Print this Article


සීහළවත්ථු කතා : ගත වෙහෙසා දුන් ධාර්මික දානය

සීහළවත්ථු කතා :

ගත වෙහෙසා දුන් ධාර්මික දානය

ඈත අතීතයේ හෙළ දිවයිනේ සිදුවූ සත්‍ය සිදුවීමකි. සද්ධාතිස්ස රජු රට පාලනය කරන සමයේ දිනක් විවේකීව සිටින රජුට මෙවැනි අදහසක් පහළ විය.

බුදුරජාණන් වහන්සේ පිරිසුදු දානය පිළිබඳව වර්ණනා කරමින් සූත්‍ර දේශනා කොට ඇත. එහිදී ඇතැම් කෙනෙක් අධාර්මික ජීවත් වෙති. අනුන් කපා කොටා, වද හිංසා කොට සෝකය උපදවති. නමුත් ඔවුහු දන් දෙති. කෙනෙකු පීඩාවට පත් කර දෙන දානය, ධාර්මිකව යම් කෙනෙක් දෙන දානය සමඟ සමබර නොවේ. මා හටද උතුම් වූ පිරිසුදු වූ මහත් අනුසස් ඇති දානයක් දෙන්නට ඇත්නම් කෙතරම් අගනේ ද? බුදුරජාණන් වහන්සේ විසින් පසස්නා ලද සිය කය වෙහෙසා වැඩපළ කොට උපයා ගන්නා දෙයින් දෙන දානයේ අනුසස් කො තරම් දැයි සිතු රජ බිසව අමතා

”සොඳුරිය, මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබළවන කාලයේ මමද භික්ෂූන් වහන්සේ උදෙසා කය වෙහෙසවා උපයන දෙයින් දානයක් දීමට කැමැතියි. මමද ගොස් ගොස් ගොයම් කපන්නෙමි. ඒ වී ගෙනවිත් බතක් පිළියෙල කොට එක් භික්ෂූන් වහන්සේ නමකට හෝ පූජා කරන්නෙමි” කියා පිටත් වුණි. එසේ ගොස් හංදියක නතර වී මහමඟ යන එන පිරිසගෙන් ගොයම් කැපීමට ඇද්දැයි විමන්නේ ය.

රජතුමා දුටු එක් ගෘහපතියෙක්

”මිත්‍රය, ඔබගේ අත් පා ඉතා සියුමැලි ය. ශරීරය ද සුවසේ වැඩී ඇත. මිත්‍රය ඔබ තනිව ම මෙසේ කුමක් සඳහා සිටින්නේ ද?”

”මිත්‍රය මම කම්කරුවෙකි. දවස් කුලියට වැඩ කරමි”

”ඔබට කුඹුරක ගොයම් කැපීමට හැකි ද?”

“මට පුළුවන් යැයි රජතුමා පිළිතුරු දුන්නේය. රජතුමා ඔහු සමඟ ගොස් ඔහුගේ මහත් වූ ශ්‍රද්ධාවෙන් දානයේ අනුසස් සිතමින් කුඹුරේ ගොයම් කැපී ය. කම්මැලිකමින් තොරව වැඩ කළ නිසා ඉතා සතුටට පත් කුඹුරු හිමියා නුඹට රැගෙන යා හැකි තරම් වී මෙතැනින් රැගෙන යනුයි” කී ය.

රජතුමා විශාල ගොයම් මිටියක් බැඳ රාත්‍රි කාලයේ රහස් උමඟ තුළින් රජගෙට පිවිස විඩා නිවා ගෙන බිසවත් සමඟ රහසින් වී ටික වෙන්කර ඒ වී කොටා ඒ සහලින් භාගයක් විකුණා ගිතෙල් සකුරු කැවුම් ආදිය ගෙන එක නමකට සෑහෙන පරිදි දානයක් පිළියෙළ කළහ. ඉන්පසු දාසිය අමතා සංඝයා වහන්සේ අතරට ගොස් “එක් භික්ෂූන් වහන්සේ නමක් දානයට වඩමවාගෙන එනුයි” පිටත් කරවී ය.

තිස්ස නමැති රහතන් වහන්සේ මේ සිදුවීම දිවසින් දැක එක් භික්ෂුන් වහන්සේ නමක් අමතා, අයුෂ්මතුනි සද්ධාතිස්ස මහරජු බැලමෙහෙවර කොට උපයා ගත් දෙයින් එක් භික්ෂූන් වහන්සේ නමකට දානය පිළියල කොට ඇත. රජතුමා මේ දානය ඉතාමත් දුෂ්කරවයි පිළියෙළ කළේ. එනිසා පෘථග්ජනයෙක් ඒ දානය අනුභව නො කෙරේවා. ඔබ විහාරයේ අසුන්වල වැඩිමහල් පිළිවෙලට සිටිනු මැන. ඒ අවස්ථාව රජතුමාට අනුකම්පා කොට එහි වඩිනු මැනවයි කී ය. රජතුමාත් දේවියත් දානයට වැඩි භික්ෂූන් වහන්සේගේ පාත්‍රය ගෙන සැකසු ආහාරයෙන් පාත්‍රය පුරවා යටින් වස්ත්‍රයක් ද තබා අතිශය ගෞරව දක්වා උන්වහන්සේට ඒ පාත්‍රය පූජා කළහ. භික්ෂූන් වහන්සේ ඒ දානය පිළිගෙන “රජතුමනි, මේ දානය සම්පූර්ණයි. මම කැමැති තැනකට ගොස් දානය වළඳමි” කියා උන්වහන්සේ අහසට පැන නැගි පක්ෂියකු මෙන් විහාරයට පැමිණ එහි වැඩසිටි භික්ෂූන් දහතුන් දහසකට ගෙන ආ දානය පූජා කළ බව සඳහන් වේ.

කලකට පසු රජු මරණාසන්න විය. භික්ෂූන් වහන්සේලා “මහරජ, ඔබතුමා කළ කුසල් පින්දහම් දැන් සිහිකර ගනු මැන” යි කීහ. එවිට රජතුමා “ස්වාමිනි, මා විසින් මිණි මුතු යෙදූ බොහෝ බුද්ධ රූප ආදිය රනින් කරවන ලදී. ධර්මය කෙරෙහි මෙන්ම සංඝයා කෙරෙහිත් මා විසින් කළ පින්කම් අප්‍රමාණය. විවිධ ය. විචිත්‍ර ය. අමාවක පසළොස්වක, අටවක පෝ දිනයන්හි මනාසේ අටසිල් රැක්කෙමි. නමුත් ස්වාමිනි, මේ සියලු පින් පරදවා මා කය වෙහෙසා උපයා ගත් මුදලින් එක් භික්ෂූන් වහන්සේ නමකට දුන් දානය පිළිබඳව නිරන්තරයෙන් මට සිහි වන්නේ යැයි කියූ රජතුමා කළුරිය කොට තුසිත දෙව්ලොව උපන්නේය.