Print this Article


පූජාච පූජනියනං

දරණාගම කුසලධම්ම නා හිමි

සුවහසක් බොදු ජනතාවගේ දහම් පිපාසය නිවාලනු වස් බෞද්ධයා මාධ්‍යජාලය නිර්මාණය කළ අපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගම කුසලධම්ම නා හිමිපාණන් වහන්සේගේ තෙමස් පූර්ණ පින්කම නිමිත්තෙන් වත්මන් විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඤාණ ස්වාමින්වහන්සේගේ සංකල්පයකට අනුව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මැයි මස 29 වන අධි පොසොන් පොහෝ දින කැලණිය රජමහා විහාරස්ථානයේ පින්කම් මාලාවක් පැවැත්විණි.

 

 

 

 

****

හඟුරන්කෙත සද්ධානන්ද නා හිමි

හඟුරන්කෙත සද්ධානන්දාභිධාන හිමිපාණන් 1932 ජූනි මස 15 වන දින ප්‍රවෘජ්ජිතව 1933 ජූනි මස 07 වන දින මහාවිහාරවංශික ස්‍යාමෝපාලි භයගිරි මහාවිහාර මංගලෝපස්ථාගරයේ උපසම්පදාලාභි අපවත් වී වදාළ ප්‍රවීණ ඡ්‍යොතීර්වේදී, වෛද්‍යාචාර්ය බූටාවත්තේ ශ්‍රී රතනජෝති මහා නා හිමියන් යටතේ 1972 දී පැවිදිව 1975 ජූනි මස 16 වන දින මහා විහාර වංශික ස්‍යාමෝපාලි භයගිරි මහා විහාර මංගල උපෝසථගාරයේ උපසම්පදා ලැබූහ. හඟුරන්කෙත විමලානන්ද, ඇතුල්ගම සුධම්මානන්ද, දඹුල්ලේ සිරිනිවාස යන ථෙරවරුනට ආචාර්යව ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත යතිවරයාණන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කරයි.

රතනජෝති දහම් පාසල, පෙර පාසල, ග්‍රාම සංවර්ධන සමිතියේ නවෝන්නතිය, ග්‍රාම සංවර්ධන කාන්තා සමිතිය, පැරකුම් ගොවි සංවිධානය, සමගි අවමංගල්‍යාධාර සමිතිය, යෞවන සංවිධාන, විහාරස්ථ කාර්ය සාදක දායක සභා, ගැමි ශක්ති ඇගයීම් වැඩසටහන්, බූටාවත්තේ ශ්‍රී සරණංකර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු දෙස් විදෙස් දම්පතීන්ගේ දාන පරිත්‍යාග මත මහාකරුණා සංවිධානය පිහිටුවා සිව්දෙස පිරිවෙන් හා පාසල්, පෙරපාසල් මෙන් ම අඩු ආදායම් ලාභීන්ට ආධාර ලබාදීම හා ශිෂ්‍යත්ව ප්‍රධානයන්, නොමිලේ ඇස් පරීක්ෂා හා ඇස් කණ්ණාඩි ලබා දීම මෙන් ම ලේ දන් දීමේ කඳවුරු 20ක් සංවිධානය කොට 20 වරක් ලේ දන්දීම, දේශපාලන සහාය ලබමින් පින්ගොල්ල ග්‍රාමය ඇතුළු තදානුබද්ධ ග්‍රාමයනට ජල, විදුලි, සහ මාර්ග හා යටිතල පහසුකම් සපයා දීම, දෙස් විදෙස් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් මෙන්ම කරවමින් ද, නිති වාර්ෂිකව බෝපිටිය පහතහේවා හැට වැඩිහිටි නිවාසයේ දෙමව්පියන්ට වාර්ෂිකව අණ්ණ පාන මෙන්ම වස්ත්‍රාදිය ද දන් දෙමින්, පින්නගොල්ල මෙන් ම බූටාවත්ත ඇතුළු තදනුබද්ධ විහාරයන්හි බූටාවත්තේ ශ්‍රී සරණංකර නාහිමියන් ප්‍රමුඛ දූත පිරිසගේ ආධාර ද ලබා අභිනව සංඝවාස ආදී ගොඩනැගිලි ඉදිකරවීම ආදී බොහෝ ශාසනික කටයුතු කළහ.

ශ්‍රී සම්බුද්ධ ශාසනයට වඩ වඩාත් මෙවන් අපරිමිත සේවාවන් තවදුරටත් සිදු කිරීම සඳහා ගුණ සමරු දිනය සමරන බූටාවත්ත පුරාණ විහාරය හා පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය ඇතුළු තදනුබද්ධ විහාර ඝණයන්හි විහාරාධිපති, සමස්ත ලංකා සාම විනිසුරු හඟුරන්කෙත සද්ධානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී බව හා ආයු ශ්‍රී සම්පත් ලැබේවා.

