Print this Article


උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: අසිරිමත් වූ සම්මා සම්බුද්ධත්වය

අසිරිමත් වූ සම්මා සම්බුද්ධත්වය

මෙම ලිපියෙහි කොටසක් ජූනි 13 අමාවක පෝදා පත්‍රයේ පළවිය.

අමාවතුර කතුවරයා අලංකාර ලෙසත් පාඨක සිත් පැහැරගන්නා ලෙසත් කන්කළු ලෙසත් එම අවස්ථාව සඳහන් කර ඇත.

එකල්හි දෙව්දත්තෙරහු ඒ දැකැ සිතූහු, මහණ ගොයුම්හුගේ රූපයෙහි අත්පත් සිරිරු දැකැ කිසි මිනිසෙක් උපක්‍රම කරන්නට නොනිස්සැ. රජුගේ නලගිරි නම් ඇත් චණ්ඩ යැ පරුෂ යැ බුදුරුවන්හි ධම්රුවන්හි සඟරුවන්හි ගුණ නොදන්නී. ඔහු ලවා මරවම් ගොස් රජහට කී යැ. හෙට පෙරවරුවේ ඇත් හළට ගොස් දෙව්දත් තෙර අජාසත් මෙහෙයවා වීදියෙහි වඩින බුදුපියාණන් වහන්සේ රා මදින් මත්වූ චණ්ඩ පරුෂ නාලාගිරි නම් , ඇතා ලවා මරවන බව නගරවැසියෝ බුදුරජාණන් වනහන්සේට දැන්වූහ. එමපණක් නොව ඇතා ගමන් කරන මහ මගට නොවැඩ සංඝ රත්නය සමඟ ගමෙහිම වැඩසිටින ලෙසත් දානමාන ආදිය සපයන බවත්, වැඩිදුරටත් දැන්වූහ. එවිට බුදුරදුන් හෙට පෙරවරුවේ මහ සඟුන් සමඟ පිඬුසිඟා වැඩ නාලාගිරි ඇතා දමනය කොට වේළුවනාරාමයටම වඩින බව සිතූහ.

නුවර වැස්සෝ ද බුදුරජාණන් වහන්සේගේ අදහස දැනගෙන නගරයේ ස්වකීය ගෙවල්වලටම ගියහ. බුදුරජාණන් වහන්සේ් හෙට දින වේළුවනාරාමයේ සිට රජගහ නුවර මාර්ගයේ පිඬුසිඟා වැඩ නැවත සඟුන් සමඟ වේළුවනාරාමයටම වඩින බවත්, අතරමගදී හමුවන චණ්ඩ ඇතා දමනය කරන බවත් ආනන්ද හිමියන්ට දැන්වූ සේක. අනද හිමියෝ ද හෙට දින බුදුරදුන් සමඟ පිඬුසිඟා වැඩමවීමට සූදානම් වන ලෙස භික්ෂූන් වහන්සේලාට දැන්වූහ. භික්ෂුහු ද බුදුරදුන් සමඟ පිඬුසිඟා යාමට මගට පිළිපන්හ.

සැදැහැත්තෝ බුදුරදුන් නාලාගිරි ඇතා බුද්ධ ලීලාවෙන් දමනය කරන බැව් සිතූහ. සැදැහැ නැත්තෝ නාලාගිිරි විසින් රන්වන් බුදුබඳ විනාශ කරන බවට උදම් ඇණූූහ. අමාවතුර රචකයා කුමකින් කුමක් වේදෝ හෝයි යන එම උද්වේගකර අවස්ථාව පාඨකයා සහ අසන්නා බොදු බැතියෙන් ඇලලී යන ආකාරයෙන් දක්වා ඇත. එම උද්වේගකර අවස්ථාවේ පෘතග්ජන භික්ෂූන් වහන්සේ චණ්ඩ හස්ති රාජයා බුදුරදුන් ඉදිරියට ඇදෙන බවත්, එහි නොවඩින ලෙසත් දැන්වූහ. එවිට බුදුහු ඔවුනට බිය නොවන ලෙසත් , තමන් වහන්සේ ඇත් රජ දමනය කරන බවත්, දැන්වූ සේක. තවදුරටත් ඉදිරියට වඩින බුදුපෙරහරේ සැරියුත් මහතෙරුන් වහන්සේ මම ම නාලාගිරි දමනය කරමී ඉදිරිපත් වූහ. බුදුන් වහන්සේ එය ද වැළකූහ. අනතුරුව ආනන්ද තෙරුන් වහන්සේ බුදුරදුන් කෙරෙහි බලවත් සෙනෙහසින් ඇතුට බිලිවීමට තමන් වහන්සේ පෙරමුණ ගත්හ.

