Print this Article


සුගති ගමන -22: බෝසත්වරු සම්බුදු පදවියට පාරමිතා පිරූ පිළිවෙත

සුගති ගමන -22:

බෝසත්වරු සම්බුදු පදවියට පාරමිතා පිරූ පිළිවෙත

අප සරණ යන ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥා අධික බුදුකෙනෙක් ලෙස ලොව පහළ වුණා. ඒ නිසා උන්වහන්සේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් දස පාරමී සම්පූර්ණ කළා.

ඊළඟට සද්ධා අධික බුදුවරු අට අසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් එනම් අසංඛ්‍යෙය අටකුත් කල්ප ලක්ෂයක් දස පාරමී සම්පූර්ණ කරගෙන සම්බුද්ධත්වයට පත්වුණා. ඊළඟට වීර්යය අධික බුදුවරු සොළොසා අසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. උන්වහන්සේ බොහෝ කාලයක් දස පාරමී සම්පූර්ණ කරගෙන ලොවුතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා.

අටුවාවලට එද්දී, ඉතිහාස පොත් පත්වල සඳහන් වන්නේ, මේ මහා භද්‍ර කල්පය ආරම්භ වන විට මෙලෙස පාරමී පුරාගෙන පැමිණි බෝසතාණන් වහන්සේ පස්නමක් පිළිවෙළින් සම්බුද්ධත්වයට පත්වන්න නියමිතව තිබුණ බවයි. මේ මහා භද්‍ර කල්පයේ මුලින් ම සම්බුද්ධත්වයට පත්වන්න පාරමී පුරාගෙන සිටියේ කකුසඳ බෝසතාණන් වහන්සේ යි. දෙවනියට කෝණාගමන බෝසතාණන් වහන්සේ යි. තුන්වනුව කාශ්‍යප බෝසතාණන් වහන්සේ යි. සතරවෙනියට මෛත්‍රී බෝසතාණන් වහන්සේ යි. පස්වෙනියට අපේ ගෞතම බෝසතාණන් වහන්සේට පාරමී පුරාගෙන, මේ මහා භද්‍ර කල්පය ආරම්භ වෙද්දීම, මේ පිළිවෙළ නියමවෙලා තිබුණේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න යි.

මේ අතර කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුදුරජාණන් වහන්සේලා තුන්නම පහළව සම්බුද්ධත්වයට පත්වුණා. එවිට මේ මහා භද්‍ර කල්පයේ ඊළඟට බුදුවෙන්න තිබුණේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට සහ අපේ ගෞතම බෝසතාණන් වහන්සේට යි. මේ බෝසතාණන් වහන්සේ දෙනම බුද්ධත්වයට පෙර වැඩ සිටියේ තුසිත දෙව් ලොව යි. උන්වහන්සේ දෙව්ලොවෙන් චුතවෙලා මනුලොව උපත ලැබූ එක ආත්මයක් ගැන මෙසේ සඳහන් වෙනවා.

මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බෝසතාණන් වහන්සේගේ ගුරුවරයා වී සිටියා. අපේ බෝසතාණන් වහන්සේ ගෝලයා වෙලා, හිමාල මහා වනාන්තරයේ තවුස් ගුණ ධර්ම රැකගෙන උන්වහන්සේ අෂ්ට සමාපත්ති, පංච අභිඤ්ඤා උපදවාගෙන මහා හිමාල වනාන්තරයේ කල් ගත කළා. මෙලෙස බොහෝ කාලයක් භාවනා කරගෙන සිටියදී දවසක් මහා වනාන්තරය මැදින් තවත් ඈත තිබෙන තාපසාරාමයකට පිවිසෙන්න පිටත් වුණා. මෙහෙම කැළය මැදින් යනවිට එක තැනක දී කුසගින්නේ කෙඳිරිගාන සතෙකුගේ විලාප හඬක් ඇසුණා. ඒ වෙලාවේ අවධානය යොමුකොට බලන විට, ගල්තලාවක කුහරයක් වැනි තැනක කොටි දෙනක් පැටවු ටිකත් සමඟ ඇදගෙන වැටිලා. මේ කොටි දෙනට දින ගණනාවකින් ආහාරයක් නැහැ. කුසගින්න නිසාම, මේ කොටිදෙන කුසගිනි වේදනාව දරාගන්න බැරිව කෙඳිරි ගානවා. විලාප නඟනවා. පැටව් ළඟට ගිහින් කුසගින්න නිසාම මුව විවර කරනවා. හැබැයි, දරු සෙනෙහස නිසා පැටවු කන්නේ නැතිව නැවත පසුපසට පැමිණ බිම පෙරළෙනවා. මේ දෙස බලා සිටි මෛත්‍රී බෝසතාණන් වහන්සේත්, ගෞතම බෝසතාණන් වහන්සේත් තේරුම් ගත්තා, කොටිදෙනගේ කුසගින්න දරුණු බව. බැරිවෙලාවත් කොටිදෙන උඩට ගන්න සූදානම් වුණොත්, බෝසතාණන් වහන්සේලාට අනතුරක් වෙන්න පුළුවන්. ඊටපෙර කොටිදෙනගේ කුසගින්න නිවා උඩට ගත්තොත් සුදුසු බව කල්පනා වුණා. ඒ නිසා මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බෝසතාණන් වහන්සේට මෙලෙස පැවසුවා. ‘මා කැළයට ගිහින් කොටිදෙනගේ කුසගින්න නිවෙන්න කුමක් හෝ ආහාරයක් සොයා එන්නම්, ඔබ මොහොතක් පැටවුන්ට, කොටි දෙනගෙන් අනතුරක් නොවෙන්න රැක බලා ගන්න යනුවෙන් පැවසුවා.