උඩහේවාහැට වලපන දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක මාදන්වල ශ්‍රී ධර්මෝදය

****

පැල්මඩුල්ලේ ශ්‍රී ධම්මික නා හිමි

රත්නපුර, වැලිමළුව ශ්‍රී ඤාණාරාම පුරාණ විහාරාධිපති පැල්මඩුල්ල මීගහගොඩ ශ්‍රී රතනපාල පරිවෙණාධිපති සබරගමු පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක ශාස්ත්‍රවේදී පැල්මඩුල්ලේ ශ්‍රී ධම්මික නායක ස්වාමින් වහන්සේගේ 53 වන ජන්ම දිනය නිමිති කරගෙන උන්වහන්සේට ආශිර්වාද කිරීම සඳහා පින්කම් මාලාවක් ජුනි මස 15-16 යන දෙදින තුළ ශ්‍රී ඤාණාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පැල්මඩුල්ල නගරාසන්නයේ පරගහවත්ත, නිවසේ විසූ නැසී ගිය මාටින් පතිරණ ගම්පතිතුමාගේ හා උදුලාවතී මැණිකේ උපාසිකාවගේ කණිටු පුතනුවන් ලෙස 1965 ජුනි 15 දින ජන්ම ලාභය ලැබු පින්වත් කුමරු එවකට පැල්මඩුල්ල මීගහගොඩ පුරාණ විහාරාධිපතිව වැඩ සිටි වේහැල්ලේ ඤාණානන්ද හිමි සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක වේහැල්ලේ ධම්මපාල නා හිමි, කොළඹ දෙමටගොඩ පධානඝර මහා විහාරාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝ නායක භාෂාන්තර විශාරද ආචාර්ය පරවාහැර ශ්‍රී පඤ්ඤානන්ද නා හිමි යන කීර්තිමත් සංඝපීතෘන් වහන්සේලාගේ ශිෂ්‍යයෙකු ලෙස 1977 දෙසැම්බර් 23 දින මීගහගොඩ පුරාණ විහාරස්ථානයේදී පැල්මඩුල්ලේ ධම්මික හිමි නමින් සසුන් ගත විය. ශාසනික ජීවිතයකට අවශ්‍ය ධර්ම විනය හා භාෂා ශාස්ත්‍ර පිළිබඳ දැනුම දෙමටගොඩ ධර්මදූතාශ්‍රම මහ පිරිවෙන මගින් ලබාගත් ධම්මික හිමිපාණෝ මහනුවර මල්වතු මහා විහාරයේ දී 1986 මැයි 15 දින උපසම්පදාව ලබා ගත්හ.

රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා මහරගම ජාතික අධ්‍යාපන ආයතන මගින් ද උසස් අධ්‍යාපනය ලබාගෙන ඇති ධම්මික නාහිමියන් 1990 දී දෙමටගොඩ ධර්මදූතාශ්‍රම මහ පිරිවෙන මගින් පිරිවෙන් සේවයට පිවිසියේය. පසුව එහි පරිවේණාධිපති ධූරයට පත්ව පිරිවෙනේ උන්නතිය වෙනුවෙන් අපමණ සේවාවක් සිදු කළේය. සමස්ත ලංකා කෘත්‍යාධිකාරි පරිවේණාධිපති සංගමයේ සම ලේකම් ලෙස 2003.ජූලි 22 දින පත්ව සමස්ත පිරිවෙන් පද්ධතියට කර ඇති සේවාව අනගි භවනීය වෙයි. ජාතික පිරිවෙන් දිනයක් හා පිරිවෙන් ධජයක් සම්මත කර ගැනීමද ඒ අතර සුවිශේෂී වෙයි. තම ගුරු දේව වේහැල්ලේ ධම්මපාල නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් හා හුණුවල සීලරතන හිමියන්ගේ ද සහයෝගයෙන් 2013 දී මීගහගොඩ ශ්‍රී රතනපාල පිරිවෙන ආරම්භ කළ අතර මේ දක්වා එහි පරිවෙණාධිපතින් වහන්සේ ලෙස ද කටයුතු කරයි.

අභාවයට යමින් පැවති වැලිමළුව ශ්‍රී ඤාණාරාම විහාරස්ථානයේ වගකීම භාරගෙන එම විහාරස්ථානය දර්ශනීය පින්බිමක් බවට පත් කිරීමට ධම්මික නාහිමියන් සමත් වී ඇත. පැල්මඩුල්ල ධම්මික නායක මා හිමිපාණන් වහන්සේට දිගාසිරි හා නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි.