Print this Article


උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: දැවෙන සිත නිවා සැනසූ තථාගතයන් වහන්සේ

දැවෙන සිත නිවා සැනසූ තථාගතයන් වහන්සේ

බුදුසසුන නිසා සිංහල ගද්‍ය සාහිත්‍ය බැබළුණි. පෝෂණය විණි. රසෝද්දීපනය විණි. බුද්ධ චරිතයෙහි සඳහන් විවිධ අවස්ථා විවිධ බුදුගුණ නිසා නිරන්තරයෙන් පාඨක සිත්සතන් යොමු විය. පාඨක රසය ජනනය කරන්නට සමත් විය. බුදුරදුන්ගේ පුරිෂදම්ම සාරථී ගුණය එදා අසන්නාගේ සිත ප්‍රීනණය කළේ ය. සිත පුදුමයට පත් කළේ ය.

වශීකෘතභාවයට පත් කළේ ය. අද්‍යතනයේ වුව ද, ශ්‍රද්ධාපුරස්ථරව බුදුගුණ ශ්‍රවණය කිරීමෙන්, බුදුගුණ මෙනෙහි කිරීමෙන්, බුදුගුණ අනුගමනය කිරීමෙන් පුද්ගලයාගේ සිත මෙල්ල කරගත හැකිවිය. පාලනය කර ගත හැකි විය. දමනය ද කරගත හැකි විය. එදා කරුණා මෛත්‍රී නැමැති සීතල ජලය කරණ කොට ගිනිගෙන දැවෙන නොයෙක් ආකාරයේ පුද්ගලයන්ගේ හදවත් අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිසිල් කළ සේක. සැනසූ සේක. භවතරණයට ද අවස්ථාව සැලසූ සේක. පුරුෂදම්ම සාරථී බුදුගුණය නිසා යක්ෂයෝත්, නොදැමුණු මනුෂ්‍යයෝත්,දෙවියෝත්, බුදුබලය ඉදිරියේ ශාන්ත සත්පුරුෂයෝ වූහ. පොළොන්නරු රාජේ‍යීදයේ මහා පැරකුම්බා රාජ සමයෙහි සිටි ගුරුළුගෝමී පඬිවරයා අමාවතුර නමැති ග්‍රන්ථයේ බුදුදහමෙන් පෝෂණය වූ සිංහල ගද්‍ය සාහිත්‍ය වෙනුවෙන් රචනා කළ පුරුෂදම්ම සාරථී බුද්ධ ගුණය යටතේ නාලාගිරිදමන කතාවෙන් ද පාඨක ජනයාගේ සිත් ගැනීමට සමත් වූ ආකාරය පැහැදිලි වේ. නාග යනු ඇතාට නමකි. නාලාගිරි යනු සුවිසල් ඇත් රජෙකුට ව්‍යවහාර කරන නමකි. නාලාගිරි නාමය බුද්ධකාලයේ මෙන්ම පොළොන්නරු යුගයේ ද, අද්‍යතන යුගයේ වුව ද, අසන්නා චිත්ත වික්ෂේපයට හා ඇසීමෙන් පියදනවන කාරණාවකි. දිනක් බුදුරජාණන් වහන්සේ භාරතයේ ගිජ්ජකූට පර්වතයේ හෙවත් ගිජුකුළු පව්වෙහි වැඩ වාසය කළ සේක. දෙව්දත් හිමි නොයෙක් අවස්ථාවල දී අජාසත් රජවැනි පුද්ගලයන් තමන් දෙසට හරවාගෙන බුදුරදුන් වැනි පරම ශ්‍රේෂ්ඨ උතුමන්ට ද්වේෂ කළේය. හතුරුකම් කළේ ය. එවැනි උතුමන් විනාශ කිරීමට උපක්‍රම යෙදී ය. ගිජුකුළු පව්වේ වැඩ සිටින බුදුපියාණන් වහන්සේ අන්‍යයන්ට මෛත්‍රී ජලය ඉස ඔවුන් යහපත් මගට යොමුකරන ආකාරය දැනගත් දෙව්දත් භාග්‍යවතුන් වහන්සේ ඝාතනය කරවීම සඳහා දුනුඊතල වෘත්තීය කරගෙන වාසය