එහි මුරට හිටියේ අපේ බෝසතාණන් වහන්සේ යි. කැළයට ගිය මෛත්‍රී බෝසතාණන් වහන්සේ එන්න ප්‍රමාද වුණා. පැය ගණනාවක් ගෙවී ගියා. කොටි දෙනගේ කුසගින්න එන්න එන්නම දරුණු වුණා. කොටි දෙන බැරිම තැන පැටවුන් කන්න සූදානම් වුණා. ඒ වෙලාවේ අපේ ගෞතම බෝසතාණන් වහන්සේ ඈතින් වත් තම ගුරුවරයා එනවා දැ’යි බැලුවා. පෙනෙන තෙක් මානයක නැහැ. අවසානයේ උන්වහන්සේ කල්පනා කළා. සසරේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන බොහෝ කාලයක් දාන පාරමිතාව, උප පාරමිතාව, පරමත්ථ පාරමිතාව ලෙසින් ජීවිතය පවා පරිත්‍යාග කරමින් පැමිණ තිබෙනවා. මේ වෙලාවේ ගෞතම බෝසතාණන් වහන්සේ කල්පනා කළා, කොටි දෙන පැටව් කන්න සූදානම් වන්නේ කුසගින්න නිස යි. දරු සෙනෙහසක් නැති නිසා නොවෙ යි. ඒ නිසා මේ මොහොතේ අධිෂ්ඨානයක් ඇති කරගෙන ‘මේ කොටි දෙනගේ කුසගින්න නිවේවා! පැටවුන්ගේ ජීවිත ආරක්ෂා වේවා! මගේ ජීවිතය පූජා වේවා! මේ පිනෙන් මට ඉක්මනින් ම ලොවුතුරා බුද්ධත්වය ලැබේවා!’ යනුවෙන් හෙළෙන් පහළට පැන ගෞතම බෝසතාණන් වහන්සේගේ ජීවිතය පරිත්‍යාග කළා.

එයින්, මොහොතකට පමණ පසුව පැමිණි මෛත්‍රී බෝසතාණන් වහන්සේ, වනාන්තරයෙන් ඇවිත් බලන විට ගෝලයා නැහැ. හෙලෙන් පහළ ලේ තැවරී තිබෙන දසුන දුටුවා. ඇඳ සිටි තවුස් පිරිකරවල කොටස් දුටුවා. කාරණය තේරුම් ගත්තා. හැබැයි, විමසලා අධිෂ්ඨාන කර බැලුවා ලෙස්සලා වැටුණා ද? නැත්නම් ජීවිතය පරිත්‍යාග කළා ද ? යනුවෙන්. ඒ මොහොතේ ගෞතම බෝසතාණන් වහන්සේගේ අධිෂ්ඨානය මෛත්‍රී බෝසතාණන් වහන්සේ දකිනවා. එනම් ගෞතම බෝසතාණෝ තම ජීවිතය පරිත්‍යාග කර, අධිෂ්ඨාන කළේ ඉක්මනින් ම බුද්ධත්වය ලැබේවා ‘යි පැතුම යි. මේ ප්‍රාර්ථනාව මත මේ මහා භද්‍ර කල්පයේ සතරවැනියට බුද්ධත්වය ලබන්න පාරමී සම්පූර්ණ කරගත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතැනදී ප්‍රාර්ථනාවක් කළා. ‘ඉක්මන් බුදුන් බුදු වුණාවේ, මා ඊළඟට බුදු වෙනවා යනුවෙන්. අපේ බෝසතාණන් වහන්සේට කලින් බුදුවෙන්න අවස්ථාව සලසා දී ,මෛත්‍රී බෝසතාණන් වහන්සේ පියවරක් ආපස්සට ඇවිත් පරිත්‍යාගයක් කළා. ඒ නිසා තමයි, මේ මහා භද්‍ර කල්පයේ සතරවන බුදුරජාණන් වහන්සේ හැටියට අපේ ගෞතම බෝසතාණන් වහන්සේට බුද්ධත්වයට පත්වන්න අවස්ථාව ලැබුණේ.

මේ අනුව අපට පෙනෙනවා, බෝසතාණන් වහන්සේලා සසරේ බොහෝ කැප කිරීම් කරන පිරිසක් බව. මේ නිසා තමයි සතරවැනියට සම්බුද්ධත්වයට පත්වන්න පාරමී සම්පූර්ණ කරගෙන සිටි වීර්යය අධික බෝසතාණන් වහන්සේ නමක් වන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ වීර්යය නිසාම කැප කිරීමක් කර, ගෞතම බෝසතාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට තමන්ට කලින් අවස්ථාව සලසා දුන්නා. ඒ වීර්යයෙන් ම උන් වහන්සේ අධිෂ්ඨාන කරගත්තා, මේ මහා භද්‍ර කල්පයේ මා ඊළඟ අන්තඞකල්පයේ බුද්ධත්වයට පත්වෙනවා. ඒ නිසා, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ ඊළඟට ‘මෛත්‍රී’ නමින් පස්වන බුදුරජාණන් වහන්සේ ලෙස සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න නියම වී තිබෙනවා.