බුදුරදුන් එය ද වැළකූහ. මේ බිහිසුණු අවස්ථාවේ එක් ස්ත්‍රියක් දරුවෙකු උකුලේ තබාගෙන දීවීය. ඇතා ද ඒ පසුපස එලවීය. ඇයද ඇතාටත් බුදුරදුන්ටත් අතර දරුවා දමා තවදුරටත් දිවීමට පටන් ගත්තාය. නාලාගිරි ඇතා දරුවා දෙසට ඇදුනේය. එවිට කරුණා සීතල හදවතක් ඇති බුදුරජාණන් වහන්සේ ඇතුට තමන් වහන්සේ මැරීමට ආයේ නම්, තමා දෙසට එන ලෙසට ඇතුට සංඥා කළේය. ඇතා ද බුදුරදුන්ගේ රෑසිරු බලමින් පිරීගිය සුරාමද ඇත්තේ බුදුරදුන් දෙසට ආයේය.

ගුරුළුගෝමී පඬිවරයා අසන්නාගේ හා පාඨකයාගේ සිත්සතන් උත්ප්‍රාස කරවන ආකාරයෙන් සිත් වශී කරවන ආකාරයට ගෙනහැර දක්වා ඇත.

නාලාගිරියා ඉතා යටහත් පහත් ලෙස බුදුන් සමීපයට පැමිණි අවස්ථාවේදී තමා බුදුරජාණන් වහන්සේ නමක් බවත්,ඔබ තිරිසන් කෙනෙකෙª බවත්, සඳහන් කොට තථාගතයන් වහන්සේ ඇතාගේ හිස පිරිමැද මෙත් සිත් පතුරුවා ඇතු පන්සිල්හි පිහිටවූහ.

මෙතැන් පටන් චණ්ඩ නොවී මිනීමරු නොවී හොඳින් සිටින ලෙසට ධර්මානුශාසනා කළ සේක. ඇතාගේ සියලු සිරුර ප්‍රීතියෙන් පිනා ගියේය. එදා ඔහු තිරිසනකු නොවු යේ නම් සෝවාන්විමට අවකාශ තිබුණි. බුදුරදුන්ගෙන් මෙල්ල වූණ කෘරතර හස්තිරාජයා දණගසා බුදුන් වැඳ සන්සුන් ලීලාවෙන් ඇත්හලටම ඇතුළු විය.මේ දර්ශනය දුටු ජනතාව ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා ගොස් සතුටු ඝෝෂා ඇති කළහ. ගුරුළුගෝමී අසන්නාට ප්‍රීතිය සැපය ඇතිවන පරිද්දෙන් දක්වා ඇත.

අමාවතුර කතුවරයා නාලාගිරි දමනයේදී බුදුරජාණන් වහන්සේ ගේ ශාන්ත ස්වරූපයව දක්වා ඇති ආකාරය අතිශයින්ම පාඨක විචාරක ඇගයීමට බඳුන් වේ. අලංකාරාත්මක සාහිත්‍යමය ස්වරූපයට අදාළ වචන යොදා ඇති ආකාරය ප්‍රශංසනීයයි. ඇතාගේ ස්වරූපයත් ශාන්තවූ බුදුරජාණන් වහන්සේගේ ආකාරයත්, දක්වා ඇත්තේ ඊටම සරිලන භාෂා විලාසයකිනි. මේ අවස්ථාවේ පැවිදි පාර්ශ්වයේ හා මහජනයාගේ හැසිරීම් විලාසය දක්වන්නේද තැනට උච්ත මනරම් භාෂා ප්‍රයෝග යොදාගෙන ය.