Print this Article


ලොව සුපතළ අනුරපුර මණිමේඛලා ප්‍රාසාදය

ලොව සුපතළ අනුරපුර මණිමේඛලා ප්‍රාසාදය

අනුරාධපුර ජේතවන දාගැබ ඇතුළු, අක්කර 08කට නොවැඩි භූමිභාගයක් සිසාරා පැතිර පවත්නා නටබුන් අතර නව වන සියවසේ පළමුවැනි සේන රජු ඉදිකළ බැව් සැලකෙන මණිමේඛලා ‘ප්‍රාසාදය’ විශේෂ තැනක් ගනී. මෙයට ‘පටිමාඝරය’ ‘පිළිමගෙය’ යන නම් ද භාවිත කරයි. ජේතවන දාගැබට බටහිර දෙසින් මෙම නිර්මාණය පිහිටා තිබේ.

ගඩොල්මුවා ගෝලාකාර වහලක් (අමරාවක්) සහිත වූ වාස්තුවිද්‍යාත්මකව ගෙඩිගේ (ගිඤ්ජකාවසථ) සම්ප්‍රදායට අයත් මෙම පිළිමගෙය නිර්මාණාත්මක ලක්ෂණ අනුව අනුරාධපුර අවධියේ අවසාන කාලයට අයත් ය. ප්‍රතිමාගෘහයෙහි පොළොව මට්ටමේ සිට අඩි 27 ක් උස් වූ ශෛලමය උළුවස්සක් දක්නට තිබේ. ප්‍රවේශ ශාලාව පියමන්කර යන කෙනෙකුට හාත්පසින් වට වූ ප්‍රදක්ෂිණා පථයක් සහිත ඇතුළුගර්භය දැකගත හැක. ශිලාමය උළුවස්ස, ගර්භපාත්‍රය සහ පද්මාසනයේ ප්‍රමාණයන්ට අනුව මෙහි සුවිසල් හිටි බුදු පිළිමයක් තිබෙන්නට ඇත. මෙම හිටි පිළිමය අඩි 37 ක් පමණ උස්ව තිබෙන්නට ඇතැයි ගණන් බලා ඇත. එසේම එම ප්‍රතිමාව හුණුගලින් නෙළා තිබෙන්නට ඇති අතර ඇති වූ ගින්නක් නිසා විනාශ වී යන්නට ඇතැයි පැවසේ. ගර්භපාත්‍රය සහ පද්මාසනය ද මේ ගින්නට හසු වී ඇත. ගල් පුවරු අතුරන ලද ගර්භගෘහයකින්ද, ඒවාට ප්‍රදක්ෂිණා පථයකින් ද, ඉදිරියේ අන්තරාලයකින් ද හා මණ්ඩපයකින්ද මෙය සමන්විත වේ. ප්‍රතිමා ගෘහයෙහි අර්ධ ගෝලාකාර පියස්ස අඩි 50 ක් පමණ උසින් පිහිටන්නට ඇත. 1 වන සේන රජු මෙම පිළිම ගෙයතුළ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාවක් ද වඩාහිඳුවා ඇති බව පැවසේ. ක්‍රි.ව. 946 – 954 හිදී 2 වන සේන රජු මේ ප්‍රතිමා ගෘහයට බෝධිසත්ව රූපයක් එක්කර තිබේ. සිව්වන උදය රජුගේ පාලන සමයේ දී මෙය සොළීන් විසින් විනාශ කරන ලදුව යළි එම රජු විසින්ම අඩක් ගොඩනංවන ලදී. අනුරාධපුර රාජධානියේ අවසාන කාලපරිච්ඡේදය හෙබවූ සිව්වන මහින්ද රජු මෙම ප්‍රතිමා ගෘහය නැවත පිහිටුවී ය.

බුදුරුවෙහි පද්මාසනයෙහි කැඩී බිඳී ගිය අවශේෂ වූ කොටස් දැනුදු දක්නට ලැබේ. පද්මාසනයට යට දක්නට ලැබෙන යන්ත්‍ර ගලෙහි ඇති කවාට මීට එක් කරන ලද්දේ ලෝක පාලක දේවතාවුන් සහ තවත් අවශේෂ දෙවිදේවතාවුන්ගේ පිළිම තැන්පත් කිරීම සඳහා විය යුතු ය. පද්මාසනය ඊට ඉහළින් ඇති නිසා ඉන් නිරූපණය වන්නේ බුදුන් වහන්සේ දේවාති දේව හා ලෝකාති ලෝක වන බවයි. ඉතිරි වී ඇති පද්මාසනය මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම පද්මාසනය විය හැක.

ප්‍රධාන පිළිම ගෙය ඉදිරියේ දෙපස පරිවාර පිළිම ගෙවල් දෙකක සාධක දක්නට ලැබේ. එමෙන්ම ශෛලමය ළිඳක් ද දක්නට ඇත. මෙම ළිඳ සාදවා ඇත්තේ ප්‍රතිමා ගෘහයට අවශ්‍ය ජල සැපයුම් සඳහා ය.