Print this Article


සම්බුදු ගුණමහිම:  නව මහා විදර්ශනා ඥාන

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 32

නව මහා විදර්ශනා ඥාන

දවසක් ස්වාමින් වහන්සේ නමක් තමන් වහන්සේ රහත් කියලා හිතාගෙන හිටියා .දිනක් ධම්මදින්න මහා රහතන් වහන්සේ වැඩියා. ‘කොච්චර කල්වෙනවාද දැන් රහත්වෙලා’ උන් වහන්සේගෙන් විමසුවා. අවුරුදු 60 ක් වෙනවා රහත් වෙලා’ ඊට පස්සේ ‘දැන් ස්වාමීනි ඔබට අභිඥා බල තියෙනවද? ‘එහෙනම් ලස්සන පොකුණක් මවන්නකො’ ‘ලස්සන පොකුණට ලස්සන නෙළුම් මල් මවන්නකො’ මැව්වා. එහෙනම් ඔය නෙළුම් මල්වල ලස්සන ලස්සන දිව්‍යාංගනාවෝ මවන්න කිව්වා. මැව්වා. මවනවිටම අර ස්වාමින් වහන්සේ තුළ සැඟවී තිබුණූ රාග සිතිවිලි පහළ වෙන්න පටන් ගත්තා. අන්න එදා තේරුම් ගත්තා රහත් නෑ කියලා. ධම්මදින්න මහා රහතන් වහන්සේ උදව් කළා. රහත් වුණා.

ඒ වාගේ පින්වතුනි. අද කාලෙත් බොහෝ දෙනා, භාවනාව වරද්දගන්නවා. ප්‍රසිද්ධියේ සමහරක් අය මම සෝවාන්, මම සකෘදාගාමී, මම අනාගාමී අරහත් එහෙමත් කියන අය ඉන්නවනේ. නමුත් ඒ සමහරක් විට භාවනාවේ අතුරු ඵල වැරැදි වු තැන්. තමන් හිතනවා හරි කියලා.එතකොට ඔය විදියට යනකොට මොකද වෙන්නේ. “උදයබ්බ ඥානය” පහළ වෙනවා. උදයබ්බ ඥානයට උපක්ලේෂයන් අහුවෙන්න නැතුව හොඳට වඩාගෙන වඩාගෙන යනකොට මේ යෝගාවචරයාට පේනවා භංගය විතරක්. භංගය කියල කියන්නේ, නාම රූපයන්ගේ බිදීම විතරක් පේන්න ගන්නවා. මේ බිඳීම විතරක් පේන්න ගන්න කොට අන්න “භංග ඥානය” පහළ වෙනවා.ඊට පස්සේ මොකද වෙන්නේ. මේ බිඳීමත් එක්කම සසර භයක් ඇතිවෙනවා. පුදුමාකාර භයක්. ඒ භය ඇතිවෙනවාට අපි කියනවා භය ඥානය පහළ වුණා කියලා. “ඒක නුවණින් ඇතිවන භයක්” ඊට පස්සේ භය ඇතිවෙනවත් එක්කම සසරේ ආදීනව, පංචස්කන්ධයේ ආදීනව තේරෙන්න ගන්නවා. අන්න “ආදීනව ඥානය” පහළ වෙනවා.

ඊට පස්සෙ මොකද වෙන්නේ? ඉන් අත මිදෙන්ට ඕනේ.අනේ මේවායින් නිදහස් වෙන්න ඕන කියන හිත පහළ වෙනකොටම “මුඤ්චිතුකම්්‍යතා ඥානය” පහළ වෙනවා. නැවත මේ සංස්කාරයන්ගේ ස්වභාවය මෙහෙම තමයි කියලා මධ්‍යස්ථ වෙනවා. පටිසංඛාණුපෙක්ඛා, ඊට පස්සේ සංස්ඛාරයන්ගේ ස්ථාවර මධ්‍යස්ථ ස්වභාවයක් ඇති වෙනවා. සංඛාර “උපේක්ෂා ඥානය” පින්වතුනි නිවන් දකින්ට මේ ජීවිතයේ නිවන් දකින්ට නම් සංඛාර උපේක්ඛා ඥානයෙන් එහා පැත්තට පනින්න ඕනේ. අද බොහෝ අය ප්‍රාර්ථනා පිහිටුවාගෙන ඉන්න අය භාවනාවේ සංඛාර උපේක්ඛා ඥානය දක්වා ගිහිල්ලා නතර වෙනවා. එතනින් එහාට යන්න බෑ ප්‍රාර්ථනා බලවත්, සමහරු බුදු බව පතාගෙන යනවා. පසේ බුදු බව , මෛත්‍රි ශාසනයේ නිවන් දකින්න. එක එක ශ්‍රාවක බෝධී ප්‍රාර්ථනා කරන ඇත්තො ඉන්නවානේ. එතකොට ඒ ඇත්තන්ට සංඛාර උපේක්ඛා ඥානයෙන් එහා පැත්තට යන්න බෑ.

