනන්ද හාමුදුරුවෝ , ඒ වෙනවිට ශාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනිවන් පාලා. මුගලන් මහ රහතන් වහන්සේත් පිරිනිවන් පාලා, නමුත් උන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ආදිය එදා වැඩ හිටපු ජ්‍යෙෂ්ඨතම මහ රහතන් වහන්සේ එකතු වෙලා පන්සියයක්ම මහ රහතන් වහන්සේ මාස ගණනාවක් පුරාවට ධර්ම විනය සංගායනා කරලා, අසූහාරදහසක් ධර්මස්ඛන්ධයම අනාගත පරපුර වෙනුවෙන් ස්ථාපිත කරන්නට යෙදුණා.

ඊළඟට ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවට, වෙන වෙනම කොටස් පිටක ලෙස කටපාඩමෙන් අරගෙන ධම්ම සංගායනාව අවසානයේ පැවරුවා. මොකද? බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ තිබුණේ, පොත්වල ලියාගෙන, පොත්වලින් අරගෙන යන ක්‍රමයක් නොවෙයි. ඒ කාලයේ පොත් පත් තිබුණා. වේද ග්‍රන්ථ තිබුණා. හැබැයි, බුදුරජාණන් වහන්සේ ඉගැන්නුවේ, කටපාඩම් කරගෙන යන ක්‍රමයක්. සුතා, හොඳට ධර්මය අසන්න. දතා, ඇසූ ධර්මය ධාරණය කර ගන්න. වචසාපරිචිතා , ඒ ධර්මය නිතර නිතර වචනයෙන් පුරුදු කරන්න. එනම් නිබඳව ම කටපාඩම් කරගෙන සජ්ඣායනා කරන්න. ඒ කටපාඩම් කළ ධර්මය මනසානුපෙක්ඛිතා, නිතර නුවණින් විමස, විමසා බලන්න. එවිට තමන්ගේ අවබෝධයක් බවට පත්වෙනවා. දිට්ඨියා සුප්පටිවිද්ධා තමා තුළින් ම ඒ ධර්මය අවබෝධ කරගන්නවා. අන්න ඒ ක්‍රමයට තමයි එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බණ අහනවා, අසන ධර්මය ධාරණය කරගන්නවා, නිතර සජ්ඣායනා කර ඒ ධර්ම කොටස් කටපාඩම් කර ගන්නවා. ඒ කටපාඩම් කරගත්ත ධර්මය ම නුවණින් විමසනවා. භාවනා කරනවා. ඒ ධර්මය ම අවබෝධ කරගනිමින් ඒ ධර්මය අනාගත පරපුරට අරගෙන යනවා. මේ ක්‍රමයට තමයි ධර්මය ආරක්ෂා කරගෙන පවත්වාගෙන ආවේ.