Print this Article


බෝසත් දරුවන්ට : හය හතර ගැන දන්නවාද?

හය හතර ගැන දන්නවාද?

ආච්චි, සීයා එහෙමත් නැතිනම් කිරි අම්මා, කිරි අත්තා අපට ඉන්නා කල්‍යාණ මිත්‍රයන්. ආච්චිගෙන් ලස්සන බණ කතා අහන්න. සීයාගෙන් ලස්සන කවි කතා, පිරිත් අහගන්න. අප නො දන්නා බොහෝ දේ ඒ අය දන්නවා.

බාලයන් කියන්නේ කාට ද? ඒ අය ඇසුරු කළොත් අපට සිදුවන්නේ කුමක් ද? කියලා පසුගිය බුදුසරණ කලාපයෙන් අපි කතා කළා. පින්වත් දරුවනේ, අද අපි පණ්ඩිතයන් ගැන ඉගෙන ගනිමු. පණ්ඩිතයන් කියන්නේ කාටද?

‘සුචින්තී තිච චින්ති’

පණ්ඩිතයා හොඳ දේ ම හිතනවා. අද කාටද උදව් කරන්නේ? කාටද යහපතක් කරන්නේ. ආදි ලෙසින් හිතනවා. ඒ වගේම ‘සුභාෂිත භාෂි’

හැමෝගෙ ම හිත හදන, සතුටු හිතෙන, යහපත් වචන කියනවා.

‘සුක්කට කම්මකාරි’

පණ්ඩිතයා යමක් කළොත් ඒ තමන්ගේත්, අන් අයගේත් යහපත පිණිසම යි. සැනසීම පිණිසම යි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ.

‘භජෙත මිත්තෙ කල්‍යාණෙ’

‘කල්‍යාණ මිත්‍රයන්ම ඇසුරු කරන ලෙසටයි. අපිට මුණ ගැසෙන යහළුවන්, හිත මිතුරන් අතර කල්‍යාණ මිත්‍රයා හඳුනා ගන්නේ කෙසේද? කල්‍යාණ මිත්‍රයා කියන්නේ අපට යහපත නිවැරැදි මාර්ගය පෙන්වා දෙන කෙනා. පව් වැඩක්, නරක වැඩක් කරනවා නම්, ඒවායින් වළක්වන කෙනා. සත්පුරුෂයින් කියන්නේත් එවැනි අයටම යි. සත්පුරුෂයෙක් වෙන්නට නම් හොඳ දේ ම හිතන්නට ඕනෑ. හොඳ දේ ම කතා කරන්න ඕනෑ. හොඳ දේ ම කරන්න ඕනෑ. හොඳ වැඩ කියන්නේ පින් සිදුවන වැඩවලට යි. හොඳ වැඩ කළාම මේ ලෝකෙට විතරක් නොවේ. පරලොවටත් යහපතක් වෙනවා. නුවණ තිබෙන කෙනෙක් එක මොහොතක් පණ්ඩිතයෙක් ඇසුරු කළේ නම්, ඒ පුද්ගලයාට වහාම ධර්මය වැටහෙනවා.

මුහුත්තම්පි චෙ විඤ්ඤො

පණ්ඩිතං පයිරුපාසති

බිප්පං ධම්මං විජානාති

ජිව්හා සුපරසා යථා

මෝඩ පුද්ගලයෙක් මුළු ජීවිත කාලය පුරාම පණ්ඩිතයෙක් ඇසුරු කළත් ඔහුට ධර්මය නම් වැටහෙන්නේ නෑ. වෑංජනයක රස හැන්දට නො දැනෙනවා වගේ. ඒත් නුවණ තිබෙන කෙනෙක්. එක මොහොතක් ඇසුරු කළත් ධර්මය දැන ගන්න පුළුවන්. හරියට දිවට රස දැනෙනවා වගේ. සමහර අයට සමහර කෑම බීම මතක් වන විටත් කෙළ උණනවා. දිව කියන්නේ ඒ තරම් සංවේදී ශරීරාංගයක්. අන්න ඒ වගේ, නුවණ ඇති කෙනා ඉක්මනින් ම යහපත අවබෝධ කර ගන්නවා.

සමහර දරුවෝ ඉන්නවා, හරිම දඟයි. අම්මා, තාත්තා කියන දේ ගණනකටවත් ගන්නේ නෑ. ගුරුවරුන්ගෙන් මොන තරම් උපදෙස් ලැබුණත්, දහම් පාසල් ගියත්, සිල් සමාදන් වුණත් වැඩක් නෑ. එහෙම කියනකොට සමහර දරුවන්ට හිතෙයි මේ මම ගැන ද කියන්නේ කියලා. එහෙම නැතිනම් මගේ යාළුවා ගැනයි කියන්නේ කියලා. කවුරුවුණත් දරුවනේ ඒ විදිහට හැසිරෙන්නේ නුවණ නැති නිසයි.

