සැත්තෑපස් විය සපිරි රම්පාදෙණියේ ඤාණින්ද නා හිමි
ඉහළ සමාජ සේවාවක්
ගිනිගත්හේන රම්පාදෙණිය ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන සතරක
විහාරාධිපති ශාස්ත්‍රවේදී රම්පාදෙණියේ ඤාණින්ද නායක ස්වාමීන් වහන්සේ තම පැවිදි
ජීවිතයේ වසර 62 ක් හා අධිශීල සංඛ්‍යාත උපසම්පදාවේ පනස් එක්වෙනි (51) දිවියට පා
තැබීම වෙනුවෙන් තම ශිෂ්‍යයන් වහන්සේලා ඇතුළු දායකකාරකාදීන් එක්ව උපහාර පිදීම හා
දිගාසිරි පැතීම සඳහා පැවැත්වෙන පින්කම් මාලාව වෙනුවෙන් සුභාශිංසනයක් කිරීමට ලැබීම
ඉමහත් සතුටකි.
උන්වහන්සේගේ ජාතික, ආගමික, අධ්‍යාපනික හා සමාජ ශුභසාධන සේවාවන් මඟින් ඉටු කරනු ලබන
කාර්යය භාරය අති ප්‍රසංසනීය ය.
ගාල්ලේ ශ්‍රී පරමානන්ද (අටපට්ටම් විහාරය) රජ මහා වෙහෙර සඟ පරපුරේ බටුවිට ධම්මසිරි
තිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයන් වූ බඹරැන්දේ ඤාණවංශ, වතුගෙදර අමරසීහ,
කොත්මලේ අමරවංශ හා සරික්කාමුල්ලේ මහින්ද මහ තෙරුන් වහන්සේලා එම සංඝ පරපුර සෝභාවත්
කළවූවෝ වෙති. මෙම මහා යතිවරයාණන් වහන්සේලා ආශ්‍රය නිශ්‍රය කිරීම ඤාණින්ද නා
හිමිපාණන්ට ආදර්ශවත් ජීවිතයක් ගොඩ නඟා ගැනීමට මහඟු රුකුලක් වූහ.
අමරපුර සිරි සද්ධම්මවංශික මහා නිකායේ සුධර්මා කාරක සංඝ සභාව 2003 වසරේදී සිරි
සද්ධම්මවංශාලංකාර ධම්මසිරි මහින්දාවතංශ ගරු නාම සම්මුතිය සහිත උඩබුලත්ගම් පළාතේ
ප්‍රධාන සංඝනායක පදවියෙන් සහ 2010 දී සුධර්මා කාරක සංඝ සභාවේ කාරක සංඝ සභික ධූරයෙන්
පුදනු ලැබුයේ ද උන්වහන්සේගේ පැවිදි දිවියේ හරවත් භාවය නිසාම ය.
සය සැත්තැවැනි වියේ උපසම්පදාවෙන් පනස්එක් වැනි දිවියට පාතබන අවස්ථාවේ උන්වහන්සේට තව
තවත් ලෝ වැඩ වඩන්නට ශක්තිය ධෛර්ය හා දිගාසිරි ලැබේවායි ආශිංසනය කරම්හ.
අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ
මහා නායක සිරි සද්ධම්ම වංශ පාල ගණාචරිය
මහෝපාධ්‍යාය
අහුන්ගල්ලේ
සිරිසීලවිසුද්ධි මහා නා හිමි
හැට දෙවසරක පැවිදි දිවිය
දෙදහස් දහ හතක් වූ දෙසැම්බර් අටවන දා උපතින් පන්සැත්තෑවිය සපුරා හැත්තෑහය වියට
පිවිසි වත්මනෙහි ගිනිගත්හේන රම්පාදෙණිය ශ්‍රී ශෛලබිම්බාරාමාධිපතිව වැඩ වසන අමරපුර
සිරි සද්ධම්ම වංශ මහා නිකායේ අඹගමු කෝරළය සහිත උඩබුලත්ගම් පළාතේ ප්‍රධාන සංඝනායක
රම්පාදෙණියේ ඤාණින්ද නා හිමියෝ ‘ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධම්මධර ධම්මානු
ධම්ම ප්‍රතිපත්තියෙහි යෙදී’ කටයුතු කරන උතුම් බුද්ධ පුත්‍රයෙකු බව මගේ පිළිගැනීම
යි. ආදරණීය මාපිය දෙපළ වූයේ රම්පාදෙණියේ විසූ හේරත් මුදියන්සේලාගේ අප්පුහාමි හා
දිසානායක මුදියන්සේලාගේ ඩිංගිරි මැණිකේ යන දම්පතීහු ය. 1942 දෙසැම්බර් 08 දින
රම්පාදෙණිය ගමෙහි උපත ලද උන්වහන්සේ ගිහි නමින් හේරත් මුදියන්සේලාගේ ගුණතිලක විය.
