Print this Article


අටුවා පුරාණය - 01: සිනහව දැක රහත් වූ භික්ෂුවක්

සිනහව දැක රහත් වූ භික්ෂුවක්

‘අටුවා රසකතා’ ලිපියෙන් අප අද ඉදිරිපත් කරන්නේ එකල ලක්දිව අනුරාධපුර ප්‍රදේශයේ සිදු වූ කතා ප්‍රවෘත්තියකි. මෙය සඳහන් වන්නේ විසුද්ධි මාර්ගයෙහි ය. විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශය විස්තර කිරීමේ දී එහි ප්‍රභේදයක් වන සතර සංවර සීලයේ එන ඉන්ද්‍රිය සංවර සීලය විස්තර කිරීමේ දී උපමාවක් වශයෙන් මේ කතා ප්‍රවෘත්තිය බුද්ධඝෝස හිමියන් යොදා ගෙන ඇත. ඔබගේ දහම් දැනුම සඳහා විසුද්ධි මාර්ගයේ සඳහන් අයුරින් සතර සංවර සීලය ද සැකවින් මෙහි දී ඉදිරිපත් කරමි.

සතර සංවර සීලය

ප්‍රාතිමෝක්ෂ සංවර සීලය

ප්‍රාතිමෝක්ෂය යනු භික්ෂූන් වහන්සේලාගේ උපෝෂථකරණයෙහි දී දෙසීමේ පහසුව සඳහා ප්‍රධාන ශික්ෂා එක් රැස් කරමින් කරන ලද සංග්‍රහයකි. පාරාජිකා සංඝාදිසේස අනියත පාචිත්තිය, නිසගි පාචිත්තිය, පාටිදේසනීය සේඛියා, අධිකරණ සමථ ආදි ශික්ෂාපද 227කින් මෙය සමන්විත යි. ඒවා සියල්ල උපසම්පදා භික්ෂූන් වහන්සේලා විසින් ආරක්ෂා කළ යුතු ය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය යනු එය යි.

ඉන්ද්‍රිය සංවර සීලය

මෙයින් අදහස් කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ගෙන් අප ලබා ගන්නා හෙවත් අත්විඳින රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශයන් නිමිති වශයෙන් නො ගැනීම හෙවත් ක්ලේශයන් ඇතිවන අයුරින් කටයුතු නො කිරීමයි.

ආජිව පාරිශුද්ධි ශීලය

පාප ධර්මයන් වශයෙන් පවතින මිච්ඡා ජීවයෙන් වැළකීම මින් අදහස් කරයි.

ප්‍රත්‍ය සංන්නිඞශි‍්‍රත ශීලය

භික්ෂුවට ලැබෙන ප්‍රත්‍ය හෙවත් චීවර, පිණ්ඩපාත, සේනාසන හා ගිලානප්‍රත්‍ය යන සිව්පසය පිළිබඳ අන්තගාමී නොවී සිහිනුවණින් යුතුව කටයුතු කිරීම මින් අදහස් කරයි.

තිස්ස තෙරුන්ට සිනාසුණු ස්ත්‍රිය

සෑගිරියෙහි (මිහින්තලේ) මහාතිස්ස නම් තෙර නමක් වාසය කළහ. එහි සිට අනුරාධපුර දෙසට උදෑසන පිණ්ඩපාතයේ වැඩීම උන්වහන්සේගේ සිරිත විය. දිනක් උදෑසන උන්වහන්සේ සෑගිරියේ සිට අනුරාධපුරය දෙසට වඩින්නට වූහ, එකල්හි අනුරාධපුර වැසි එක් ස්ත්‍රියක් සිය සැමියා සමඟ කළහ කොට ‘මොහු සමඟ දීගකමින් මෙසේ වද විඳිනවාට වඩා හුදකලාව ගෙයි රැඳුම යෙහෙකැයි සිතා ගෙයි තිබූ වටිනා වස්ත්‍රාභරණ හැඳ පොරවා දෙවඟනක්මෙන් සැරසී උදෑසනම සෑගිරිය දෙසට මුහුණ ලා නික්මී යන්නට විය.

ටික වේලාවක් මෙසේ යනවිට එකී ස්ත්‍රියට පිඬුපිණිස වඩින මහාතිස්ස තෙරුන් වහන්සේ නෙත ගැටිණි. මෙසේ සන්සුන් ගමනින් වඩින වන්දනීය තෙරුන් වහන්සේ පිළිබඳ නින්දනීය අදහස් පහළ කරවා තෙරුන් වහන්සේ තමන් දෙස බලවනු අටියෙන් ශබ්ද නාගා, කොමල සිනාවක් පාන්නට විය.

කර්මස්ථාන මෙනෙහි කරමින් සිහිනුවණින් වඩින තෙරුන් වහන්සේ මේ කුමන විකාරයක්දැයි බලනුයේ ඇගේ විලිත්තු දත් ඇට පෙළ දැක ස්වකීය අස්ථික කර්මස්ථානය සිහියට නැගුණේ මහාතිස්ස තෙරුන් වහන්සේ එකෙනෙහි ම සකල ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත වුයේ අර්හත්ඵලයට පත් වූ සේක.

ටික වේලාවකින් ඇගේ සැමියා ඇය ලුහුබැඳ යන්නේ සන්සුන් ගමනින් වඩින තෙරුන් දැක ‘ස්වාමීනී මේ මග ගිය ස්ත්‍රියක් දුටුවේදැයි’ ඇස ීය. එවිට තෙරණුවෝ ‘පින්වත, මෙහෙන් ගියේ ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද නො දනිමි. එතකුදුවුවත් ඇටසැකිල්ලක් නම් මහමඟ ගමන් කෙරේ.’ යැයි පිළිතුරු දුන්හ.

උක්ත කතා ප්‍රවෘත්තියෙන් මහාතිස්ස තෙරණුවන් සතු වූ ඉන්ද්‍රීය සංවරය කෙසේ ද යන්න මනාව පැහැදිලි වෙයි. තමාට සිනා සුණු ස්ත්‍රිය උන්වහන්සේ දුටුවේ කිසිදු ඇල්මකින් තොරව රූපයක් වශයෙන් පමණි. සිනාසුණු කාන්තාවගේ දත් පෙළ දුටු උන්වහන්සේගේ සිහියට නැගුණේ තමන් වහන්සේ මෙතෙක් කාලයක් වඩමින් සිටි අස්ථික කර්මස්ථානය යි. එය උන්වහන්සේගේ නුවණැස පෑදීමට තරම් සමත් විය. එම ස්ත්‍රිය කවටකමට හෝ වෙනයම් චේතනාවකින් කළ එම ක්‍රියාව තෙරුන් වහන්සේ තමාගේ අධ්‍යාත්මීය දියුණුව සඳහා කළ උපකාරයක් බවට පත් කරගත්හ. එබැවින් අප ජීවත් වන සමාජයේ අන් අය ඔබගේ අපකීර්තිය සඳහා හෝ හානිය සඳහා හෝ කරන ක්‍රියාවන් ඔවුන් කෙරෙහි මෙත් සිතින් යුතුව එය ඔබගේ අධ්‍යාත්මික ගුණ ධර්මයන් දියුණුව සඳහා යොදා ගන්නේ නම්, ඔබ නුවණැත්තෙක් බවට පත්වනු ඇත. සත්පුරුෂ ධර්මයන් දියුණු කරන්නෙක් බවට පත්වනු ඇත. එයම ඔබේ සසර ගමන කෙළවර කිරීම පිණිස හේතුවනු ඇත.