සත් පුරුෂයෙක් වෙන්නට නම්, කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නට නම් ප්‍රඥාව ඇති කර ගන්නට ඕනෑ. දරුවනේ, නුවණ නැති කෙනාට මේ ධර්මයෙන් වැඩක් නෑ.

“පඤ්ඤා වන්තස්සායං ධම්මො

නායං ධම්මො දුප්පඤ්ඤස්ස”

ඒ කියන්නේ ධර්මය නුවණ තිබෙන අයට පමණයි. නුවණ නැති අයට ධර්මය අවබෝධ කළ නො හැකි යි.එහෙම නම් නුවණ ලබා ගන්නවා කියන්නේ කුමක් ද?

එක කරුණක් තමයි සිතා මතා වැඩ කරන්නට පුරුදු වීම. මේ ලෝකයේ පහළ ව සිටි ශ්‍රේෂ්ඨයින්, විද්‍යාඥයින්, දාර්ශනිකයින් මේ හැමෝම හිතලා වැඩ කළ අයයි. එනිසා දරුවනේ ඔබත්, කියලා දෙන දෙයට වඩා හිතලා යමක් කරන්න පුරුදු වෙන්න ඕනෑ.

මේ ලෝකය වෙනස් කරන්නේ ආශ්‍රය නිශ්‍රය මඟින්. හොඳ කෙනෙක් ඇසුරු කරනවිට හොඳ වෙනවා. නරක කෙනෙක් ඇසුරු කරනවිට නරක් වෙනවා. ගහකොළ වුණත් එහෙමයි. හොඳින් වැඩෙන ගසක් වටේට තිබෙන ගසුත් හොඳින් වැඩෙනවා. උස යන ගසක් වුණත් වටේ තිබෙන ගස් උස ගියේ නැතිනම් උස යන්නේ නෑ. බලන්න දරුවනේ, සොබා දහමේ අපූර්වත්වය. අපිට මොන තරම් පාඩම් කියා දෙනවාද? දැන උගත්, වටිනා පුද්ගලයන් කියලා දෙන දේ හොඳින් අහන්න ඕනෑ. ඒ අය කවුද? පළවෙනි දෙදෙනා අම්මයි, තාත්තයි, ඊළඟට අපේ ගුරුවරු. පැවිදි උතුමන්. පන්සලේ ලොකු හාමුදුරුවෝ දහම් පාසලේ ගුරුවරු, ඒ වගේ ම අපිට දවසකට කලින් හෝ ඉපදුණ වැඩිහිටියෝ. මේ හැමෝම පිදිය යුත්තන්. ඒත් හැමෝම කල්‍යාණ මිත්‍රයන් විය නොහැකි යි. ඒ අය තෝරා බේරා ගන්න අපට නුවණ තිබෙන්නට ඕනෑ.

අම්මා, තාත්තා අපට යමක් කියන්නේ අපට වඩා අත්දැකීම් තිබෙන නිසා. අපට නො පෙනෙන විශාල ප්‍රමාණයක් ඒ අයට පෙනෙනවා. ඒත් ඒ අයගේ වටිනාකම අපට වඩාත් දැනෙන්නේ අප ටිකෙන් ටික තේරෙන වයසට එනවිටයි. දරුවනේ, සමහර අයට අම්මා, තාත්තා ජීවතුන් අතර ඉන්න විට කිසිම අගයක් නෑ. ඒත් ඒ අය මිය ගිය විට, අප අතහැර යනවිට මෘත ශරීරය ගැන දුක්වෙනවා. ජීවත් වෙන අම්මට, තාත්තට වඩා නැතිවෙන අම්මට, තාත්තට වටිනාකම වැඩියි කියලයි. එතැනදී කියවෙන්නේ. දරුවනේ අම්මයි තාත්තයි තමයි මේ මිහිපිට ඉන්නා දෑස්වලට පෙනෙන දෙවිවරු. ඒ නිසා අම්මට තාත්තට හොඳින් සලකන්නට ඕනෑ. ඒ අයට කීකරු වෙන්නටත් ඕනෑ.

ගුරුවරුන්ට අපි කියන්නේ ගුරු දෙවිවරු කියලයි. තමන් අකුරු කරන ගුරුවරුන්ට විවිධ නම් පටබඳිනවා නම්, අපහාස වචන කියනවා නම්, එය මෙලොව වශයෙන්ම විපාක ලැබෙන මහා අකුසලයක්. ඉගෙනීමේ වටිනාකමත් මතක තියා ගන්නට ඕනෑ. ගුරුවරු හොඳට උගන්වන්නේ නෑ කියලා සමහර අය දොස් කියනවා. ඒත් බොහෝවිට ඇත්ත එය නොවෙයි. අප ඉගෙන ගන්නේ නැතිකමයි.