බදුපොල විදුහලෙහි මූලික සිප් සතර හදාරමින් සිටය දී ගුණතිලක දරුවා 1955 අප්‍රේල් 04
වන දින රම්පාදෙණිය ශෛලබිම්බාරාම විහාරස්ථානයේ දී රම්පාදෙණියේ ඤාණින්ද නමින් පැවිදි
බිමට සැපත් විය. 1967 ජුනි 21 වන දින බලපිටිය වැලිතර මහා කප්පින වලව්ව යාබද ‘මාදු
නදී’ ස්වේජින් සීමා මාලකයේ දී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති රාජකීය
පණ්ඩිත කොස්ගොඩ ධම්මවංස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශිල
සංඛ්‍යාත උපසම්පදාව ලදහ.
සාමණේර, උපසම්පදා දෙකෙහිදී ම උන්වහන්සේගේ ගුරුදේවයන් වූයේ උප ප්‍රධාන අධිකරණ
සංඝනායක සිරි සද්ධම්ම වංසාලංකාර ධම්ම සිරි තිස්සාවතංශ පණ්ඩිත සරික්කාමුල්ලේ මහින්ද
නා හිමි පාණෝ ය.
සිංහල, පාලි, සංස්කෘත මූලික කොටගත් ප්‍රාචීන අධ්‍යාපනයේ ප්‍රමාණික දැනුමක් ලබා
සිටියදී 1962 දී විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වී කැලණිය විද්‍යාලංකාර
විශ්වවිද්‍යාලයට පිවිස සිංහල පාලි හා අධ්‍යාපන විද්‍යාව විෂයයන් හදාරා 1966 දී
ශාස්ත්‍රවේදී උපාධිය ලදහ. 1998 දී ස්වකීය ආචාර්යවරයන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව
රම්පාදෙණිය හා මාතර බෙලිදෙණියේ ථූපාරාමය යන උභය විහාරයන්හි ආධිපත්‍යයට පත් ඤාණින්ද
නා හිමිපාණෝ ගුරු හිමියන් ඇරැඹි සමාජ, ආර්ථික, ආගමික වැඩසටහන් තවදුරටත් දියුණු
තියුණු කරමින් කන්ද උඩරටටම මහඟු සේවාවක යෙදෙති. රම්පාදෙණිය විහාරස්ථානයට තව තවත්
විහාරාරාංගයන් එක් කරමින් මුළු මහත් පරිසරයම සෝබාවත් කරලීමට හිමිපාණෝ සමත්ව සිටිති.
ප්‍රදේශයේ ඉපැරැණිම දහම් පාසල විහාරස්ථානය සතු ‘සිරි මිහිඳු පුස්තකාලය” ප්‍රදේශයේ
උගතුනට, වියතුනට පර්යේෂණ ආයතනයක් ලෙසද සිසුන්ට දැනුම ප්‍රගුණ කරන ස්ථානයක් වශයෙන් ද
පවත්වාගෙන යාම කාගේත් ගෞරවයට පාත්‍රව තිබේ.