කළ පුද්ගලයෙක් මිත්‍ර කරගෙන විෂ පෙවූ දුනු ඊතල එවී ය. දුනුවායා බුදුරදුන් වෙත අවුත් උන්වහන්සේගේ කරුණා මෛත්‍රියෙන් සිසිල්වී නිවී භාග්‍යවතුනට අතිශයින් ්පැහැදි යළි දෙව්දත් වෙතම ගියේය. මහණ ගොයුම්හු මරණයට පත්කළ නොහැකි බවත්, තේජාන්විත බවත්, බුද්ධානුභාවයෙන් මහත් බවත්. පැවසී ය. අනතුරුව දෙව්දත් තෙර බුදුන් කෙරෙහි වඩාත් උරණ විය. පළිගැනීමේ චේතනාව බලවත් විය. තමන් විසින්ම බුදුන් මරමි'යි තීව්‍රර ලෙස සිතීය. භයානක ක්‍රෝධය මධ්‍යයේ ආවේගශීලිව ගිජුකුළු පව්වට නැංගේය. යක්ෂාවේෂය වර්ධනය විය. තරහෙන් පිපිරී පිපිරී පර්වත මුදුණෙන් එහා මෙහා ගමන් කළේය. ගිරිමුදුනේ ඇති ගලක් පෙරළා බුදුරදුන් ඝාතනය කරමි"යි බලවත් ලෙස සිතී ය. බිහිසුණු ගල් කුළක් පෙරළීය. බුදුරදුන්ගේ පුණ්‍ය තේජස බහුල විය. ඒ වේලෙහි තවත් ගල්කුළක් මතු වී මුදුනින් පෙරළි ආ ගල්කුළ එහි මැඩපැවැත්වී ය. ඒ ගල ගැටීමෙන් විසි වූ කුඩා ප්‍රමාණයේ ගල් පතුරක් බුදුරදුන්ගේ ශ්‍රී පා වැද ලේ සෙල්වීය. එකල ජීවක නමින් ප්‍රසිද්ධව සිටි වෙදදුරු බුදුසිරිපා ක්ෂණිකවම සුවපත් කළේය. අනතුරුව දෙව්දත් තෙර මෙවන් උපක්‍රම තුළින් බුදුරදුන් මැරවීම නො කළ හැකි බව ඒත්තු ගත්තේ ය. මෙම සිද්ධියෙන් පසු තවත් කූඨ උපක්‍රමයක් පිළිබඳව සිතී ය. තමනට හිතවත් වූ අජාසත් රජුගේ ඇත්ගාලේ සිටි රළු පරළු නාලාගිරි නම්, ඇත්රජා පිළිබඳ සිහිපත් කළේ ය. දෙව්දත් තෙර රජු හමුවී චණ්ඩ වූ නාලාගිරි ඇතා මෙහෙයවා හෙට දින මහමග වඩින බුදුන් ඝාතනය කරන ලෙස ඉල්ලා සිටියේය. අජාසත් රජු ද ඇත්ගොව්වා ගෙන්වා රා කළ අටක් බොන්නාවූ නාලාගිරි හස්තියාට හෙට දින රා කළ දහසයක්ම පොවා මහමග වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට යවන ලෙසට දැන්වී ය. රජතුමා නගරවාසීන්ට ද රාත්‍රියේම ආහාර කෘත්‍යයන් සිදුකොට හෙට දින ඇතා ගමන් කරන අතුරු මාර්ගයට නොයන ලෙස අඬබෙර මගින් දැන්වීය. දෙව්දත් තෙර ද කලින් දින ඇත්හලට ගොස් ඇත්ගොව්වා හමු වී කීර්ති ප්‍රශංසා ලබාගැනීමට අවශ්‍ය නම්, හෙට දින නාලාගිරි ඇතාට රා කළ දහසයක් පොවා ගෞතමයන් වහන්සේ වඩින මඟට මෙහෙයවා බුදුරදුන් ඝාතනය කරන ලෙසට ඉල්ලා සිටියේ ය. මේ බව ඇසූ ඇත්ගොව්වා ද එසේ කරන බවත්, දැඩි ලෙස අධ්ෂ්ඨාන කර ගත්තේය.

මෙම ලිපියෙහි ඉතිරි කොටස ජූනි 20 පුර අටවක පෝදා පත්‍රයේ පළවේ....