පන්සලට ගියත්, පන්සලේ හැම අංගයකින් ම අපට ඉගෙන ගන්න දෙයක් තිබෙනවා. පාවහන් ගලවා පන්සල් බිමට ඇතුල්වන තැන සිට ම අප ඉගෙන ගන්නේ පිරිසුදුකම. හරිම ලස්සනට ඇමැද තිබෙන මළුව දුටුවාම පාගන්නවත් හිතෙන්නේ නෑ. කලබල, චංචල අපේ සිත මළුව දුටුවාම සන්සුන් වෙනවා. පන්සල් මළුව පිළිවෙළට ඇමද තිබෙනවා වගේ අපේ සිතෙන් නරක සිතිවිලි අතුගා දමන්න ඕනෑ. ක්‍රෝධය, වෛරය, පළිගැනීම, ඊර්ෂ්‍යාව ඇතිවිට අපේ සිත හරිම අවලස්සන යි.

පන්සල් බිමේ තවත් ඉදිරියට යන විට අහස උසට පෙනෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ නිසොල්මන්ව වැඩ ඉන්නවා. බැහැරින් එන දුහුවිල්ලට, වැස්සට, පින්නට චෛත්‍යරාජයාණන් වහන්සේ කම්පා නොවී නිසොල්මනේ ඉන්නවා වගේ බාහිර සමාජයෙන් එන ගැරහිලි, නින්දා බොරු චෝදනා මේ සියල්ල ඉවසීමෙන් දරා ගන්න ඕනෑ.

තවත් ඉදිරියට යනවිට අපි දකිනවා. බෝ හාමුදුරුවෝ සිලි සිලි හඬ නගමින් බෝපත් සෙවණේ ඉන්නා විට දැනෙන සුවය මොනතරම් ද? දසබිම්බරක් මාර සෙනඟ වද දෙනවිට බුදුරජාණන් වහන්සේට පිහිටවුණේ බෝ හාමුදුරුවෝ. උන්වහන්සේ එදා දස බිම්බර මාර සෙනඟට මුහුණ දුන්නේ බෝ සෙවණේ සිට යි.

ඉන්පසුව නව අරහාදී බුදුගුණයෙන් සමන්නාගත බුද්ධ ප්‍රතිමා වහන්සේ දකිනවිට අපට ඇතිවන සැනසීම වෙන කිසිම තැනකදී ඇති වෙන්නේ නෑ නේද දරුවනේ. මේ සියලු පූජනීය ස්ථාන වැඳ පුදා ගෙන පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ හමුවන විට උන්වහන්සේගේ කාරුණික වදන් අසමින් පිරිත් නූලක් බැඳගෙන අවවාද අරගෙන ගෙදර යන විට අපට දැනෙන්නේ මොනතරම් සැනසීමක් ද?

මේ සියලු පූජනීය වස්තුන් අපට පාඩම් කියා දෙනවා. ඒ නිසා දරුවනේ මේවා දිවි හිමියෙන් ආරක්ෂා කරගන්නට ඕනෑ. හැකිනම් සතර පෝයටම පන්සල් යන්න. පන්සලේ පොඩි හාමුදුරුවන් සමඟ මිතුරු වෙන්න. බණ කතා අහගන්න. උන්වහන්සේ අපට සත්පුරුෂයන්, නැතිනම් කල්‍යාණ මිතුරන්.

ඒ වගේම දරුවනේ, ආච්චි, සීයා එහෙමත් නැතිනම් කිරි අම්මා, කිරි අත්තා අපට ඉන්නා කල්‍යාණ මිත්‍රයන්. ආච්චිගෙන් ලස්සන බණ කතා අහන්න. සීයාගෙන් ලස්සන කවි කතා පිරිත් අහගන්න. අප නො දන්නා බොහෝ දේ ඒ අය දන්නවා. සමහරවෙලාවට හය හතර හොඳින් ඉගෙන ගන්න කියලා ඒ අය පුංචි ඔබට කියා ඇති.

හය හතර කියන්නේ මොකක්ද?

හය කියන්නේ දිව්‍ය ලෝක හයට. හතර කියන්නේ සතර අපායට. ඒ කියන්නේ හොඳ දේ කළොත් අප දිව්‍ය ලෝකයටයි යන්නේ.පව් වැඩ කළොත් අපායේ යන්න වෙනවා. ඉතින් දරුවනේ මේ හොඳ මඟ, මේ නරක මඟ කියලා අපට කියා දෙන ඒ උතුම් පුද්ගලයන්. අප දිනපතා පිදිය යුතුයි.

පිදිය යුත්තන් පිදීමත්, නුවණ තියෙන අයගේ, සත්පුරුෂයන්ගේ ලක්ෂණයක්.