එහෙම ප්‍රාර්ථනාවක් නැත්නම් ප්‍රාර්ථනාව කඩා ගත්තා නම් සංඛාර උපේක්ඛා ඥානයට එහා පැත්තේ අනුලෝම ඥානයට පත් වෙනවා. අනුලෝම ඥානය තමයි ගෝත්‍රභූ ඥානයට පස්සේ සෝවාන් මාර්ගඵල පහළ වෙන්නෙ. එහෙනම් ඔය කියන්නෙ විදර්ශනා ඥාන ගැන.

නව මහා විදර්ශනා ඥාන තිබෙනවා

සම්මසන ඥාන, උදයව්‍යය ඥාන, භංග ඥාන, භය ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන,මුඤ්චිතා කම්ම්‍යතා ඥාන , පටිසංඛානුපේක්ඛණා ඥාන හා සංඛාරුපේක්ඛා ඥාන යනුවෙන්.

උපක්ලේෂ තිබෙන්නෙ උදයබ්බය ඥානයේදී අතර මගදී ම රහත් කියා රැවටෙන්නෙ මේ නිසයි. ඒ උපක්ලේෂ නිසයි. ඉන් අතමිදී පිළිවෙලින් සියලු ඥාන පහළ කරගෙන ඉන්පසු ගෝත්‍රභු ඥානයට පැමිණෙයි. එතකොට ගෝත්‍රභු ඥානය කියලා කියන්නේ මේ පෘථග්ජන ගෝත්‍රය කඩලා උතුම් ආර්ය ගෝත්‍රයට යනවා කියන එකයි. ඉතිං අනිවාර්යයෙන්ම අනුලෝම ඥානය පහළ වුණා නම් ගෝත්‍රභු ඥානය පහළ වෙනවා නම් සෝවාන් මාර්ගය , ඥානය පහළ වෙනවා. මාර්ගක් ඥානය පහළ වුනොත් ඒකාන්තයෙන් ම සෝවාන් ඵල ඥානය පහළ වෙනවා. මාර්ගයට අනතුරු ඵලය ඒකාන්තයෙන්ම ඒ මොහොතෙම ලැබෙනවා. නැත්නම් අද කාලේ නම් කියනවා සෝවාන් මාර්ගය ලබල දැන් මාසයක් වෙනවා. ඵලය ලබන්න තමයි මට දැන් මහන්සිවෙන්න තියෙන්නෙ. එහෙම කියන ඇත්තෝ ඉන්නවානේ. ඒ වාගේ සෝවාන් මාර්ගඵලය ලැබිලා ටික දවසකින් ඵලය ලැබෙන අයත් ඉන්නවා. දවස් 10 යේ භාවනා පංතියෙන් සෝවාන් කියලා සහතිකයකුත් දෙන ඇත්තො ඉන්නවා. හරියට ඉතින් අර විභාගයක් ලියලා ගන්නවා වාගේ දෙයක්. නමුත් පැහැදිලි සෝවාන් මාර්ගය ලබලා ඊළඟ චිත්තක්ෂණය පහළ වෙනවා. මේ අතර හිඩසක් නෑ. මේ ලැබෙන සමාධියට කියන්නෙ ආනන්තරික සමාධිය කියලා.කිසිම සමාධියකට සම කරන්න බැරි සමාධියක් ආනන්තරික සමාධිය.

ඊළඟට “මනෝමයඍද්ධි ඥාණය” මනෝමය ඍද්ධි කියන්න් මොකක් ද? මනෝමය ඍද්ධි කියලා කියන්නේ තමාගේ ශරීරය සේ ශරීර රාශියක් මවාගෙන එක එක කාර්යයන්වල යොදවන ශක්තිය.

සිත හොඳට සමාධිගත වුණාට පස්සේ, සිත හොඳට ශක්තිමත් වුණාට පස්සේ කර්මණ්‍ය වුණාට පස්සේ තමයි ඔය මනෝමය ඍධි ඥානයට හිත යොමු කරන්නේ. අපේ ශාසනයේ හිටියා මහාපන්ථක හා චුල්ලපන්ථක නමින් මහරහතන් වහන්සේ දෙනමක්. මනෝමය ඍධි ඥානයෙන් සමන්වාගත උතුමන්ගෙන් අගතැන්පත් වුණේ කවුද? චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මහණ වුණේ අයියා ළඟ. සතරපද ගාථාවක්. මාස 04 ක් යනකම් කටපාඩම් කරන්න බැරි වුණා. ඒ සසර විපාකය මොකක් ද? පෙර ජීවිතයක ඉගෙන ගන්න ස්වාමින් වහන්සේලාට ඉගෙන ගැනීම වළක්වා ඒ කරගත්තු විපාක වශයෙන් තමයි අර සතර පද ගාථාව මතක තියාගන්න බැරි වුණේ . ඒක නිසා තමයි පින්වතුනි අද කාලෙත් කෙනෙක් ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න කට්ටිය වළක්වන විට, ඒ වට උඟුල් අටවන කොට, ඒ ඇත්තන්ට මේ ජීවිතේ ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. සංසාරෙදිත් ලැබෙන්නේ නෑ. ඉතින් ඒ නිසා ඒ විපාක වාරේ. ඉතින් චුල්ලපන්ථක ස්වාමින් වහන්සේටත් එහෙමයි. ඉතින් චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේටත් සතර පද ගාථාවක් කටපාඩම් කරගන්න බැරිව වුණා, පස්සේ දැන් ඔන්න ගෙදර යන්න කියලා අයියා කියනවා. ඉතිං යන්න කැමති නැහැ. මහණකමට ආදරෙයි. මොකද පින් තියනවා. පෙර අකුසල් කර්ම මතුවෙලා තිබුණාට පින් තියෙනවා. ඒ වුණාට දැන් යන්න හදනවා. ජේතවනාරාමය පැත්තෙන් යනකොට බුදුරජාණන් වහන්සේ මූණට මුණ ගැසුණා. බුදුරජාණන් වහන්සේ ඇහුවා. කොහේද යන්නෙ?”