උන්වහන්සේ දැන උගත් භික්ෂු පිරිසක් ද ශාසනයට දායාද කළහ. රම්පාදෙණියේ ඤාණින්ද නා
හිමිපාණන් වහන්සේ දිවියෙන් හැත්තෑපස් වසරක් ද (76) පැවිද්දෙන් හැට දෙවසරක් (62) ක්
ද උපසම්පදාවෙන් පනස් එක් වසරක් ද (51)සපුරාලීම නිමිති කර 2018 ජුනි මස 23 උත්සව
සභාවක් හා රාත්‍රී පිරිත් දේශනාවක් ද පවත්වා පසු දින අර්ධශතාධික සඟ සතු මහා දානයක්
සහිත පින්කම් රැසක් පැවැත්වීමට ශිෂ්‍ය ශාස්ත්‍රවේදී හැබ්බෑකන්දේ ධම්මවංස ස්වාමීන්
වහන්සේ හා ශෛලබිම්බාරම විහාරස්ථ දායක සභාව කටයුතු අරඹා ඇත. තවදුරටත් ලෝ වැඩ වඩන්නට
නා හිමිපාණන් වහන්සේට ශක්තිය ධෛර්යය හා නිරෝගී සම්පත් ලැබේවා!
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
ප්‍රාදේශීය මහෝපාධ්‍යාය ධුරන්ධර
ශාස්ත්‍රපති
කනම්පැල්ලේ රාහුල නා හිමි
සිසු වත හෙවත් යුතුකම ඉටුකිරීම
තපෝවෘද්ධ, ගුණෝවෘද්ධ, රම්පාදෙණියේ ඤාණින්ද ස්වාමීන් වහන්සේ දැනට පන් සැත්තෑ විය
පසුකරමින් ප්‍රවෘජන භූමියෙහි දෙසැට වසරක් හා සුපරිශුද්ධොපසම්පදාවෙන් එක් පනස් වසරක්
ද ෙශෛලබිම්බාරාමය ඇතුළුව විහාරස්ථානත්‍රයක, ආධිපතිත්වය දරමින් ඒවායෙහි දායක
කාරකාදාදීන්ගේ ශ්‍රද්ධා බුද්ධි වර්ධනයක් කරති. අඹගමුව උඩ බුලත්ගම පළාතෙහි ප්‍රධාන
සංඝනායක ධූරය දරමින් පළාත්බද භික්ෂූන් වහන්සේ උදෙසා ලබා දිය යුතු අවවාද අනුශාසනා
ලබා දෙති. අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායෙහි සුධර්මා කාරක සභාවෙහි කාරක
සභිකත්වයෙන් නිකායික අභිවෘද්ධිය උදෙසා තම කාලය ගත කරන්නේ තම ශ්‍රාවකයන් තුළින්
විද්‍යාමාන විය යුතු ගුණාංගයන් වූ ව්‍යක්තො, විනීතො, විසාරදො, බහු සසුතො,
ධම්මානුධම්ම පටිපත්තියා යන්න සානාථ කරමිනි. පරපටිබද්ධා මෙ ජීවිකාති යන්න ද
උන්වහන්සේ තුළින් බදුපොල විදුහල, කඹුරුපිටියේ ශ්‍රී රතනජෝති , පානදුර පින්වත්ත
ශ්‍රී සද්ධර්මාකර පිරිවෙන, පේරාදෙනිය ශ්‍රී සාරානන්ද යන පිරිවෙන් අධ්‍යාපනයෙන් හා
කැලණිය විශ්ව විද්‍යාලයෙන් ලබන ලද අධ්‍යාපන පන්නරයට සාධකයෝ ය.
ශ්‍රී දීපනී උසස් අධ්‍යාපන ආයතන , මිහිදු දහම් පාසල, මොරහේනගම විදුහල තුළින් තමන්
ලත් දැනුම අනාගත පරපුරට දායක කර වන උන්වහන්සේ විශ්‍රාම ගැනීමට බොහෝ කාලයක් තිබියදී
ඉන් ඉවත්වන්නේ ශිෂ්‍ය පුත්‍රයෙකු ලෙස තමන්ගෙන් විය යුතු සිසු වත හෙවත් යුතුකම
ඉටුකිරීම වෙනුවෙනි. ඒ තම ගුරු ස්වාමීන් වහන්සේ වන සරික්කාමුල්ලේ මහින්ද නාහිමිපාණන්
වහන්සේ ගිලන්වීම හේතුවෙනි.