‘මට ගෙදර යන්න කිව්වානේ

‘කවුද?’

’මහාපන්ථක ස්වාමීන් වහන්සේ’

‘මේ ශාසනය මහාපන්ථකගේ නෙමෙයි

ඔය ඇත්තා ඔහොම ඉන්න.

කියලා බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙනවා. උන්වහන්සේගේ සසර පුරුද්ද මතු කරන්න. මොකක්ද සසර පුරුදු කරල තියෙන්නේ, අසුභ භාවනාවයි. පෙර ජීවිතයක රජෙක්ව ඉන්න කාලේ, මේ රජතුමා නිතර නිතර ගම් දනව්වල ඇවිදිනකොට දාඩිය වැටෙනවානේ. ලේන්සුවකින් නිතරම දාඩිය පිසදලා තියෙනවා. හැමදාම ලැබෙන අලුත්ම ලේන්සුව හැමදාම කිළිටි වෙනවා. ඉතිං ඒක දැකල දැකලා පුරුද්දක් තිබුණා. මේ ශරීරයේ පිළිකුල් ස්වභාවය ගැන වැටහීමක් තිබුණා. ඉතිං බුදුරජාණන් වහන්සේ කොසොල් මහා රජ්ජුරුවන්ගේ මාළිගාවේ දානේට වඩින්නත් තියෙන දවසක. එදා පන්සීයක් භික්ෂූන්ට ආරාධනා කළා.නමුත් 499 යි වැඩියේ. ඇයි දැන් චුල්ලපන්ථක හැරයි.චුල්ලපන්ථක දැන් ඉන්නවා විහාරේ බුදුරජාණන් වහන්සේ අතට ලේන්සුවක් දීලා දැන් වඩිනවා.

‘රජෝ හරණං’ ‘රජෝ හරණං’ කියලා කර්මස්ථානය දෙනවා. අනෙක් අතින් පිරිමදින්න කිව්වා මේ ‘රජෝ හරණං රජෝ හරණං’ කියලා. ටික වේලාවක් යනකොට අතේ තිබුණ දූවිලි කුණු නිසා අර පිරිසුදු වස්ත්‍රය කිළිටි වුනා. එවිට වැටහුණා මේ ශරීරයේ ස්වභාවය, බුදරජාණන් වහන්සේ වැඩියත් දැන් අවධානයෙන් ඉන්නෙ. අවධානයෙන් ඉඳගෙන බුදුරජාණන් වහන්සේ හොඳට බලමින් බුදුරැස් දහරාවක් සමඟම ධර්ම දේශනාවක් කළා දෙසුම් කෙළවර චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ මනෝමය ඍද්ධි ඥානයෙන් අගතැන්පත්ව රහත්භාවය සාක්ෂාත් කරගත්තා. සිව්පිළිසිඹියා ඥාන ලාභීව රහත් වුණේ .ඊට පස්සේ උන්වහන්සේ මොකද කරන්නේ දැන් එක එක ස්වාමින් වහන්සේලා එක එක විදිය වෙස් මවාගෙන තව පිරිසක් අමදිනවා. පැන් ගේනවා. මල් අස් කරනවා. එක එක වැඩ. එතකොට දැන් දානෙට වැඩිය 499 ක් බුදුරජාණන් වහන්සේ දානෙ බෙදන්න යනකොට අත වහනවා. ඊට පස්සේ කියනවා තව එක ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නවා විහාරේ. වඩමවගෙන එන්න කියනවා. ඒ වෙලාවේ දි මහා පන්ථක හිතනවා. චුල්ලපන්ථක ගෙදර යැව්වනේ. කවුරුත් නම් නෑ. එතකොට සේවකයෙක් ඇවිල්ලා බලනකොට එක ස්වාමින් වහන්සේ නමක් නෙමෙයි දහසකින් පිරිලා. කවුද කවුද කියලා හිතාගන්න බෑ. බුදුරජාණන් වහන්සේට ගිහින් මතක් කළාම කියනවා. මුලින්ම අල්ලගත්ත ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ වඩින්න ආරාධනා කළා කියලා කියන්න කිව්වා. එවිට චුල්ලපන්ථක ස්වාමින් වහන්සේ ඍද්ධියෙන්ම වැඩම කළා.