අප නාහිමිපාණන් වහන්සේ ශ්‍රී පරමානන්ද රජ මහ වෙහෙර සඟ පරපුර ජෝතිමත් කළ අතීත මහා
යතීන්ද්‍රයන් වහන්සේ නමක් මෙන්ම වත්මන් හා අනාගත ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරටත් ගිහි
පැවිදි සැමටත් ශක්තියකි. ආදර්ශයකි.
අප නාහිමිපාණන් වහන්සේට පරාර්ථය වෙනුවෙන් කටයුතු සිදු කර ගැනීමට ශක්තිය චිරාත්
කාලයක් ලැබේවා’යි ඉත සිතින් පතන්නෙමු.
මහරගම දහම් මාවත ධර්ම ශ්‍රී මහාබෝධි විහාරය, කොළඹ 10 පන්සල මාවතේ ශ්‍රී දක්ෂිණාරාමය
යන උභය විහාරාධිපති, ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මය ගුරු උපදේශක
සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති
කොත්මලේ දින්නාග හිමි
ඇතුළු ශ්‍රී පරමානන්ද (අටපට්ටම්) රජමහා විහාරවාසී ශිෂ්‍ය පිරිස
සර්වෝදය සේවාවෙන් බිඳක්
රම්පාදෙණියේ ඤාණින්ද හිමිපාණෝ සර්වෝදයට සම්බන්ධ වූයේ 1978 දෙසැම්බර් 03 වන දා ය.
අඹගමුව කෝරළයේ සර්වෝදය මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නියමුවා ලෙස සේවා ඇරඹි උන්වහන්සේ
ගම්මාන 21 ක් ආවරණය කරමින් ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් 21 ක් පටන් ගැන්ම පළමු
ප්‍රයත්නය විය. සැම ගමකම සිඟිති හමුව, සිඟිති හවුල, යොවුන් හවුල, සමුදන් හවුල
(වැඩිහිටි) යන හවුල් සංවිධාන බිහි කිරීමට කටයුතු කළහ. එසේම ගම්මානවල පානීය ජල
අවශ්‍යතා සපුරාලීම සඳහා කුඩා ජල යෝජනා ක්‍රම වශයෙන් සහනගම ජලයෝජනාව හා හත්ලාහ
ජලයෝජනා ක්‍රමයද, පවුල් 230කට පොදු කරාම 65කින් සමන්විත මහා ප්‍රමාණ ජලයෝජනා
ව්‍යාපෘතියක් ප්ලෝරන්ස් ජනපදයට ලබා දුන් අතර අද වන විට පවුල් 300 පමණ එමඟින්
ප්‍රතිලාභ ලබයි.
නාය යාමෙන් අවතැන් වූ පවුල් 15 ක් සඳහා නිවාස සකස් කර ගැනීමට ශ්‍රමදායකත්වය හා
ද්‍රව්‍යාධාර ලබා දෙමින් ‘සහනගම’ නමින් විවෘත කිරීමට පුරෝගාමීව කටයුතු කළහ.
නිස්සරණධ්‍යාසයෙන් ම තම සේවාව මැනවින් ඉටු කළ උන්වහන්සේ සර්වෝදය ප්‍රාදේශීය මට්ටමේ
සිට ජාතික මට්ටම දක්වා සිදුකළ කළ කැපකිරීම ද ඉමහත් ය.
පොදු ජනතා අවශ්‍යතා සඳහාත් දියුණුව සඳහාත් තම ජීවිතය කැප කළ උන්වහන්සේ තම ගුරු හිමි
සාරික්කාමුල්ලේ මහින්ද නායක ස්වාමීන් වහන්සේට සිය දෑතින් ම කළ ඇප උපස්ථාන මේ කොයි
දේටත් වඩා ඉතා ගෞරවයෙන් ජනතාව සිහිපත් කරති.
සර්වෝදය හිටපු සභාපති හා පළාත් ක්ෂේත්‍ර අධ්යක්ෂ
සාම විනිසුරු දේශබන්දු
ගුණපාල සමරනායක |